හිතේ නිදහසින් ගෙවන දිවියකට
මඟ සැලසුම් කළ යුතු මෙලෙසයි
හිමිදිරියේ තුරුගොමු මත රැඳුණු පිනි කැට මුතු පළසක් එළුවා වැනි ය. සිහින් පිනි බිඳු
සමඟින් හමා එන සීතල සුළඟ දරා ගන්නට නොහැකි තරම් ය. අප තථාගතයන් වහන්සේ ඒ හිමිදිරියේ
එක් අතුරු මඟෙක රුක් සෙවණක වැඩ සිටි සේක.
ඒ මඟ සුදු අශ්වයෙක් බැඳි අශ්ව කරත්තයක ගමන් කරමින් සිටි රාජ කුමාරයෙකි. ඔහු
සීතලෙන්, පින්නෙන් හා සුළඟින් කිසිදු ආවරණයක් නැතිව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ
දුටුවේ ය. අස්රිය නතර කර, එයින් බැස භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවේ ය.
උපහාසාත්මක හඬින් මෙසේ ප්‍රශ්න කළේ ය.
“ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ සුව සේ ගත කළ සේක් ද?” එවිට
“මේ ලෝකයේ සුවසේ නිදන්නන් අතර, නිදන අය අතර, මම ද එක් අයෙක්මි'යි. තථාගතයන් වහන්සේ
පිළිතුරු දුන්හ. සුවසේ නිදන අය අතර යැයි කියා පැවසුවේ මේ ශාසනය තුළ අර්හත් මාර්ගය
ලබා කෙලෙස්වලින් නිදහස් අය තවත් බොහෝ සිටින නිසයි.
කුමාරයා නැවතත් මෙසේ ඇසුවේ ය. “සීතල සුළඟ හමන, හිම වැටෙන වෙලාවක මේ ගහක් මුල තිබෙන
සුවය කුමක් ද? ඔබ වහන්සේ ඊයේ රාත්‍රිය හොඳින් ගත කළා යැයි පවසන්නේ කෙසේද?
පරමාර්ථ ධර්ම කතාව අවබෝධ අයට කායික පීඩා පවා සිතට වේදනාවක් කරගන්නේ නැතිව ධර්මයෙන්
දකින්න එනම්, අත්හරින්න පුළුවනි. තමාගේ සිත උපාදානයන්ගෙන් අත්මිදිලා නම් රාග, දෝෂ,
මෝහයන්ගෙන් අත්මිදී ඇත්නම් සිත තුළ ඇවිළෙන්නට දෙයක් නැත. එනම් රාගයක් හෝ ගැටෙන්නට
ද්වේශයක් නැත.
බුදුරජාණන් වහන්සේ පෙරලා තරුණයාගෙන් මෙසේ ප්‍රශ්න කළ සේක.
“ඔබ ඊයේ රාත්‍රිය සුවසේ ගත කළා ද? රනින් කළ ඇඳක සතර කොණේ පහන් දල්වා රාජ
කුමාරිකාවන් ඔබ සමීපයේ, වටේ සිටියත්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන
ඉන්ද්‍රියයන් නිසා ඔබේ සිතේ හටගත් රාගාදී කෙලෙස්වලින් ඔබ මොනතරම් ඇවිළෙන්නට ඇත් ද?
ඇලුණු දේ අත්හැරෙන විට, වෙනස්වන විට, තවත් අයකුට අයිති වෙන විට බිය, පටිඝය, සෝක
සන්තාපයන් මොනතරම් ඇතිවෙන්නට ඇති ද? තාවකාලික සුවයක් ලෙස දැනුණත් එහි ඇතුළත් වී
තිබුණු ඇලීම්, ගැටීම්, බිය, ශෝක ආදී අපමණ දුක්වලින් ඔබට නින්දක් ලැබුණා ද?
අත්හැරීමෙන් පුරුදු කරන ලද සිතකට, මේ බාහිර වස්තූන්ගේ උපද්‍රව, උපද්‍රවයක් ලෙස
දැනෙන්නේ නැහැ. ලෞකික ලෝකයේ පහසුයි, සැපයි කියන සෑම දෙයක් ම තිබුණත්, පහසුකම් ඇති
සුමුදු පලසක් අතුරන ලද සයනයක නිදා ගත්තත්, එතැනින් මහත් වූ බරක්, මහත් වූ දුකක්,
මහත් වූ වේදනාවකුයි ඇත්තේ.
රාජ කුමාරයා නිශ්ශබ්දව විය. සත්‍යය නම් කුමක් ද? යථාර්ථය නම් කුමක් ද කියා ඔහු
අවබෝධ කර ගත්තේය.
අප අතර ජීවත්වන කී දෙනකුට මෙබඳු ගැටලුවල අත්දැකීම් ඇත් ද? සිතෙහි ඇති වූ ගැටීම්,
තරහව, වෛරය නිසා මට බැන්නා. මට දොස් කිවුවා. මගේ දේ උදුරාගත්තා. මා පහත් කළා. මට
නොයෙක් කතා කිව්වා. ආදී ලෙස විවිධාකාරයෙන් අල්ලා ගැනීමෙන් ඒවා ගැටීමක් බවට පත්
කරගෙන තරහවෙන්, වෛරයෙන් නොනිදා පහන් කළ අය අත්දැකීම් ඇති අය, කොතරම් සිටින්නට
පුළුවනි ද? එයයි යථාර්ථය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන, සැබෑ සිතක මේ යථාර්ථය ටික ටිකවත් මේ ධර්ම කරුණු ඔස්සේ
දැකගන්න පුළුවනි නම් තමාගේ මනසේ තිබෙන සුවය මෙන් ම මම ද සුවසේ නිදන, සුවසේ ජීවිතය
ගත කරන අයෙක්මි'යි, තමාටම දැනෙනවා.
සාමාන්‍ය ලෝකයා සූදානම් වන්නේ ලෝකයට පේන්න අඳින්න, පළඳින්න, හැසිරෙන්න,
ජීවත්වෙන්නයි. එහෙත් අවසානය කුමක් ද? තමාගේ සිතට සතුටක් සැනසිල්ලක් නැතිනම් කවුරු
කාහට පෙනෙන්න මොනවා කළත් ඇති තේරුම කුමක් ද? ලෝකයට පෙනෙන්න ජීවත් වුණත් සිත
ඇවිළෙනවා නම්, සිත තුළ අප්‍රමාණ දුකක් තිබෙනවා නම්, මේ ජීවිතයේ තේරුම කුමක් ද. හොඳට
ඇඳ පැළඳ සිනාවී සිටින්නට උත්සාහ කළත් මොනතරම් ඇවිළෙන ගින්දරකින් ද ශෝකයකින් ද
ඉන්නේ. ඒවා මතක්වන විට දැනෙන විට, ඇසෙන විට මගේ සිත දරා ගන්නට බැරි තරම් හඬා
වැටෙනවා. මට දැන් මාවත් එපා වෙන තරමට ජීවිතයත් එපාවෙන තරමට ඇතිවෙලා. ‘එපාවෙන’ යන
වචනය පරමාර්ථ ධර්මයට ගලපා ‘අත්හරිනවා’ නම් හොඳයි.
නමුත් ගැටීමෙන්, තරහවෙන් ඇතිකර ගත් ද්වේෂයකින්, පටිඝයකින් මේ ‘එපාවෙලා’ තිබෙන එකයි
වැරැද්ද. ඒ කතාව බොහෝ දෙනකුගේ ජීවිතවල අත්දැකීම් විය හැකියි. නැති නම් ඔබ ඇසුරු කරන
හෝ ඔබ ජීවත්වන පරිසරයේ යම් කෙනකුගේ කතාවකට ඔබ ඇහුම්කන් දීලා ඇති. පරමාර්ථ ධර්ම
කතාවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන් නම් කෙතරම් හොඳ ද?
එහෙත් ගැටලුව, ඇහුම්කන් දෙන්න සුදුසු කෙනෙක් සොයා ගැනීමයි. තෝරා ගන්නා පුද්ගලයා
පරමාර්ථ කතාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නොවුණොත් විශාල ප්‍රශ්නයකට මුහුණපාන්නට
සිදුවෙනවා. කල්‍යාණවන්ත සත්පුරුෂයෙක් යැයි කියන්නේ කුසල් අකුසල් පෙන්වා දී
අකුසලයෙන් වළක්වා, කුසල් මාර්ගයේ රැගෙන යන අයයි.
ධර්ම මාර්ගයේ, පරමාර්ථ ධර්ම කතාව තේරුම් ගන්නා විට මේ සිත නිදහස් වෙනවා.
දීපා පෙරේරා |