Print this Article


අංගුත්තර නිකාය - 01 (10 වෙනි ආධ්‍යාත්මික වර්ගය)

අංගුත්තර නිකාය - 01

(10 වෙනි ආධ්‍යාත්මික වර්ගය) සැවැත්නුවරදී,

පමාද සූත්‍රය (1.10.1)

මහණෙනි, ආධ්‍යාත්මික චිත්ත සන්තානය තුළ පවතින්නා වූ යම් කරුණක් හේතුකොටගෙන, මහත් අනර්ථය පිණිස පවතින ප්‍රමාදය (සිහිමුළාව) බඳු අන් කිසි කරුණක් මම නොදකිමි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්ථය පිණිස පවතී.

අප්පමාද සූත්‍රය (1.10.2)

මහණෙනි, තම ආධ්‍යාත්මික අංගයක් වූ සිත තුළ පවතින්නා වූ යම් කරුණක් හේතු කොට ගෙන මෙසේ මහත් අර්ථය පවතින මේ අප්‍රමාදය (සිහියෙන් යුතුව විසීම) බඳු අන් එක කරුණක් මම නොදකිමි. මහණෙනි, අප්‍රමාදය මහත් අර්ථය පිණිස පවතී.

කෝසජ්ජ සූත්‍රය (1.10.3)

මහණෙනි, තමාගේ ආධ්‍යාත්මික අංගයක් වූ සිත තුළ පවතින කුසීතකම (කෝසජ්ජ) බඳු අනර්ථය පිණිස පවත්නා අන් එක අංගයකුදු මම නොදකිමි. මහණෙනි, කුසීතබව මහත් වූ අනර්ථය පිණිස පවත්නේ ය.

වීර්යාරම්භ සූත්‍රය (1.10.4)

මහණෙනි, තමාගේ ආධ්‍යාත්මික අංගයක් වූ සිත මුල් කොට ගෙන මහත් අර්ථය පිණිස පවතින වීර්යාරම්භය බඳු අන් එක ධර්මයකුදු මම නො දකිමි. මහණෙනි, වීර්යාරම්භය මහත් අර්ථය පිණිස පවත්නේ ය.

මහිච්ඡතා සූත්‍රය (1.10.5)

මහණෙනි, තමාගේ ආධ්‍යාත්මික අංගයක් වූ සිත මුල් කොටගෙන මහත් අනර්ථය පිණිස පවතින මහිච්ඡාතාව (අධික ආසා ඇති බව) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, මහෙච්ඡතාව මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

අප්පිච්ඡතා සූත්‍රය (1.10.6)

මහණෙනි, තමාගේ ආධ්‍යාත්මික අංගයක් වූ සිත මුල් කොටගෙන මහත් අර්ථය පිණිස පවතින අල්පේච්ඡතාව (අඩු ආසා- ලද දෙයින් සතුටුවීම) බඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අල්පේච්ඡතාව මහත් අර්ථය පිණිස පවත්නේ ය.