Print this Article


සත් රුවන් පරදවන ආර්ය ධන හතක හිමිකරුවකු වන්න

සත් රුවන් පරදවන ආර්ය ධන හතක හිමිකරුවකු වන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ‍
අ‍ාරොග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං

සකල ජන මන සනසන තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි පසේනදී කොසොල් මහ රජතුමන් අරබයා මෙම උතුම් ධර්මය දේශනා කොට වදාළ සේක.

මෙම රජතුමා දිනක් දවල් පුරුදු පරිදි බොහෝ රසවත් ආහාරවලින් කුස පුරවාගෙන මද වේලාවක් වත් විවේක නොගෙන වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණේ ය. රජතුමා මඳ වේලාවකින් ආහාර මදයෙන් හටගත් නිදිමත ගතියෙන් ඈත මෑත ඇඟ හරවමින් නොසන්සුන් ව සිටියේ ය.

මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගේ ස්වභාවයත්, එයට හේතුවත් දැන වදාරා “මහරජ, පමණ දැන ආහාර ගැනීම කයට සුව පහසුව පිණිස හේතු වන්නේ යැයි වදාළ සේක.

කොසොල් රජතුමා ද එම අවවාදයෙහි පිහිටා දිනපතා එක එක බත්පිඬ බැගින් අඩුකොට අහර ගැනීමේ ක්‍රමයෙන් ඉතා සුවපහසුව ලැබ, ශාරීරික බලය හා මානසික සහනය වර්ධනය ළඟා කර ගත්තේ ය. දිනක් වෙහෙරට ගොස් බුදුරදුන්ගේ සිරිපතුල් වැඳ සොම්නස් ව “ස්වාමීනි, දැන් මට පහසු ය. සිරුරේ බලය ද වැඩුණේ යැයි ප්‍රකාශ කළේ ය.

අප බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන සකල සත්වයාට පොදුවේ බලපාන පරිදි මෙම ගාථා ධර්මය ප්‍රකාශ කොට යථාර්ථ පරිදි සැපත විග්‍රහ කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ අක්ෂරයක්, පදයක්, ගාථාවක් සූත්‍රයක් පාසා තමන් වහන්සේගේ මනෝ විඥානයට සම්බන්ධ වන බැවින් එහි බලය, ගුණය, සුවය මෙ පමණ යැයි සිතා කියා නිම කළ නොහැක.

සෑම සත්වයා ම තමන්ගේ සිතැඟි පරිදි භුක්ති විඳින සම්පත් මෙන්ම පසිඳුරන්ගෙන් අපේක්ෂා කරන සම්පත් ද අපමණ ය. තමන් ලද ලාභයන් සම්පත් වීමට නම් නීරෝගීභාවය විද්‍යමාන විය යුතු ය. එම උතුම්ම ලාභය සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන කරුණු වන්නේ, පරිසර පවිත්‍රභාවය, යෝග්‍ය ආහාර ගැනීම, මානසික ශක්තිය,ව්‍යායාම ගැනීම හා පුද්ගල ආශ්‍රය යි

බුද්ධාදී මහෝත්තමයන්ටත් ලෙඩ රෝග හැදෙන නමුත් එයින් වන වේදනාව ආධ්‍යාත්මික ශක්තියෙන් මර්දනය කිරීමේ බලයක් පවතින්නේ ය.

ලෙඩ රෝග, වසංගත කලින් කලට ලෝකය පුරා ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව මිනිසා පෞද්ගලික වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් ද අපවිත්‍ර වීමයි. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, භාවිත කරන විවිධ උපකරණ නිතරම පවිත්‍රව පරිහරණය කරන අතර අපද්‍රව්‍ය ක්ෂණයකින් විනාශ කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය.

බාහිර හා අභ්‍යන්තර පවිත්‍රතාවය පිළිබඳව කරුණු ඉතා ශාස්ත්‍රීය ලෙස දක්වා වදාළ අප බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ නිර්වාණගාමී මාර්ගයට නීරෝගීභාවය මූලාධාර වන අයුරු නොයෙක් සූත්‍රවල පෙන්වා දුන්හ.

අප ජීවත්වන වර්තමාන සමාජයේ වැඩිදෙනා සත්ව ලෝකය හා ද්‍රව්‍ය ලෝකය දෙස බලන්නේ අවඥාවෙනි. එයට ප්‍රධාන හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන අයට පවිත්‍රතාවය නීරෝගීභාවය, සන්තෝෂය මෙන්ම අන්‍යොන්‍ය විශ්වාසය ද නැත්තේ ම ය.

භෞතික සම්පත් පදනම් කරගත් සතුට පවතින්නේ තමා ලබා ගත් සම්පතට වඩා සම්පතක් ලැබෙන තෙක් පමණි. සම්පතින් සම්පතට වෙනස්වන සන්තෝෂය ශරීර සෞඛ්‍ය පිරිහී යාමත් සමඟ වේදනාව අසහනය, බවට පරිවර්තනය වන්නේ ය. භෞතික සම්පත් භුක්ති විඳීමේ දී අරමුණුූ කරගත් රූප සටහන පසිඳුරන්ගෙන් දුරස්ථ වනවිට ඇතිවන මානසික සන්තාපය ශාරීරික රෝග පීඩාවන්ට හේතු භූත වන්නේ ය.

ධනාත්මක සන්තෝෂය ඇතිවන කරුණු හතක් අප බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතිය (ඇසීම) පරිත්‍යාගය, ලජ්ජාව, බිය, ප්‍රඥාව යන ආර්ය ධන හත ලබාගත යුත්තේ තමා විසින් ම ය. බුද්ධාදී තෙරුවන් පිළිබඳව ප්‍රසන්න මනසින් හා අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කර ගන්නේ නම්, රන්මුතු, මැණික් ආදී සත්රුවන් ලැබීමට වඩා ධනාත්මක සිතුම් ඇතිවී උභයාර්ථ සිද්ධිය ලැබ ගන්නේ ය.

සීලාදී ආධ්‍යාත්මික ශක්තිය මෙලොව පමණක් නොව උපනූපන් ආත්මවල සතුට සම්පත ඇතිකරන අතර ජාති, ජරා, ව්‍යාධි, මරණාදී ඉමහත් වේදනාවන් නැති උත්තමතම නිවනින් සදාකාලිකව සැනසීමට පුළුවන.