Print this Article


බොදු දනට සෙත සදමින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කළ කරතොට වජිරබුද්ධි නාහිමියෝ

බොදු දනට සෙත සදමින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කළ කරතොට වජිරබුද්ධි නාහිමියෝ

අපවත් වී වදාළ වාද්දුව මැලෑගම සුගතබිම්බාරාමයේ වැඩවිසූ සිරිඤාණරතන වංශාලංකාර කරතොට වජිරබුද්ධි මාහිමිපාණන් වහන්ස්ගේ 60 වැනි ගුණ සමරු පින්කම මේ මස 07 දිනට යෙදී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව නගරයේ ‘මැලෑගම’ නම් සශ්‍රීක ගම් පියසෙහි පිහිටි මැලෑගම සුගතබිම්බාරාමය වසර 200 ක් සම්පූර්ණ වන පෞරාණික සම්භාවනීය දර්ශනීය වෙහෙර බිමකි. දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති දෙල්දූවේ සුමන නාහිමි චතුර් විහාරාධිපති ධුරය දරන විහාරස්ථාන අතරින් මෙය ද එක් විහාරස්ථානයකි.

කාලයාගේ ඇවෑමෙන් පීක්කුලමේ සංඝරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වස් වසන ලද බව සඳහන් ව ඇත. පසුකාලීන ව “මැලෑගම සුගතබිම්බාරාමය” නමින් ව්‍යවහාර වූ මෙම පින්බිමේ ප්‍රථම නාහිමිපාණන් වූයේ පීක්කුලමේ සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව විහාරස්ථ පුරාණය වාර්තා කොට ඇත.

1922 වර්ෂයේ දී දෙල්දූවේ ඤාණරතන අධිකරණ සංඝනායක හිමි විසින් මෙම පුද බිම “සුගතබිම්බාරාමය” ලෙස නම් කරන ලදී.

අනතුරුව චතුර් විහාරාධිපති ධුරයට පත්වන්නේ අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක ධුරන්දර දෙල්දූවේ ඤාණරතන හිමියෝ ය. 1944 දින සීමා සම්මතය සිදු කරන ලද්දේ බෝගහපිටියේ සීලක්ඛන්ධ මහා ස්වාමීන් වහන්සේ විසිනි. දෙල්දූවේ ඤාණරතන නාහිමිගේ අනුශාසනා පරිදි කරතොට වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සසුන් කෙත ශෝභාවත් කරමින් හුදී ජනී ජනයාගේ චිත්ත ප්‍රබෝධය අර්ථවත් කරමින් ස්වකීය ශාසනික ගමන් මාර්ගය ආරම්භ කරන්නේ මෙතැන් සිට ය.

වර්ෂ 1891.10.15 දින පින්වත් කුමරු මනුලොව එළිය දුටහ. මෙම කුමරුවන්ගේ ගිහි නම දොන් ලුවිස් පුංචිහේවා නම් විය. වර්ෂ 1908.09.20 වැනි දින දකුණු පළාතේ ලාලිපේ කන්දේවත්තේ විහාරස්ථානයේ දී බඹරැන්දේ සංඝානන්ද මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වය යටතේ කරතොට විජිරබුද්ධි නමින් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්විය. වර්ෂ 1913.01.23 වැනි දින වැලිතොට ස්වේජින් නම් සීමා මාලකයේ දී දෙල්දූවේ ඤාණරතන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වය යටතේ අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ. රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමාධිවාසී සිරි සුගත ශාසන ධජ සිරිසුදස්සන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, දික්වැල්ලේ සිරි සුදස්සනානන්ද මහා විහාරාධිවාසී සුගුණරතනතිස්ස මහාස්වාමීන් වහන්සේලා ද, පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන් වාසී නෙලුම්පත්ගම සරණංකර මහා ස්වාමීන් වහන්සේලා කර්මාචාර්යයන් වූ අතර උපසම්පදාවේ ප්‍රධානත්වය මාදම්පේ සිරිවර්ධනාරාමාධිපති සිරිපවරසය පණ්ඩිත මාදම්පේ ධම්මතිලක මහා නාහිමියෝ දැරූහ.

මානව සංහතියේ හිතසුව පිණිස නිරන්තරයෙන් කැප වී ක්‍රියා කළ මෙම තෙරපාණෝ ගුණවත්, නැණවත්,සුසිල්වත්, සත්පුරුෂ, සංඝ පීතෘනමක් වූ බව සඳහන් ව ඇත. කරතොට වජිරබුද්ධි නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1962 දී අපවත්වීමෙන් පසුව දෙල්දූවේ ඤාණරතන නාහිමිගේ ශිෂ්‍ය ගොරකානේ පේමරතන අධිකරණ සංඝනායක හිමියෝ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වූහ. සමකාලීනව පයාගල විමලානන්ද, මාතලේ දීපානන්ද, වල්ගම රතනසිරි යන ස්වාමීන් වහන්සේලා ඇතුලු තවත් කිහිප නමක් මෙහි නේවාසිකව වැඩ වෙසෙමින් ලෝ සසුන් වැඩවසමින් විශාල ශාසනික සේවාවක් ඉටු කළහ.

ගොරකානේ පේමරතන නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව පරණගම සෝමාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ චතුර් විහාරස්ථානයන්හි විහාරාධිපති ධුරයට පත් වූහ. උන්වහන්සේගේ අනුශාසනා පෙරදැරිව නෑබඩ සිරිනිවාස හිමි සුගතබිම්බාරාම විහාරස්ථානයේ නේවාසික වෙමින් වටිනා ශාසනික මෙහෙවරක් ඉටු කළහ. කරතොට විමලරතන හිමි සහ වඩුමුල්ලේ විපස්සි යන ස්වාමීන් වහන්සේලා ද මෙහි වැඩ වෙසෙමින් සසුන් කෙත සරුසාර කළහ.

නෑබඩ සිරිනිවාස හිමිගේ අපවත්වීමෙන් පසුව පරණගම සෝමාලංකාර නාහිමිගේ අවසරයෙන් රත්මලානේ සිරි සුනීත හිමි මෙම විහාරස්ථානයේ නේවාසික වූහ. උන්වහන්සේ විහාරස්ථ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සහාය ලබාගෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ නිමවා බැතිමතුන්ගේ වන්දනාමානයට ඉඩ ප්‍රස්ථා විවර කළහ.

වර්ෂ 1994 දී විහාරාධිපති ධුරයට පත් වූයේ වත්මන් ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමියෝ ය.

වාද්දුව – මැලෑගම සුගතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි ලෙස චිරාත් කාලයක් වැඩ වෙසෙමින් 1962 දී අපවත් වී වදාළ කරතොට වජිරබුද්ධි මාහිමියන්ගේ 60 වන ගුණ සැමරුම සහ චතුර් විහාරස්ථානවල විහාරාධිපති සහ ආධිපත්‍ය දැරූ සියලුම නාහිමිපාණන් වහන්සේලා අනුස්මරණය කරමින් සිදු කෙරෙන ගුණ සමරු පුණ්‍ය මහෝත්සවය චතුර් විහාරාධිපති දෙල්දූවේ සුමන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සතර පේරුවේ දායක පින්වතුන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් මේ මස 27 වැනිදා පැවැත්වීමට දෙල්දූවේ සුමන නාහිමි, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සතර පේරුවේ දායක පින්වතුන් එක්ව කටයුතු සංවිධානය කොට ඇත.