ජීවිතයට සැලසුමක් තිබෙනවා නම්
අමිල ධන නිධාන
මතු කර ගන්න පුළුවන්
උදම්මිට - ජා ඇල
උත්තමාරාම පුරාණ විහාරයේ
මොරටුවේ ආනන්ද හිමි
ඉවත දමන දඬුව වුව දලු ලා යළි පැළවෙන මේ රන් දෙරණේ සාරවත් මහ පොළොව අමතක කර පිටරටට
දත නියැවීම කොතරම් අමනෝඥ ද?
ගෙදර ප්‍රධානියා ප්‍රමාදයට,මත් බවට හේතුවන රහමෙර බීමෙහි යෙදුණු කල ඔහුගේ නැණ නුවණ
මොටවෙයි. ධනය විනාශවෙයි. දින දින දිළිඳුබවට පත්වෙයි. එකිනෙකා අතර සුහදබව බිඳගෙන කලහ
වඩවා ගනියි.
ධනය සේ ම ආරෝග්‍ය සම්පතින් පිරිහෙන මත් ලෝලියා විගස අවනතියට ගමන් කරයි. සමාජයේ
ගර්හාවට ලක්වෙයි. හේතු නැතිව ඇතැම්හු මහමඟ ඇවිදිති. කෙනෙක් නිවසින් බැහැරවිය යුත්තේ
යම් අත්‍යවශ්‍ය කරුණකට ම ය. කරුණු සලකා තෝරා බේරාගෙන ගමන් බිමන් යාම එදාට සේ ම අද
කලට ද බෙහෙවින් ම වටිනේ ය.
අවේලාවේ වීථි සැරිසැරීමෙන් තම දේපළ ද, ධනය ද, තමාසේ ම තම දරු පවුල ද අනාරක්ෂිත
වෙයි. නිතර නිතර නෘත්‍ය දර්ශනාදියෙහි ඇලීමෙන් ද වටිනා කාලය ධනය හා වැදගත් වැඩකටයුතු
කිරීමේ අවස්ථාව ද මඟ හැරෙයි.
තම නැණ නුවණ උත්සාහය ශ්‍රමය කෙරෙහි විශ්වාසය නොතබා කෙටි මං වලින් ධනවතුන් වීමට
ඇතැම්හු සූදු කෙළිති. එදා මෙන් අද ද එබඳු අය තම ධනය වාෂ්ප කරගෙන දුකට පත්වෙයි.
දියුණුව බලාපොරොත්තු වන්නාට පාප මිත්‍ර සේවනය ද බලවත් අනතුරෙකි. ඉන් තම ධනය ද,
කීර්තිය ද, හොඳ නම ද පිරිහෙයි. පාප මිත්‍රයා තම යහලු මිත්‍රයින්ව ද සුරාවට සූදුවට
කාම මිථ්‍යාචාරයට, බොරුවට, වංචාවට ඇද දමයි. නොහොඹිනා පාප ක්‍රියාවලට පොළඹවයි. පවිටු
මිතුරන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, වැලි කැට කැට රැස් කොට බඳින වේයාගේ
තුඹස බඳුව ද, මල නොපෙළා පැණි ගෙන බඳින මී වදය මෙන් ද හොඳ මිතුරන්ගේ ඇසුර ධන භෝග,
සම්පත්, වර්ධනයට ඉවහල්වෙයි.
සිඟාල මානවකයාට දෙසූ දහම් පද මිහිඳු මහ තෙරණුවෝ අපේ මුතුන්මිත්තනට මොනවට කියා
දුන්හ. එනිසාම එහි ආලෝකය හෙළයන්ගේ රුධිරයට ම කිඳාබැස්සේ ය.
ඉවත දමන දඬුව වුව දලු ලා යළි පැළවෙන මේ රන් දෙරණේ සාරවත් මහ පොළොව අමතක කර පිටරටට
දත නියැවීම කොතරම් අමනෝඥ ද?
රටක දියුණුව සංවර්ධනය ඉපයුම් මත නොව ඉතුරුම් මත රැඳී ඇත. පවුලක් තුළ වුව
ඉතිරිකිරීම් හොඳ නම් තව තවත් ආදායම් උත්පාදන ක්‍රමෝපායයන් ආරම්භ කළ හැකි ය. ඉදිරිය
බලා සැලසුම් සහගතව ක්‍රියා නොකිරීමෙන් බොහෝ අය විපතට පත්වෙති.
“මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
වැඩිය කඩන නරක ළමයි
හෙම නොවෙයි අපි
මල්ලිටයි මටයි
ගෙඩි දෙකක් ඇති.”
මේ අප කුඩා කල පටන් ඇසුණු අපට හුරු පුරුදු කවියකි. කොතරම් ඵලදාව තිබුණ ද අනවශ්‍ය
නාස්තිය පිටුදැකීම,
අරපරෙස්සම ඇගයීම මෙයින් කියැවෙයි. අරපරෙස්සම මසුරුකමක් නොව හොඳ පුරුද්දකි. උපයා
සපයා ගත් දෑ සකසුරුවමින් රැකගත යුතු ය. ස්වභාවික සම්පත්, ජලය, විදුලිය පමණක් නොව
කාලය විවේකය, වචන ද අප ඉතිරි කළ යුතු දෑය. අරපරෙස්සම ඉතිරිකිරීම නැති කවුරු කවුරුත්
පිරිහෙති, තැවෙති, දුක්වෙති. ඉතිරි කිරීම් නිසි ලෙස යොදවා නුවණැත්තා, දියුණුවට හිත
ඇත්නා තව තව ආදායම් මාර්ග විවෘත කර ගනියි.
අතු කඩා මොර කෑමෙන් ඉදිරි ඵල අහිමිවන බැව දැන උපයාගත් දෑ රැක ගනියි. ආදායම් මාර්ග
සිඳ බිඳ නොදමයි.
උපයන සියල්ල වියපැහැදම් නොකර සමස්ත ආදායමෙන් කොටසත් එදිනෙදා කෑම් බීම් ඇඳුම්
පැළඳුම් සඳහා යොදවා ආදායමෙන් දෙකොටසක් ගොවිතැන් වෙළහෙළදාම් කර්මාන්තාදියේ
අභිවෘද්ධිය උදෙසා වෙන් කළ යුතු ය. ඉන් නිෂ්පාදන ක්‍රියාවලියට ආයෝජන එක්කොට දියුණුවට
මං පෙත් විවර කරගත හැකි ය.
ලෝ පතළ අර්ථ ශාස්ත්‍රඥයින් මහප්‍රාණයෙන් විග්‍රහ කරන මේ ආර්ථික සිද්ධාන්තය
බුදුපියාණන් වහන්සේ ළයාන්විතවැ, සරලවැ, සුගමවැ, සුන්දරවැ සිඟාලට ඉගැන්වූ සේක.
ඉදිරියේ අනපේක්ෂිතව හටගන්නා දුක් කම්කටොලු රෝගපීඩා අප කරා එනුයේ අප කලින් ඇසුවන් කර
නොවෙයි. ආපදාවකට සුදානමින් ඉපයුම්වලින් තවත් කොටසක් වෙන්කර තබා ගත යුතු යැයි ද
බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. දියුණුවේ සිහින දකින්නෝ ඒ සඳහා වීර්යයෙන්,
උත්සාහයෙන් ක්‍රියා කළ යුත්තෝ ය. නොනිදා සිහින දැකීමට නොහැකි වන්නා සේ ම වීර්යයෙන්
තොරව සම්පත් උපද්දවාගත නොහැකි ය. වස්තු උපද්දවාගත යුතුවාක් මෙන් ම ඒවා රැක බලාගෙන
මතු පරපුරට තම දුවාදරුවන්ට උරුමකර දිය යුතු ය.
අනුවණයකු දිඹුල්ඵල අනුභව කරන ලෙසින් අමු, පැසුණු දිඹුල් එකට කඩා අමුවා ඉවතලා,
පැසුණු දිඹුල් බුදින්නකු සේ ආදායමට වඩා වියදම වැඩිකර නාස්තිකාර දිවි ගෙවා අයවැය
නොදැන සරලකම අරපිරිමැස්ම, අල්පේච්ඡතාව, ඉවතලා ක්‍රියා කිරීමෙන් සම ජීවිකතාව බිඳ
වැටෙයි. එය සාර්ථක දිවියකට මරු පහරෙකි.
සිඟාල පුතුට සේ් ම දීඝජාණු කෝළිය කුල පුතුට ද බුදුපියාණෝ මේ බැව් පෙන්වා දුන් සේක.
මේ කරුණු ඉතා ඕනෑකමින් තම දිවියට එකතු කරගත් එදා හෙළයෝ සරල චාම් අපිස් දිවියෙන්
දිවිමඟ ආලෝකවත් කර ගත්හ.
සර්වකාලීන වටිනාකමැති බුදුදහමේ ආර්ථික දර්ශනය, අමිල ධන නිධාන ඉස්මතු කර ගැනීමට
මොනවට පිහිටාධාර වෙයි. ඒ වූ කලි ආර්ථික වර්ධනය අභිබවන සැබෑම සංවර්ධනයකි. |