Print this Article


අවසාන ඉලක්කය ජය ගන්න ප්‍රතිපදා මඟෙහි දිරිමත් වන්න

අවසාන ඉලක්කය ජය ගන්න ප්‍රතිපදා මඟෙහි දිරිමත් වන්න

අපේ ත්‍රිපිටකයේ ඉතාමත් බහුල වශයෙන් අප කාටත් හුරු පුරුදු සූත්‍රයක් ලෙස කරණීයමෙත්ත සුතය පෙන්වා දෙන්නට හැකියාව තිබෙනවා.

තවත් දෙයක් තමා යම් ස්ථානයක දී අප දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට සූදානම් වන්නේ නම් එවිටත් කියන්නේ මේ සුත්‍රය යි. ඉතින් මේ විදිහට බලන කොට අපට ආරක්ෂාව සලසාලන සුත්‍රයක් ලෙසත් මේ සූත්‍රයට අපේ බෞද්ධයන් අතර වෙසෙස් තැනක් හිමි වෙනවා.

ඇත්තෙන් ම මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට පහදා දෙන්න උත්සාහවත් වුණේ කුමක් ද යන්න වටහා ගෙන මේ සූත්‍රයේ එන දේශනාවන් කොතෙක් දුරට අපේ ගිහි පැවිදි දෙපක්ෂයේ ම මෙලොව පරලොව සුවය පිණිස හේතු වෙනවා ද යන්න විමසා බැලීමේ ලිපි කීපයක් ඉදිරිපත් කිරීම වැදගත් කොට සැලකෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවක යි.

භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනා අරමුණු කර ගෙන යි. මේ පන්සියයක් වූ භික්ෂු පිරිස බුදුරජාණන් වහන්සේගෙන් තමතමන් වහන්සේලාට සුදුස කර්මස්ථාන ලබා ගෙන ඈත හිමවත ප්‍රදේශයේ මනහර පරිසරයක රුක්මුල්වල, සෙනසුන්වලට වී එම කර්මස්ථානවලට අනුව භාවනා වඩන්නට පටන් ගත්තා.

මේ මනහර පරිසරයේ පිහිටි ගස්වල රුක් දෙවිවරු අරක්ගෙන සිටියා. වස් කාලයක් එහෙම නැතිනම් මාස තුනක් ම භික්ෂූන් වහන්සේලා මෙහි වාසය කිරීම මේ රුක් දෙවිවරුන්ට මහ කරදරයක් ලෙස යි සැලකුවේ.

මේ දෙවිවරුන්ට භික්ෂූන් වහන්සේලා පහළ බිම වැඩවසද්දී අර ගස් මතට වී සිටීම අපහසු වුණා.

මහත් කරදරයක් වුණා. මේ නිසා මේ දෙවිවරුන්ට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රදේශයෙන් පළවා හැරීම යි.

මේ දෙවිවරු භික්ෂූන් වහන්සේලාට මේ පළාතම එපා වෙන තරමට මහ භයානක රූප මවා පෙන්වන්නටත්, බියකරු ශබ්ද ඇති කරවන්නටත්, අප්‍රසන්න දුගඳ වහනය වන ලෙස පරිසරයේ වෙනස්කම් ඇති කරන්නටත් ක්‍රියා කළා.

වස් තුන්මාසය මෙහි ගත කරමින් තමන් වහන්සේලාගේ කමටහන්වලට අනුව භාවනා කටයුතුවල යෙදීම අතිශයින් අපහසු බව මේ භික්ෂු පිරිසට තේරුම් ගියා.

ඒ භික්ෂූන් වහන්සේලා සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ හමු වී එම තත්වය පැහැදිලි කළා.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි, ඔබලා සියලු දෙනාම මේ මෙත්ත පිරිත මැනවින් උගෙන සජ්ඣායනා කරන්න. මාසයකට අට වතාවක්වත් මෙසේ සජ්ඣායනා කරන්න.

මෙහි කියැවෙන කරුණු සම්බන්ධයෙන් එක එක කරුණ වෙන වෙනම ධර්ම සාකච්ඡා කරන්න. එහෙම කරන කොට මේ තුළින් ඔබලාගේ සිත සමාධිගතවන භාවනාවක් බවට මෙහි එන කරණු පත්වෙනවා. ඒ විතරක් නොවේ. විපස්සනා පාදක ධ්‍යාන ද උපදිනවා. එමෙන්ම මේ කරුණු සජ්ඣායනා කරන විට දැන් බිමට බැස සිටින දෙවිවරු ඒ හඬට සවන් යොමු කරමින් සතුටු වෙනවා. එවිට ඒ දෙවිවරුන්ට ඔබලා කරදරයක් නොව ආශීර්වාදයක් ලෙස සලකනවා.

දෙවිවරු ඔබලා හැම අතින්ම ආරක්ෂා කරනවා. ඒ විදිහට බලන කොට ඔබලාට මහණෙනි, උතුම් විදර්ශනාව වඩා රහත් බවට පැමිණ සසර දුක් නිවාලන්නට මේ ප්‍රදේශය හැර වෙනත් පළාතක් නැහැ.

ඒ නිසා ආපසු ඒ සෙනසුන්වලට ම ගොස් මේ කියා දුන් ක්‍රමය අනුව කල් ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එම භික්ෂු පිරිස එම පළාතටම පිටත් කර එව්වා. ඒ අනුව කටයුතු කළ භික්ෂූන් වහන්සේලා විදර්ශනා භාවනාවෙන් සිත දියුණු කර, සැමට මෙත් වඩා, අනතුරුව එම වස් තුන් මාසය තුළම රහත් බව ලැබුවා.

ඒ වගේම එම රුක් දෙවිවරු අප්‍රමාණ සතුටට පත් වෙලා භික්ෂූන් වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයා දුන්නා.

මෙහි දී බුදුරජාණන් වහන්සේ මාසයකට අට වතාවක් මේ සූත්‍රය භික්ෂූන් වහන්සේලා විසින් සජ්ඣායනා කළයුතු බවට උපදෙස් දී තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව මෙම සූත්‍රයේ එන එක් එක් කරුණක් පිළිබඳ උන්වහන්සේලාට නිරන්තර සතිමත් බවක් හෙවත් සිහිය පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් පැවති නිස යි.

බුද්ධ නියමයට අනුව මාසයකට අට වතාවක් නම් මෙම සූත්‍රය සතියකට දෙවතාවත් සජ්ඣායනා කළයුතු ව තිබුණා. භික්ෂූන් වහන්සේලාට මෙහි කියැවෙන ශාන්තපදය හෙවත් නිවන් මඟ සපුරා ගැනීමට මෙහි එන එක් එක් කරුණක් ඉතා වැදගත් අවශ්‍යතාවක් බව පෙන්වා දී තිබෙනවා.

සන්තං පදං හෙවත් නිවන අරමුණු කර ක්‍රියා කරන අය අත්ථකුසලයෙන් යුක්ත විය යුතු වෙනවා. එනම් එම ශාන්තපදය වූ නිර්වාණය සොයා යන ගමන් මඟේ දී හෙවත් ප්‍රතිපත්ති මාර්ගයෙහි දක්ෂව, අනලස්ව ක්‍රියා කළයුතු වෙනවා කියන එකයි අත්ථකුසල යන පදයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ..

දැන් අප කාටත් පැහැදිලි වෙනවා, අප ජිවත් වන මේ සමාජය තුළ මෙම කරණීය මෙත්ත සූත්‍රය බහුල වශයෙන් දෙවියන්ට පින් දෙන්නට යොදා ගන්නේ කුමකට ද යන කරුණ. ඒවගේ ම අපට ඇතිවන අපල, විපත් අනදර කරදරවලින් බේරීමට මේ සූත්‍රය වැඩියෙන් සජ්ඣායනා කිරීමේ අරුත කුමක්ද කියන එක.

ඒ වුණාට මෙහි දී අප තේරුම් ගතයුතු වැදගත්ම අර්ථය වන්නේ සූත්‍රය හුදෙක් සජ්ඣායනා කිරිමෙන් පමණක් අපට අවශ්‍ය ආරක්ෂාව දෙවියන්ගෙන් සැලසෙනවා ද? දෙවියන් සතුටු වෙනවා ද? කියන මේ ප්‍රශ්න දෙක. ඇත්තෙන්ම එය එසේ වන්නේ නැහැ. මෙහි දී ගිහි පැවිදි දෙපක්ෂයට ම වැදගත් වන්නේ මේ සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් පමණක් සෑහීමකට පත් විය යුතු නො වන බව.

මොකද? බුදුරජාණන් වහන්සේ ම භික්ෂූන් වහන්සේට අනුශාසනා කළේ මෙහි එන ධර්ම කරුණු නිරන්තරයෙන් සාකච්ඡා කරමින් වටහා ගෙන ඒ අනුව සතිමත්ව සිට දිවි පැවැත්ම සකසා ගැනීමෙන් තමන්ගේ අත්ථකුසල නම් වූ අවසාන ඉලක්කය ජයගත හැකි ප්‍රතිපත්ති මාර්ගය දිරිමත් ව සකසා ගත හැකි බවයි.

බෞද්ධයාගේ සමස්ත ජිවන පිළිවෙත තුළම පාදක වන්නේ අවසාන ඉලක්කය වන නිවන යි. ඉතින් ඒ ඉලක්කයට ළඟා විය හැකි ජීවන ප්‍රතිපදාවකු යි බෞද්ධයා අනුගමනය කළ යුතු වන්නේ. බුදුරජාණන් වහනසේ ම පෙන්වා දෙනවා අඤ්ඤා ලාභූපනිසා- අඤ්ඤා නිබ්බාණගාමිණි යනුවෙන් වැදගත් අරුතක්. මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වා දී තිබෙන්නේ ආමිෂයට යොමු වී ලාභ ප්‍රයෝජන අරමුණු කොට ජීවිතය පවත්වාගෙන යාමත්, සියල්ල අත්හැර නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ව්‍යායාමයත් එකක් නොව පැහැදිලිව එකිනෙකට වෙනස් පිළිවෙත් දෙකක් බව.

මෙය නිවැරැදි ව තේරුම් නො ගැනිම තුළ ගිහි හෝ පැවිදි වේවා බාහිර ස්වරූපයෙන් තමන් බෞද්ධයන් ලෙස පෙනී සිටියත් ඔවුන් අනුගමනය කරනු ලබන පිළිවෙත් නිසා මේ දෙයාකාර ලාභ උපයන ගමන් මඟත්, සසර විමුක්තිය සඳහා අනුගමනය කරන මඟත් මිශ්‍ර කර නිවැරැදිව තේරුම් නොගෙන, වංචාකාරිව, වංචනික ආකාරයෙන් අනුගමනය කරන බවක් පැහැදිලිව පෙනී යනවා.

මෙම සූත්‍රයෙන් ඉන් අනතුරුව ප්‍රකාශ වන්නේ ශාන්ත වූ පදය හෙවත් නිවන් මඟ අරමුණු කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය අනුපූර්ව ප්‍රතිපාදාවක් ලෙස පෙන්වා දීමට යි.

භාවනානුයෝගි යෝගාවචරයකු විසින් අනුගමනය කරනු ලබන මෙම අනුපූර්ව ප්‍රතිපදාවේ දී විදර්ශනා ඥානය උපදවා ගෙන එම ශාන්ත වූ නිවන අවබෝධ කර ගන්නා පිළිවෙතත්, ඒ තුළ ගිහි ජිවිතයක් ගත කරන අඹුසැමියන් ලෙස ජිවත් වී දූදරුවන් ඇති කරගෙන වත්පොහොසත්කම් ලබා සාර්ථක ව එම ජිවන මඟ බෞද්ධ ප්‍රතිපදාවන්ට අනුකූලව ගත කරන්නට අනුගමනය කරන පිළිවෙතත් යන දෙකම නිර්වාණගාමී ප්‍රතිපදාවට බාධාවක් නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම යි මෙහි දී අපේ අවධානයට යොමු වන්නේ.

ඉදිරියේ දී මෙම අත්ථකුසලය සවිමත් කිරීමට උපකාරි වන, මෙම සූත්‍රයෙන් කියැවෙන කරුණු එක් එකක් වශයෙන් ගෙන සාකච්ඡාවට භාජන කිරීමට අපේකෂා කරනවා.