Print this Article


මහනුවර ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව 13 වතාවක් වැඩම කරවූ පින්බර ඇත් රජ දිවියට සමුදෙයි

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව 13 වතාවක් වැඩම කරවූ පින්බර ඇත් රජ දිවියට සමුදෙයි

ශ්‍රී ලංකාවට අගනා සම්පතක් වූ නැදුන්ගමුවේ රාජා හස්තියා රට ම හඬවා මෙලොව හැර ගියේ ය. “නැදුන්ගමුවේ” හස්ති රාජයාගේ අභාවය පිළිබඳ ශෝචනීය පුවත මුළු රට පුරාත්, ලොව පුරාත් පැතිර යන්නට ගත වූයේ නිමේෂයකි.

සොබා දහමේ අමිල දායාදයක් ලෙස මෙරටට තිළිණ වූ නැදුන්ගමුවේ ඇත් රජු අපූර්ව ගති ලක්ෂණයන්ගෙන් පොහොසත් හස්තියකු වූයේ ය. මේ හස්ති රාජයා ශක්තියෙන් පරිපූර්ණ දේහ විලාසයකින් යුතු විය. ජීවන ගමනින් සමුගන්නා විට හස්තියා 69 වැනි වියේ පසු විය.

මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රචළිතව සිටි නීලම්මහර වෙද හාමුදුරුවෝ, ඒ දවස ලංකා ඉතිහාසයට අලුත් පිටුවක් එක් වේ යැයි නොසිතන්නට ද ඇත. ඒ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ ‘මහරාජාවරයකුගේ සමීපතමයකුට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවට වැඩම කිරීමට සිදුවීම ය. උන්වහන්සේ එහි වැඩම කොට රෝගියාට ප්‍රතිකාර කළ අතර, උන්වහන්සේගේ ඖෂධවල බල මහිමයෙන් රෝගියා නිට්ටාවට සුවය ලැබී ය. ඒ පිළිබඳ පැහැදුණු මහරාජා ලබා දුන් පුද පඬුරු අතර තවත් ඇත් පැටවකු සමඟින් නැදුන්ගමුවේ ඇතා මෙරටට හිමි විය. අවුරුදු 05 ක් පමණ වූ කුඩා ඇත් පැටියකු ලෙස ලංකාවට හිමි වූ මෙම හස්තියා වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපත ලබා ඇත.

නීලම්මහර විහාරස්ථානයේ වෙද හාමුදුරුවෝ සමීපයේ හැදී වැඩුණත් පසුව දෙවැනි අයිතිකරු වශයෙන් හොරණ උඩුව වලව්වට භාර කරන ලදී. අනෙක් ඇත් පැටවා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ‘නවම් රාජා’ නමින් හැදී වැඩෙන්නට විය.

වර්ෂ 1978 දී ධර්මවිජය වෙද රාළහාමි වෙත භාරකාරත්වය හිමි වන්නේ නැදුන්ගමුවේ රාජා නමිනි. ඇත් රජුගේ වත්මන් භාරකරු වූයේ වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා ය.

වෙද පරම්පරාවක නිවුණු ගතිගුණ ඔස්සේ හැදී වැඩුණු නැදුන්ගමුවේ රාජා ඉතාමත් ම කීකරු හීලෑ සත්වයෙකි. උසින් අඩි 11 1/2ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ, තෙගුණ කළේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලය යි.

ඉතා බුද්ධිමත් සහ සංවර සත්වයකු වන නැදුන්ගමුවේ හස්තිරාජා බෝසත් ගතිගුණ ඇත්තකු වශයෙන් හඳුන්වන ලදී. ඒ හස්තියා කුමන හෝ විහාරස්ථානයක ගිය විටෙක හෝ පිරිත් සජ්ඣායනා කරන විටෙක වන්දනා කරන ඉරියව්වෙන් රැඳී සිට සිය පසුපස හෝ විහාරස්ථානය වෙත හරවන්නේ ද නැත. ඒ ආකාරයෙන් ඉතා බුද්ධිමත් හා සංවර සත්වයෙකි.

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍ය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිතව උපන් පෙර පින් ඇති ඇතකුට පමණි. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත ය.

2006 වසරේ සිට අඛණ්ඩව දළදා මාළිගාවේ දළදා පෙරහර කරඬුව 13න් වතාවක් වැඩම කරලීමට වාසනාව මේ ඇත් රජුට හිමිවිය.

ඉන්දියාවේ සිට නැව් නැඟ මෙරටට ගොඩබට දිනයේ සිට මිය යන තෙක් ම වාහනයක ගමන් ගෙන නැති නැදුන්ගමුවේ රාජා පෙරහර මංගල්‍යය සඳහා සහභාගිවීමට පා ගමනින් ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝමීටර දහස් ගණනකි. ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට සෙංකඩගල පුරවරයට යන්නට එන්නට පමණක් එක් වර්ෂයක දී රාජා හස්තියා කිලෝමීටර් 190ක් පමණ දුරක් ඇවිද ගොස් ඇත. ඇතකු වාහනයක රැගෙන යෑම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. ස්වභාවික පරිසරය තරම් සතකුට වෙනත් ආස්වාදයක් කොයින් ද? වාහනයක යාමේ දී අධික වේගය,ගැස්සීම, තිරිංග තද කිරීමේ දී ඇතිවන පීඩනය එම හස්තියාට දරාගත නොහැකි වීම හා විශාල වූ ශරීරය පාලනය කර ගනිමින් ඉතා ආයාසයෙන් යුතුව යන මේ ගමන හස්තියකුට විවිධ ලෙඩ රෝගවලට පවා ලක්ව ආයුෂ ද අඩුවන බවයි කියැවෙන්නේ. දිනකට හස්තියකු කිලෝමීටර් 15 ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් ම අවශ්‍ය අංගයක් බවයි සඳහන් වන්නේ.

දළදා පෙරහරට පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලය, බෙල්ලන්විල, කැලණිය, කඩුවෙල ආදී ලෙසින් වසරකට පෙරහර 30 කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඇත. ඒ සියලු ගමන් ගියේ ද පා ගමනින්ය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භවීමට දින 05කට කලින් නැන්ගමුවේ හර්ෂ මහතාගේ නිවසින් සියලු වතාවත්වලින් පසු නැකතට අනුව පිටත්වන හස්තියාගේ පළමු දින රාත්‍රි නවාතැන වන්නේ පස්යාලේ ය. පසු දින පස්යාලෙන් පිටත්වන ඇත් රජු දෙවැනි දින වරකාපොළත්, තෙවැනි දින කෑගල්ලෙත්, සිව්වන දින මාවනැල්ලෙත් රාත්‍රිය ගත කරන අතර පස්වන දින සෙංකඩගල පුරවරයට ළඟා වෙයි.

කිසිදු දිනෙක මිනිස් ජීවිතයකට හානි නොකළ නැදුන්ගමුවේ රාජාගේ විශේෂත්වය වන්නේ පෙරහරට සහභාගි වන අවස්ථාවේ දි අනිකුත් හස්තීන් කලබල කළත් තම පාඩුවේ පෙරහරේ ගමන් කරමින්, තම වගකීම නිහඬව ඉටු කිරීමට වගබලා ගැනීමයි.

මංගල කරුණු සපිරුණු ඇතකු දළදා පෙරහර කරඬුව වැඩම කිරීම උදෙසා තෝරා ගැනීමට හස්ති මණ්ඩලයකින් තේරීම රජ දවස සිට සිදු කළ කාර්යයකි.

මංගල හස්තියකුවීමේ වාසනාව නැදුන්ගමුවේ රාජා ඇත් රජු සතුම ය.

මේ මංගල හස්ති රජු තබන තබන ලද පය පොළෝ මහී කාන්තාවගේ උරමතින් ගමන් කරන්නා සේ ය. ඈ ඔහු ආරක්ෂා කළාය. ඇත් රජු රටට ම සම්පතක් වූයේ ය. එපමණක් නොව සොබා දහමට අමිල දායාදයක් විය. ඇත් රජු රැක ගනු වස් මිහිකත දිවි හිමියෙන් ම කටයුතු කළේ යැයි ද සිතේ. ඒ බව හොඳාකාරව ම දන්නා සේ නැදුන්ගමුවේ ඇත් රජු ද පා තැබුවේ ප්‍රවේසමෙනි.

මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබීමට තරම් පින්වන්ත වූ නැදුන්ගමුවේ රාජා ඇතු වෙනුවෙන් 2019 වසරේ දී සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් විය.

නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ දේහය පිළිබඳ අවසන් ආගමික වතාවත් ධර්මවිජය වෙද මහතාගේ නිවෙසේ දී පසුගිය 07 දින පස්වරුවේ සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව එම සිරුර සංරක්ෂණය කටයුතු සඳහා බාරදීමට නියමිතව තිබුණි.