Print this Article


උපේක්ෂාවේ සැහැල්ලුව අත්විඳීන කාන්තාවක් වන්න

උපේක්ෂාවේ සැහැල්ලුව අත්විඳීන කාන්තාවක් වන්න

අඹුසැමි දෙදෙනා උපමා කොට වදාළ දෙසුමක් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ඒ අනුව නිවෙසක සැමියා හා බිරිඳ දෙදෙනාම ධර්මයේ හැසිරෙනවා නම් ඒ නිවස දෙවියෙකු හා දෙවඟනක් ජීවත් වෙනවා වැනි ය.

දෙදෙනාම ධර්මයේ හැසිරෙන්නේ නැතිනම් ඒ නිවසේ මළමිනියක් සමඟ තවත් මළමිනියක් ජිවත් වෙනවා වැනි ය. සැමියා ධර්මයේ හැසිරී බිරිඳ ධර්මයේ හැසිරෙන්නේ නැතිනම් දෙවියෙක් මළමිනියක් සමඟ ජීවත් වෙනවා වැනි ය. බිරිඳ ධර්මයේ හැසිරී, සැමියා ධර්මයේ හැසිරෙන්නේ නැතිනම් දෙව්දුවක් මළමිනියක් සමඟ ජීවත් වෙනවා වැනිය කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

අද සමාජයේ අඩුවෙන් ම දැකිය හැකි වන්නේ දෙව්දුවක් හා දෙවියෙක් ජීවත්වන පවුල යි. ඔවුන් දන් දුන්නත්, සිල් සමාදන් වුවත්, වන්දනාවකට ගියත් එකටයි යන්නේ. සැමියා ධර්මයේ හැසිරෙන්නේ නැති තැන බිරිඳ ධර්මයේ හැසිරීමට කැමැති නම් එතැන ඇයට අභියෝග වැඩි යි. එහෙත් ශ්‍රද්ධාවන්ත කාන්තාවට ඕනෑම තැනක සිට ධර්මය දියුණු කර ගැනීමට හැකියාව තිබෙනවා. තමන් ධර්මයේ හැසිරීමට කැමැති වුවත්, තමන්ට ඒ නිවස, ස්ථානය ඒ සඳහා සුදුසු නො වෙන්න පුළුවන්. එහෙත් තමන්ගේ සිත පාලනය කරමින් එහි නො ගැටි වැඩ කළයුතු වෙනවා. එසේ නැතිනම් ඒ ස්ථානයේ අර්බුද හදන චරිතය බවට පත් වන්නේත් ඇය යි.

යම් නිවසක බිරිඳ ධර්මයේ හැසිරෙන්නට කැමැතියි. එහෙත් සැමියාට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති නිසා ඇය සිල් සමාදන් වීමේ දී, වන්දනාවට, දානයට යාමේ දී අමනාප වෙන්නත් පුළුවන්. එය ඇයට යහපතක් බව ඔහුට දැනෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවක බිරිඳ සිතුවොත් “අනේ මම මහා පවුකාර යි. මේ සියලු දුක් මේ බැඳීම් නිසානේ. නැත්නම් මටත් හිතේ හැටියට පින් දහම් කරන්න තිබුණා. අනේ මමත් පැවිදි වුණා නම් මේ කරදර නැහැනේ” කියා සිතුවොත් පවුල තුළ අර්බුද ඇතිවන ආකාරයට වචන කියැවෙනවා. එය සම්පූර්ණයෙන් ම වැරැදියි.

තමන් යම් ධර්මයක හැසිරෙනවා නම් තව කෙනකුට එය පීඩාවක් වෙන්න බැහැ. සාමාන්‍ය ජීවිතයේ අප තුළ යම් කරුණාවක් තිබුණා නම් ධර්මයේ හැසිරෙන්න පටන් ගත් පසුව ඒ කරුණාව වැඩි වෙන්න ඕන. දයානුකම්පාවක් තිබුණා නම්, පවුල තුළ වගකීම් ඉටු කරන ස්වභාවයක් තිබුණා නම් ධර්මයේ හැසිරෙන්න පටන් ගත් පසුව තව තවත් එය වැඩිවෙන්න ඕන. එය අප හිතන වේගයෙන් සිදු වේවි යැයි සිතිය නොහැකි යි. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වෙනවා.

තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළා තමන් තව කෙනකුට සෙනෙහස දක්වනවා නම්, ආදරේ නම්, සානුකම්පිත නම්, ඔවුන්ගේ යහපත කැමැති නම්, කියන දේ අසාවි යැයි සිතනවා නම් ඔවුන් බුද්ධ, ධම්ම, සංඝ රත්නයන් කෙරෙහි සමාදන් කරවන්න කියල යි. එහෙත් සිතන පමාවට එය කළ නොහැකි යි. කෙනෙක් ධර්මයට පහදින්නට ඒ සඳහා පිනක් තිබෙන්න ඕනෑ. ඒ පින රැස්කර ගැනිමට යි මුලින් උදව් කළ යුත්තේ. පින මෝරන තැන කොහොම ද? කොතැන ද? අප දන්නේ නැති නිසා.

ඒ නිසා අපටත් යම් ප්‍රශ්නයක් තැවුලක් ආ විට ඉවසන්නට ඕනෑ. ඉවසීමෙන් ධර්මයට යොමු කරන්න මහන්සි ගන්න ඕනෑ. එසේ බැරි වුණොත්? ඒත් සතුටු වෙන්න ඕනෑ මම හොඳ දෙයක් වෙනුවෙන් උත්සාහයක් ගත්තා කියලා‍. එසේ බොහෝ ගිහිකල ඉවසූ රහත් තෙරණින් වහන්සේ නමක් බුද්ධ ශාසනයේ සිටියා. ඒ ථේරිකා රහත් භික්ෂුණිය යි.

ගිහි කල ඇය විවාහ වෙලා සැමියාගේ නිවසට ගියේ තරුණ වයසේ දී ම යි. ඇය විවාහ වුණාට පස්සේ ධර්මය අහන්න ලැබුණා. ඇය කල්පනා කළා "මේ ගිහි ගෙදර නම් ඒකාන්තයෙන් දුකක්ම යි. මම පැවිදි වුණා නම් හොඳයි" කියා සැමියා වෙත ගොස්

“මගේ හිත ‍ ගිහි ගෙදරට කලකිරුණා. මම බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ද?”

“මම ඔබව විවාහ කරගෙන ආවේ ළඟදී. ඇයි ගිහි ගෙදරට කලකිරෙන්නේ? ඕවා අමතක කරලා සතුටින් ඉන්න.”

“පැවිදි වීමට පිනක් ඕන. මගේ පින තව මෝරලා නැතිව ඇති. ඒ නිසා මම කලබල කළොත් එය ධර්මයේ හැසිරෙන කෙනකුට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මට කරන්න තිබෙන්නේ ඇසූ ධර්මය ලැබෙන තැන සිට පුරුදු කිරීම යි” ‍ථේරිකා සිතුවා.

ඇය එදා පැවිදි වෙන්න ඕන බව කියමින් ගැටුම් ඇතිකර ගත්තේ නැහැ. ධර්මයේ හැසිරෙන්නා කටයුතු කළ යුත්තේ ප්‍රතිපත්තියත් සමඟ යි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට චීවරය අනිවාර්ය නැහැ. එහෙත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් කුසල් දියුණු කිරීම අනිවාර්යයෙන් කළයුතු වෙනවා. ථේරිකා කුසලයට ආශා කළා. ඇය නිව‍සේ වැඩපල කරන අතරේ “මම දහම් මනසිකාරයක් පුරුදු කරනවා” යැයි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. ථේරිකා නිවසේ සියලු වැඩකටයුතු කරන අතර දහම් මනසිකාරයක් පුරුදු කළා. ඒ හැම දෙයක් ම අනිත්‍යය යි, අනිත්‍ය දේ දුකයි, අනිත්‍ය වූ දුක් වූ දේ මගේ වසඟයේ පවත්වන්න බැහැ. ඒ නිසා අනාත්ම යි. මේ දේ සිතමින් සියලු වැඩ කළා. ඇය වැඩ කරන ගමන් ද්වේෂය ඇතිකර ගත්තේ නැහැ. රෙදි සෝදද්දීත්, අතුපතු ගාද්දීත්, මුළුතැන් ගේ තුළත් කාලයක් මේ ධර්මය පුරුදු කළා.

දිනක් ඇය පලා මැල්ලුමක් හදන්න සූදානම් කර භාජනයකට දමා මැල්ලුම ලිප මත තබා වෙනත් වැඩක නිරත වුණා. එවෙලෙහිත් ථේරිකාගේ සිතේ වැඩ කළේ මේ හැම දෙයක් ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සංඥාව යි. එක වරම මැල්ලුම රොස් වෙන ගඳක් ආවා. ඇය වහා ලිප දෙස බැලුවා. ඇය දුටුවා මැල්ලුම රොස් වෙලා. පාට වෙනස් වෙලා. සුවඳ වෙනස් වෙලා. ඇය පුරුදු කළ සංඥාව ඇගේ සිත තුළ පැන නැංගා. හැම දෙයක් ම අනිත්‍ය යි, අනිත්‍ය වූ දෙය දුක යි, දුක් දේ අනාත්ම යැයි විමසමින් සිටි ධර්මය ඒ මොහොතේ ඇයට වැටහුණා. ඒ සුන්දර ධර්මය ඇයට කෙ තරම් වැටහුණා ද යත් මුළුතැන් ගෙයි ලිප අසල ඇය අනාගාමි ඵලය ලැබුවා. දැන් ඇය මැදිවිය ඉක්ම වූ අම්මා කෙනක්. පැවිදි වීමට අවසර ඉල්ලුවේ විවාහ වූ අලුත. එහෙනම් ඇය බොහෝ කාලයක් අඛණ්ඩ උත්සාහයක යෙදී තිබෙනවා.

සිත හොඳීන් මෝරපු මොහොතේ ඇය සිය සැමියාගෙන් අවසර ගෙන පැවිදි වීමට භික්ෂුණි ආරාමයට ගියා.

ථේරිකා භික්ෂුණියක් ලෙස පැවිදි වුණා.භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් නිකෙලෙස් වීමට උපදෙස් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ථේරිකා "ඔබ කොළ මැල්ලුම රොස් වූ ආකාරය ම සිහි කරන්න" යැයි වදාළා. තෙරණිය කුටියට වැඩියා. පා සෝදා ගත්තා. පළඟක් බැඳ‍ වාඩි වෙලා ඒ පිළිබඳ විදර්ශනා කොට උතුම් අරහත්වයට පත්වුණා. ථේරිකා භික්ෂුණියට එසේ වීමට අවස්ථාව උදාවුණේ කුසලයේ හිත පවත්වන්නට ආශා කළ නිස යි.

ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කැමැතිනම් නිවැසියන් සමඟ නොගැටී, එකටඑක ‍ නො කර අවට සිටින සියලු දෙනා ධර්ම මාර්ගය දියුණු කරන්න මට උදව් කරයි කියා අපේක්ෂා තබා නොගෙන සිටිය යුතු වෙනවා. අපේක්ෂාව බරක්. උපේක්ෂාව සැහැල්ලු යි. ඒ වගේම අසල්වාසී, මිතුරන් ප්‍රදේශවාසී මුළු ලෝකයා දෙසම උපේක්ෂාවෙන් බලන්න. ගැටෙන තැන නො ගැටී සිටින්න. එල්ල වන චෝදනා මෙනෙහි නොකර සිටින්න. ඒ වගේම ස්ථානය අතහැර වෙනත් ස්ථානයකට ගියා නම් මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි කියන අදහස අතහැර දමන්න. ස්ථානය මාරු කිරීම ධර්මයේ සිටින අයකුගේ ලක්ෂණයක් නොවේ. ඉවසන්න ඕන අවස්ථාවේ මඟහැර සිටීම ඉවසීම පුරුදු කරන්න බාධාවක්. එයින් සිදුවන්නේ අර්බුද වැඩිවීම යි. නමුත් අපි ධර්මය මෙනෙහි කරගෙන එතැනම සිට ඉවසනවා නම් හොඳ විසඳුමක් ලැබෙන්නත් පුළුවන්. සමහර විට අපට මුළු ජීවිත කාලය ම ඉවසන්න වේවි.

සංසාර දුකත් සමඟ එය ගලපා මේ ජීවිතයේ කෙටි කාලය තුළ ඉවසන්න පුරුදු වුණොත් එය යහපත පිණිස පවතීවි. සසර ගමන ඉතාමත් දීර්ඝ යි. ඒ දීර්ඝ සසරේ විඳීමට ඇති දුක ගැන සිතා නිරන්තරයෙන් අප ඉවසීම පුරුදු කරමු.