Print this Article


මෙලොව දියුණුවත් පරලොව විජයත් සිහිනයක් නොවන්නට නම්...

මෙලොව දියුණුවත් පරලොව විජයත් සිහිනයක් නොවන්නට නම්...

හෙළ දිවැ හෙළ රජ නාමාවලිය ඔපවත් කළ සශ්‍රීක දේශයක් ලක්වැසි අපට දායාද කළ, පරාක්‍රමබාහු මහ නිරිඳාණෝ “අහසින් වැටෙන එකදු දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලාගෙන යාමට ඉඩ නොතබමු යන්න” අපට සිහිගැන්වූවෝ ය. පෙරදිග ධාන්‍යාගාරය විරුදාවලියෙන් එදා ලක්මව පිදුම් ලැබුවා ය. දිගත පතළ වූවා ය.

එකල රට සහලින් ස්වයං පෝෂිත විය. ඒ දූරදර්ශී ව, අනලස්ව, උත්සාහයෙන් ධෛර්යයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය. කවර දෙයක් වුව ඉමහත් ඕනෑකමින් යුතු ව, අපේක්ෂිත අරමුණු ඉෂ්ට සිදුවනතුරු ක්‍රියා කිරීමේ ධෛර්යය, වීර්යය, උත්සාහය කෙනකු තුළ වේ නම්, සෞභාග්‍යය ඔහු කෙරෙන් තුරන් නොවෙයි.

භාග්‍යය හා වීර්යය, එකම කාසියක දෙපැත්ත මෙනි. වීර්ය නැමැති බලශක්තිය, චිත්ත බලවේගය, හදේ පැළකරගත් විට කළ නොහැක්කක් නොමැත. සිතෙහි බලය එතරම්ම ප්‍රබල ය.

රේඩියම් සොයාගත් මහා විද්‍යාඥවරිය මාරිකියුරි, විදුලි බල්බය නිපද වූ තෝමස් අල්වා එඩිසන්, ස්වකීය පර්යේෂණ සාර්ථක කර ගත්තේ බලවත් වීර්යයෙනි, උත්සාහයෙනි. අසීමිත දුක් කම්කටොලු ඉවසා ලෝකයාට වටිනා ත්‍යාගයන් තිළිණ කරන්නට මොවුහු සමත් වූහ.

අභ්‍යවකාශ තරණය, සඳ මත පා තැබීම, ග්‍රහලොව තතු සෙවීම, මිනිස් ජීවිත සුරැකීමට වෛද්‍ය මෙවලම්, ඈත දුර ගව් මෑත් කරන සන්නිවේදන තාක්ෂණික උපකරණ උත්සාහයේ උනන්දුවේ කැපවීමේ ප්‍රතිලාභ වෙයි. විද්‍යාත්මක ගවේෂණ පර්යේෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෙහෙස නොබලා, දෑසට නිදි නොදී, ගතට විවේක නොදී විද්‍යාඥයෝ සිදුකරති. එහි ප්‍රතිලාභය සමස්ත සත්ව සංහතියට ය.

මගෙ බුදුපියාණන් වහන්සේ සම්බෝධිය උදෙසා හදේ ඇති කර ගත් මූල බීජය වඩමින් බුද්ධාංකුර ධර්ම පූරණය කරමින් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරූහ. ප්‍රඥාවේ අග්‍රඵලය ගයාවේ බෝ මැඩදී සිදුහත් තවුසාණෝ අත්පත් කරගත් සේක් දෘඪ අධිෂ්ඨානයෙනි. බලවත් වීර්යයෙනි. බුදුවන භවයේ දී ද සයාවුරුද්දක් සාතිශය අසීරු දුෂ්කර ක්‍රියා කළහ. උන්වහන්සේ උදරයට අත තැබූ කල හසුවූයේ පිට කොන්ද ය. නිරාහාරව බවුන් වැඩීමෙන් ක්ලාන්ත වී උන්වහන්සේ ඇද වැටුණු වාර ගණනාවකි. ඒ කිසිවකින් උන්වහන්සේ කිසි විටෙක පසුබට නොවූ සේක.

උතුම් බුදුබවට ද, බුදු කිසට ද සතරවටින් නැඟී අසීරුතා, අපවාද, අපහාස, තර්ජන, ගර්ජන පමණක් නොව ශාරීරික, මානසික හිංසනයන් සැම අභිමුව පරාජිත ලොව අපරාජිතව නැඟී බාහිර ක්‍රියා තම අභිමතාර්ථයන් බිඳ හෙළීමට සමත් නොවන බැව් ක්‍රියාවෙන් ම සාධනය කොට පෙන්වූ සේක.

දියුණුවේ මං වසන අපමණ බාධා, සතුරු ක්‍රියා හමුවෙහි දෙදණින් නොවැටී, දෙපයින් නැඟිටී, ලෝකයාගේ අඩුපාඩු, අපට ලෝකයාගෙන් වන ගැහැට නොවිමසා අපෙන් ලොවට වියයුත්ත ඉටු කරයි නම් බුදුදහමේ අනගිභවනීය උතුම් සදූපදේශයන්ගෙන් අප දිවි සරසා ගත්තා වෙයි. එවිට මෙලොව දිනුමත් පරලොව විජයත් හුදු සිහිනයක් නොවනු ඇත.

දවසක් දඹදිව රජගහනුවර හුන් සිඟාල තරුණ පුතා උදෑසන ම පිබිද නුවරින් නික්ම පොකුණකට ගොසින් දිය නා ඒ තෙතබරිත දිය අඳනය පිටින්ම තෙත් හිස ද නොපිසා සය අතකට නැමි නැමී උඩට, යටට, නැඟෙනහිරට, බටහිරට, උතුරට, දකුණට යනාදී වශයෙන් සය අතට ම දොහොත් මුදුන් දී නමස්කාර කළේ ය.

එදා මෙම වීථියෙහි බුදුරදහු වැඩි සේක් සිඟාලක පුතාගෙන් සය දිශාවට වන්දනා කිරීමට හේතු විමසා සිටියහ. "අනේ, බුදුරජාණන් වහන්ස මගේ පියතුමන් මිය යාමට පළමු මෙලෙස සදිසා නමස්කාර කරන ලෙසට මට අවවාද කළේ යැයි" සිඟාල බුදුරදුන්ට පිළිවදන් දුන්නේ ය. "පුත සිඟාල, ආර්යය විනයට අනුව සදිසා නමස්කාර කරනුයේ මෙවන් අයුරින්" යැයි බුදුරදුන් දැන්වූ කල එම නිවැරැදි දිසා නමස්කාරය තමන්ට අනුකම්පාවෙන් උගන්වන්නැයි එදා සිඟාල පුත්‍රයා බුදුපාමුල වැඳවැටී අයැද සිටියේ ය. එදා බුදුරදහු සිඟාලකට වදාළ කාරණා දාහතර අනුව යමෙක් කටයුතු කරයි ද හෙතෙම මෙලොව දියුණුව ද පරලොව සුගතිය ද ලබා උතුම් නිවනට ද මඟ පාදා ගනියි.

ස්ව ශක්තියේ රන් උල්පතින් උපභෝග පරිභෝග සම්පත් පාදා අටුකොටු පිරුණු ඉසුරුමත් දිවියට, මෙලොව සැප පහසුවට, කවුරු වුව කැමැති ය. ඉඩකඩම් යාන වාහන, හරක බාන ඇති කල්හි මෙලොව ජීවිතය උවදුරින් තොරව ගෙනයාම පහසු ය.

තම ඥාති හිතමිත්‍රාදීනට ද උදව්පදව් කරගෙන දිවි ගෙවීමට සම්පත් පිරුණු දිවිය මහෝපකාරී වෙයි. කාර්යයන්හි උකටලී නොවී කම්මැලි කුසීතකම් හැරදා වස්තු සම්පත් උපයා ඒවායින් වැඩගෙන ස්වකීය දරුමල්ලනට ද පහසු දිවියකට මඟ සදා දීමට බුද්ධිමතා ක්‍රියා කරයි. දැන් ඉතා ශීත ය, දැන් උෂ්ණ ය, බොහෝ සවස් වී ඇත. උදෑසන වැඩිය, දැන් බොහෝ බඩගිනි ය, දැන් බඩ පිරී ඇත යනුවෙන් අලසකමින් කළ යුතු කටයුතු පමා කරන්නහුගේ සම්පත් නොවැඩෙයි. ඇති සම්පත ද දියෙහි ලු ලුණු සේ දියවී යයි. සත්ව ලොව අනලස් වේයා, කුහුඹුවා, මී මැස්සා බඳුව කාර්යයන්හි උත්සුකව කුසීතකමේ දොරටු වසන්නාට දියුණුවේ රුවන් දොර විවරවෙයි. කුසීතව, අලසව නිදා ගත්තේ නම් මී පැණි බඳු අගනා මහෞෂධයක් ලොවට තිළිණ කිරීමට මීමැස්සාට නොහැකි වෙයි.

එළඹෙන වැසි සමය නොතකා කෙළිදෙළෙන් ම කල් යවන තණකොළ පෙත්තා වැසි සමයේ අහර නැතිව තැවෙයි. යුහුසුළු කුහුඹුවා අනලස්වැ අනාගතය පුරෝකථනය කරයි.

ඉදිරි වැඩ තකා සැලසුම් ප්‍රතිපත්ති සම්පාදනය කරන අර්ථ විශේෂඥයන්ගෙන් පාඩම් උගත් ලෙස කටයුතු කිරීම මිනිස් අපට අගනා පාඩමකි. ඉර උදාවනතුරු නොනිදා අලුයම පිබිදෙන පක්ෂි කැළ අලසකමින් නිදන මිනිසාව ද අවදි කරයි. සියොත් සමූහයාගේ ආදර්ශය කෙතරම් වටී ද? සතුටු නාද මිස සම්පප්‍රලාප, ඕපාදූප පරුෂ වචන, කුරුලු ශබ්දකෝෂයේ නොමැත. මේ ගැනත් සිතා සීමිත කාලය නාස්ති නොකර ඵලදායි දෙයකට ම මිඩංගු කළ යුතු ය. අගනා මැණික්වල මිල දෙගුණ තෙගුණ වනුයේ ඒවා ආයාසයෙන් ගොඩගෙන ඔපදැමූ කල ය.

ගොවිකම් කරන ගොවියා ද, වෙළහෙළදාමේ නිරත වෙළෙන්දා ද වෙනයම් කර්මාන්තයක නිරතවුවකු පමණක් නොව ඉගෙන කියාගන්නා සිසුවාද ඉමහත් වෙරවීරියෙන් කටයුතු කිරීමෙන් ම තම කටයුතු කාර්යය සාඵල්‍යය ඉෂ්ට වෙයි.

ඉමහත් වෙහෙසත්, මහන්සියත් දරා වස්තුව රැස් කළ ද ඉපයූ ධනය නොරකී නම්, එකී වෑයම ගඟට කැපූ ඉනිමෙනි. අපතේ යයි. එලෙස ඉපයු සම්පත් නැති නාස්ති වන ආකාර සයත් එදා බුදුරදුහු සිඟාල පුතුට කරුණාවෙන් පෙන්වා දුන් සේක.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (25) පත්‍රයේ පළ වේ