Print this Article


සැනසීම සොයමින් වැනසීමට අතවනන්‍ෙන් ඇයි?

සැනසීම සොයමින් වැනසීමට අතවනන්‍ෙන් ඇයි?

නිරහංකාර සිනාව ප්‍රසන්න ය. සිත් ගන්නේ ය. ඔවුනොවුන් අතර සුහදත්වයක් ඇති කරන්නේ ය. සිනාසෙන්නට නොදන්නෝ ද සිටිති. සිතාමතාම සිනහව යටපත් කරගන්නෝ ද සිටිති. බොහෝවිට ඒ අය මානයෙන් යුක්ත අය ය. මානය යනු මැනීමයි. උඩඟු සිතින් තමන් ගැන වඩාත් ඉහළින් සිතීම අතිමානයයි. මානය නැත්තකු වීම අනතිමානයයි. මානය සම්පූර්ණයෙන් නැති කළා යන්න ඉන් අදහස් නොවේ. අනතිමානී පුද්ගලයා තුළ යම් තරමකට මානය තිබේ. එහෙත් අනවශ්‍ය ලෙස වඩා ඉහළින් සිතන්නේ නැත. නිහතමානී වන්නේ මානය සම්පූර්ණයෙන් දුරුකළ විටයි. එවිට ඔහු නික්ලේෂී උතුමෙකි. එනම් නිර්වාණය පසක් කළ තැනැත්තෙකි. පෘථග්ජන පුද්ගලයකුට ‘නිහතමානී’ යන යෙදුම භාවිත කළ නොහැකි ය.

ජීවත්වීමට සුදුසුම තැන

විශේෂයෙන් ප්‍රායෝගික ජීවිතයේ සැමියා, බිරිඳ, මව්පිය දූදරුවන් ඇතුළු සාමාජික සාමාජිකාවන් ඔවුනොවුන් මාන්නයෙන් උදුම්මාගත් සිතින් කටයුතු කරන්නේ නම්, එවැනි පවුලක, ගමක, සමාජයක සුහදත්වයක්, සාමයක්, සිතෙහි සැනසිලිබවක් ඇතිවන්නේ නැත. සරලව කියනවා නම් ජීවත්වන්නට සුදුසු පරිසරයක් එහි ඇතිවන්නේ නැත.

තමන් ගැන මහා ඉහළින් සිතමින්, අනුන් පහත් කොට සිතනවා නම්, ඒ තැනැත්තාට සමාජයෙන් ගෞරවයක්, ආදරයක්, පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

ගොයම් කරලක් වගේ වෙන්න

ඇතැම් තරුණ දරුවෝ අතිමානයෙන් සිතති. අම්මා, තාත්තා, වැනි වැඩිහිටියන් මායිම් නොකරති. ඔවුන්ගේ අදහස් කෝපි කාලයේ යැයි බැහැර කරති. එහෙත් දරුවන් වයසින්, දැනුමෙන්, උගත් කමින්, ධනයෙන්, බලයෙන් ඉහළ යන තරමට අනතිමානි වන්නට පුරුදු වෙනවා නම්, එය තම ජීවිතයට මහඟු වටිනාකමක් වනු ඇත. කිරි වැදෙන ගොයම් කරල දවසින් දවස බිමට බර වේ. ගහට බරක් නැත. මහා සුළඟක් හැමුව ද හානියක් නැත. ඒ වගේ, දේවල් ලැබෙන තරමට අනතිමානී වෙනවා නම්, ඒ ගුණාංගය ම තම ජීවිතයේ ආරක්ෂකයා බවට පත්වනු ඇත.

එමෙන්ම වැඩිහිටියන් තරුණ පරපුරට අවවාද දෙන්නේ අවුරුදු ගණනක් ජීවත්වීමෙන් ලද අත්දැකීම් ඇසුරෙනි. ඔවුන් යහමඟ පෙන්වන්නේ, අවවාද දෙන්නේ අනාදරයකින් හෝ තරහ සිතකින් නොවේ. වටිනා ජීවිත අනතුරට වැටේ යැයි බියෙනි.

සැනසිම සොයමින් වැනසීමට පත්වීම

සමහර තරුණ දරුවන් එකම නිවසේ සිටිය ද අම්මා, තාත්තා, සමඟ කතා බහක් නැත. ගෙදර වැඩිහිටියන් ගැන සැලකිල්ලක් නැත. ඔවුන් කරදරකාරි ලෙස සලකමින් යන එන තැනක් කියන්නේ නැත. මොහොතක් හොඳින් සිතා බැලුවේ නම් ඒ හැසිරීම නිසා සිතේ අවුල් වියවුල් මිස දෙපිරිසටම ලැබෙන සැනසීමක් නැත.

සමහරු මෙලෙස තරුණකම නිසා අතිමානය ඇතිකර ගනිති. ධර්මයෙහි මෙය ‘යොබ්බන මදය’ ලෙස හඳුන්වා දී ඇත.

සමහරු තම ජාතිය ගැන, තම පරම්පරාව ගැන, තම කුලය ගැන ඉහළින් සලකති. මෙය සමාජ සාමයට, සහජීවනයට, සමඟියට, සමානාත්මතාවයට බාධකයකි. ඔවුනොවුන් අතර හෘදයාංගම බවක් ඇත්නම් සාකච්ඡාවෙන් විසඳා ගත නොහැකි වී ප්‍රශ්න දුරදිග යන්නේ නැත. ඔවුනොවුන් අතර සුහදබව, විශ්වාසය නැතිවූ විට සිත අවුල් ය. එවැනි සිතින් කරන වැඩ කටයුතු ද අවුල්ය.

තවත් කෙනෙක් දේපළ මිල මුදල් නිසා අතිමානය ඇති කර ගනිති. උගත්කම්, රැකියාව, තාන්නමාන්න, නිලතල යාන වාහන නිසා අනුන් පහත් කොට සිතමින් අතිමානයෙන් කටයුතු කරති. සමහර අය තම රූපය, හැඩය නිසා උඩඟුවෙති.

ත්‍රිවිධාකාර සතුට

සාමාන්‍ය ගිහි ජීවිතයේ දී ලැබුණු දෙයින් සතුටුවීම සුවදායක ය. ගිහියකු ලෙස අඹු දරුවන් රකින කෙනකුට එය අපහසු කාර්යයකැයි සිතෙන්නට ඉඩ ඇත. ජීවන ගමනේ දි අනවශ්‍ය විය හියදම්වලින් තොර විය යුතු ය. එදිනෙදා මූලික අවශ්‍යතා ප්‍රමාණාත්මකව ඉටු කර ගනිමින් දිවිමග පවත්වාගත හැකි නම්, ඒ ජීවිතය අවබෝධාත්මක ය. සුවදායක ය. වේදනාවෙන්,අසහනයෙන්, පීඩාවෙන් තොර ය. මේ අයුරින් ජීවත්වන්නා තුන් ආකාරයක සතුටක් ලබයි. එනම් යථාලාභ, යථාබල හා යථා සාරුප්ප යන තුන් ආකාරයකින් ලබන සතුටකි.

යථාලාභ යනු ආදායමේ ප්‍රමාණයට අනුව අවශ්‍යදේට හුරු පුරුදු වීමයි. අවශ්‍යතා සපුරා ගැනීමයි. එයින් සතුටුවීමයි.

අනුන්ගේ වටිනා ඇඳුම් පැළඳුම් , අලංකාර ගේ දොර, උසස් වර්ගයේ යාන වාහන, ඉහළ මට්ටමේ ආහාරපාන දැක තමන්ට හැකියාවක් නොවී තිබියදීත් ඒවා ලබා ගන්නට ක්‍රියාත්මක වෙනවා නම් එය ප්‍රශ්නකාරි ජීවිතයකට යොමුවීමකි. එහි ප්‍රතිඵලය දුක්ඛදායක ය. ණය කාරයකු වීම පමණක් නොවේ. එයින් ලැබෙන ප්‍රතිඵල හැම පැතිකඩකින් ම වේදනාත්මක ය.

ලෝකයා රැවටීමට ලෝකයට ණය වීම

පමණ නොදැන වියදම් කිරීම නින්දා අපහාසවලට, නඩුහබවලට, ජීවිත විනාශයට යොමුකරන ගමනකි. බොහෝ දෙනෙක් අනවශ්‍ය වියදම් නිර්මාණය කරන්නේ ලෝකයාට පෙන්වන්නට ය. උපන්දින, වැඩිවියට පැමිණීම්, විවාහ මංගල්‍යය ආදියට විශාල වශයෙන් මුදල් වියදම් කරන්නේ තමන්ගේ හැකියාවට අනුව නොවේ. ලෝකයා රැවටීමට ලෝකයාට ණය වීමෙනි.

ප්‍රමාණවත්ව ධනය උපයාගත යුතු ය. ධන පරිහරණයේ දී සමජීවිකතාව ඉතා වැදගත් කරුණකි. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයකුගේ ආදායමට සරිලන ආකාරයට වියදම් කළ යුතු බවයි. අය වැය ගැන නොසලකා සමහරු උපයන සියල්ල පරිභෝජනය කරති. අනාගතයට ඉතිරි කිරීමක් නැත. හදිසි කරදරයක් විපතක් සිදුවුවහොත් ඉතිරි කරගත් දෙයක් නොමැති නිසා එවැනි අය දුකට පත්වෙති. උපයන සියල්ල වියදම් කරන අය ධර්මයෙහි පෙන්වා දී ඇත්තේ උදුම්බරඛාදිකයන් ලෙසයි.

‘උදුම්බර’ යනු අට්ටික්කා ය. ඇතැම් අය ගහේ අතු සොලවා අට්ටික්කා ලබා ගැනීමට උත්සාහ ගනිති. ඒ තුළින් වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගෙඩි වැටී ගෙඩි සෑහෙන ප්‍රමාණයක් අපතේ යාමයි.

මානසික සුවයට සමබර බව

සමහරු නොකා නොබී ධනය උපයති. අත්‍යවශ්‍ය දෙයකටත් වියදම් නොකරති. කොතරම් හම්බකළත් තමාවත් නොකා නොබී මරණයට පත්වන ඔවුහු ‘අජුද්ධුමාරිකයින්’ ලෙස බුදුදහමෙහි දක්වා ඇත.

අය වැය ගැන හරි අවබෝධයෙන් අයවැය සමබරව පවත්වා ගනිමින් ආර්ථිකය නිවැරැදිව කළමනාකරණය කරන්නා ‘තුලාධාරික’ ලෙස බුදුදහමෙහි සඳහන් ය. මානසික සුවය ලබන්නට අයවැය තුලනය කර ගැනීම, ණය නොවීම, කාලයට දේශයට ගැලපෙන ලෙස ජීවත්වීම, ආපදාවන්ට මුහුණදීමට ප්‍රමාණවත් ඉතිරියක් තිබීම ආදි කරුණු වැදගත් වනු ඇත.