Print this Article


ප්‍රඥාවන්ත පෞරුෂයක ස්වභාවය මෙලෙසයි

ප්‍රඥාවන්ත පෞරුෂයක ස්වභාවය මෙලෙසයි

බුදුරදුන් හා ආලවක යක්ෂයා අතර ඇති වූ සංවාදයේ දී වඩා ම උතුම් ජීවිතය කවරේදැ’යි ඇසූ ආලවක යක්ෂයාට බුදුරදුන් ලබාදුන් පිළිතුර වූයේ ප්‍රඥාවන්ත ජීවිතය වඩාත් උතුම් ජීවිතය බවයි (පඤ්ඤා ජීවං ජීවිතමාහු සෙට්ඨං) ත්‍රිවිධ ශික්‍ෂාවට අනුව ප්‍රඥා යන්නට ඇතුළත් වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ග අංග දෙකයි.

ඒ අනුව කෙනකුගේ ප්‍රඥා පෞරුෂය සැකසෙන්නේ මෙම අංග දෙකින් ය. පුද්ගලයාගේ ආකල්ප සැකසීමෙහිලා ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ටිය හෙවත් දැක්ම පදනම් වේ. ඒ ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය අනුව ආකල්ප නිර්මාණය වේ. ඒ අනුව මෙම අංග දෙකම අන්‍යොන්‍ය වශයෙන් එකට සම්බන්ධ වී තිබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ මිනිසාගේ ප්‍රඥා පෞරුෂයේ මූලික ස්වභාවය හා එහි අන්තර්ගතය පිළිබඳවයි.

මහාචත්තාරීසක සූත්‍රය අනුව සම්‍යග් දෘෂ්ටියෙහි හා සම්‍යග් සංකල්පයෙහි සරල අවස්ථාවක් මෙන්ම, ගැඹුරු අවස්ථාවක් තිබේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ එහි සරල අවස්ථාවයි. ඒ අනුව කෙනකු තුළ වර්ධනය වන දස වැදෑරුම් සම්‍යග්දෘෂ්ටිය සරල අවස්ථාව ලෙස සැලකිය හැකි ය. ඒ යටතේ පුද්ගලයා හොඳ නරක පිළිබඳ මූලික දැක්මක් ඇතිකර ගනී. දසවස්තුක සම්‍යග්දෘෂ්ටිය යනු දුන් දැයෙහි විපාක ඇත.

පූජා බුද්ධියෙන් කළපරිත්‍යාගයෙහි විපාක ඇත. යහපත් සේ හා අයහපත් සේ කළ කර්මවල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මව ඇත පියා ඇත. ඕපපාතික සත්වයන් ඇත.

මෙලොවත් පරලොවත් තමා ම දැන ප්‍රත්‍යක්‍ෂ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත යන විශ්වාසයයි. මේ සියල්ල සමාලෝචනය කළ විට එයින් ප්‍රකාශ වන්නේ හොඳ නරක මෙන්ම කර්මය හා එහි විපාක පවතීය යන විශ්වාසය හා අවබෝධයයි.

මෙය හුදු විශ්වාසයක් පමණක් නොවේ. අත්දැකීමක් ද වේ. එසේම මෙය නුවණැති පුද්ගලයකුගේ අවබෝධයෙහි පවතින ප්‍රාථමික ස්වභාවයයි. එම සරල මට්ටමේ අවබෝධය හෝ දෘෂ්ටියවත් නොමැති විට ඔහු හෝ ඇය නුවණැති අයකු වශයෙන් නම් කළ නොහැකි ය.

දස වස්තුක සම්‍යග් දෘෂ්ටිය යටතේ යාගය හෝ හෝමය යන වචන යෙදී තිබුණත් එයින් වෛදික ආගම්වල අදහස් කළ ආකාරයේ යාගයක් හෝ හෝමයක් ප්‍රකාශ නොවේ. එසේ ම මව ඇත, පියා ඇත යනුවෙන් අදහස් වන්නේ මව්පියන්ට සැලකිලි සත්කාර කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ විශ්වාසය යි.

නැතහොත් එහි ඇති වැදගත්කම යි. මෙබඳු මූලික සදාචාරයවත් නොපිළිගන්නා පුද්ගලයන් දක්නට ලැබේ. බුද්ධකාලයේ සිටි අජිත කේසකම්බල වැනි පුද්ගලයන් සියලු සදාචාර ධර්ම ප්‍රතික්‍ෂේප කළ අය වෙති.

මේ අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන දසවස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් ගම්‍ය වන්නේ ප්‍රඥා පෞරුෂයේ සරල අවස්ථාවයි. එම සරල අවස්ථාව කෙනකුට යහපත් පුද්ගලයකු වීමට අවශ්‍ය අවබෝධය ලබා දෙයි.

බොහෝ දෙනකු හොඳ නරක පිළිබඳ අවබෝධයක් තිබුණ ද එය ක්‍රියාවට නැගීමට උත්සාහ නොගනී. හොඳ නරක පිළිබඳ සරල මට්ටමේ සම්‍යග් දෘෂ්ටියක් නොමැති පුද්ගලයාගේ ආකල්ප සංකල්ප අදහස්වල පවතින ස්වභාවය සම්මා සංකල්ප යටතේ විස්තර වේ.

සම්මා සංකප්ප යනුවෙන් අදහස් වන්නේ කාම ව්‍යාපාද විහිංසා සංකල්පවලට ප්‍රතිවිරුද්ධ ආකල්ප වන නෛෂ්ක්‍රම්‍ය අව්‍යාපාද අවිහිංසා සංකල්ප මූලික කරගත් චින්තනයයි.

ප්‍රඥා සම්පන්න පුද්ගලයා තුළ වර්ධනය වන සරල මට්ටමේ ආකල්ප හා සංකල්ප සැකසෙන්නේ පංචකාම ලෝකය අත්හැරීම, බද්ධ වෛරයෙන් තොරවීම හා හිංසනයෙන් වෙන්වීමේ උනන්දුව හා ආකල්පය අනුව ය. සමාන්‍ය පුහුදුන් මිනිසා පංචකාම ලෝකය අත්පත් කර ගැනීමෙහිලා අනවරත අරගලයක නිරතව සිටී. එම පුද්ගලයා තමාට කොතෙක් ලැබුණත් සෑහීමකට පත් නොවේ. එහෙත් ප්‍රඥාවේ වර්ධනය වීමත් සමගම පංචකාම ලෝකය හඹා ගොස් ඒවා අත්පත් කර ගැනීමට කරන අරගලයෙන් ඉවත්ව ඒවා කෙරෙහි පවතින දැඩි ඇලීම හා බැඳීම් ක්‍රමයෙන් බැහැර කිරීම නුවණැති පුද්ගලයාගේ ස්වභාවය යි.

නෙක්කම්ම යනු පංච කාම ලෝකයට අයත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මූලික කර ගත් දැඩි ඇලීමෙන් හා බැඳීම්වලින් වෙන්වීමේ අදහසයි. එසේ වුවද පුහුදුන් මිනිසා පංච කාම ලෝකයට අයත් භෞතික දෑ කෙරෙහි මෙන්ම, ඒ හා බැඳුණු භෞතික සැප සම්පත් මෙන් ම තනතුරු වරප්‍රසාද පදවි ඨානාන්තර නම්බුනාම කීර්ති ප්‍රශංසා ආදිය සොයමින් අනවරත අරගලයක නිරත වෙයි.

ඇතැම් කෙනෙකු මේ සඳහා වෙහෙසෙන්නේ අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි කරමින් ය. මෙකී පංචකාම ලෝකය පිළිබඳ දක්වන අල්ප උනන්දුව ප්‍රඥා පෞරුෂයක මූලික ස්වභාවය ලෙස නම් කළ හැකි ය.

නුවණැති පුද්ගලයා තම හෘදය සාක්‍ෂියට එකඟව ඒ සියල්ල අත්හැරීමට සුදානම් වන අතර පංචකාම ලෝකය අත්පත් කර ගැනීමේ අනවරත අරගලයෙන් බැහැර වී කාය විවේක, චිත්ත විවේක මෙන් ම උපධි විවේක යන තෙවදෑරුම් විවේකය ඇසුරේ වාසය කරයි.

ප්‍රඥා පෞරුෂයට අයත් අනෙක් ආකල්පය නම්, අව්‍යාපාදය හෙවත් ලෝකයට වෛර නොකිරීම යි. ලෝකයට, සමාජයට වෛර කරන තැනැත්තා හැම විටම විනාශකාරී ක්‍රියාවල නිරත වෙයි.

නුවණැති මිනිසා ඒ වෙනුවට මෙත් සිතින් ලෝකය සුවපත් කිරීමෙහිලා උත්සුක වෙයි. ව්‍යාපාදය හෙවත් බද්ධ වෛරයෙන් යුත් පුද්ගලයාගේ චින්තනය විනාශකාරී එකකි.

එමඟින් මෙහෙයවෙන ඔහු හෝ ඇය විවිධ අයුරින් අන්‍යයන් නැසීමෙහිලා මෙන් ම ඝාතනයෙහිලා ප්‍රයත්න දරයි. ප්‍රඥාවන්තයා කොතෙක් තමාට දුක්පීඩා කරදර ඇතිකළ ද සමාජයෙන් හෝ ලෝකයෙන් පළි ගැනීමට හෝ ඒවාට හිංසාකාරී ක්‍රියාවලින් ප්‍රතිචාර නොදක්වා හැමවිටම එම උවදුරුවලින් වැළකීම සඳහා නීත්‍යානුකූල මෙන් ම සදාචාර සම්පන්න ක්‍රියා පමණක් අනුගමනය කරයි.

ප්‍රඥා පෞරුෂයේ අවසන් අංගය අවිහිංසාවයි. ප්‍රඥාවන්ත පුද්ගලයා තම කායික වාචසික හැසිරීම්වලින් පමණක් නොව ආකල්පවලින් ද අන්‍යයන්ට හිංසා කිරීමෙන් වැළකෙයි. අවිහිංසාව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ පරමාදර්ශය වේ.

එසේම හිංසාව වෙනුවට අන්‍යයන් කෙරෙහි දයාවෙන් හා අනුකම්පාවෙන් තම සන්තානය පොහොසත් කරගත් ප්‍රඥාවන්ත පුද්ගලයා අන්‍යයන් තලාපෙළා කටයුතු කිරීමෙන් වැළකෙන අතර හිංසනයට තුඩුදෙන කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවේ.

ඉහතින් දැක්වූ සම්‍යග් දෘෂ්ටිය මගින් නිවැරැදි අවබෝධය හා දැක්ම ඇති කර ගත් නුවණැති පුද්ගලයාගේ ආකල්ප හා අදහස් සමූහය පෝෂණය වන්නේ අත්හැරීම, අව්‍යාපාදය හා අවිහිංසාව යන සංකල්පවලිනි.

එබැවින් එවැනි පුද්ගලයකු සාරවත් ආකල්ප සමූහයකින් පෝෂණය වූ ආධ්‍යාත්මික පෞරුෂයකට හිමිකම් කියයි.

එවැනි පුද්ගලයා අධර්මයෙන් කිසිදු සමෘද්ධියක් හෝ ජයක් අපේක්‍ෂා නොකරන බව ධම්මපද පණ්ඩිත වග්ගයේ එන නවවැනි ගාථාවෙන් පැහැදිලි වේ. ඒ අනුව නුවණැති පුද්ගලයා තමා නිසාවත්, අනුන් නිසාවත් පව් නොකරන අතර අධර්මයෙන් කිසිදු සමෘද්ධියක් අපේක්‍ෂා නොකරයි (න ඉච්ඡෙය්‍ය සමිද්ධිමත්තනො).

ඒ වෙනුවට සිල්වතකු ප්‍රඥාවන්තයකු (පඤ්ඤවා), ධාර්මික අයකු බවට පත්වේ. ඉහතින් දැක්වූ කරුණු අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිටිඨි හා සම්මා සංකල්ප යන මාර්ග අංග දෙකෙහි අන්තර්ගත සරල අවස්ථාවෙන් ප්‍රඥා පෞරුෂයක එක් පැතිකඩක් ප්‍රකට වේ.

ප්‍රඥා වන්තයාගේ දෘෂ්ටිය මෙන් ම අවබෝධය හොඳ නරක පිළිබඳ මූලික වැටහීම පදනම්කොට පවතින අතර, එැවන්නකුගේ චින්තනය පංචකාම ලෝකය අත්හැරීමේ උනන්දුව, අව්‍යාපාදය හා අවිහිංසාවෙන් පෝෂණය වූ ආකල්පවලින් සමන්විත වූවකි.