Print this Article


බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිත පිරිසුදු කර ගැනීමටය

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිත පිරිසුදු කර ගැනීමටයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියොදපනං - එතං බුද්ධානු සාසන

“පින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

අප බුදුරජාණන් වහන්සේ පෙර ලොව පහළ වු විපස්සී, සිඛී, වෙස්සභූ,කකුසඳ,කෝනාගමන, කස්සප යන මෙම බුදුරජාණන් වහන්සේලාගේ විස්තර දේශනා කරති. එසේ නම් එම බුද්ධ දේශනාවල ආ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාමොක් දෙසීමාදියෙහි වෙනසක් ඇත්දැයි ආනන්ද හිමි බුදුරදුන්ගෙන් විචාළේ ය. “ආනන්ද” කාල වශයෙන් වෙනසක් ඇතත් දේශනාවල වෙනසක් නැතැයි විස්තරකොට මෙම ගාථාව ඇතුළු ගාථා තුනක් ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් දේශනා කොට වදාළ සේක.

සියලු පව් නොකිරීම ද, කුසල් රැස්කිරීම ද, සිත පිරිසුදු කිරීම ද යන මෙය සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

අප බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වූ දා සිට “අනේක ජාති සංසාරං” යන ගාථාවේ පටන් පිරිනිවන් මංචකයේ දී අවසාන වශයෙන්” වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන දේශනාව දක්වා සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණාදී සියලු ධර්මයන් ආදි කල්‍යාණ, මජ්ඣෙ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ මුල. මැද, අග යහපත් වූ අර්ථ ව්‍යංජන සහිතව දේශනා කොට ඇත.

සත්වයා යනු පැවැත්මට අදාළව හැඟීම් ධාරාවකින් ක්‍රියා කරන ප්‍රාණියෙකි. උපන් ස්වරූපය අනුව , පරිසරය අනුව හැදෙන වැඩෙන සත්වයාට කෙතරම් අවවාද අනුශාසනා කළත් තමන්ගේ මතය තහවුරු කර ගැනීම ආත්ම දෘෂ්ටියේ ස්වභාවය යි. මේ නිසාම සත්වයාගේ නම්‍යතාවය වැඩි වශයෙන් මිථ්‍යා දෘෂ්ටියටත්, උපදානයටත් භාජනය වන්නේ ය.

අවිද්‍යාවෙන් සත්‍ය වසන් කර ගන්නා සත්වයා කෙළවරක් නැති ජාති, ජරා, ව්‍යාධි, මරණාදී අනේක විධ දුක් වේදනාවන්ගෙන් මොහොතක් පාසා තෙරපෙන්නේ ය. අවම වශයෙන් පවත්නා සමාජ ආශ්‍රයෙන් වත් මිථ්‍යා දෘෂ්ටියේ ආදීනව අවබෝධ කරගන්නේ නම්, ලෝක සමාජයේ මෙතරම් අවුල් වියවුල්, දුක සන්තාප වේදනා ඇතිවන්නේ නැත.

ප්‍රථමයෙන් පව් පින් බුද්ධියෙන් හඳුනාගත යුතු ය. සමාජ ආශ්‍රයෙන් පොදු සම්පත් භුක්ති විඳිමින්, තමා ගත් තීරණය අනුව ආගම දහම, සිරිත් විරිත් ආටෝපයෙන් ක්‍රියා කළ පමණින් ප්‍රයෝජනයක් ඇත්තේ ම නැත.

විද්‍යාත්මක දියුණුව පසුපස ගමන් කරන මිනිසා එයින් ප්‍රයෝජන ගෙන පව් පින් හඳුනා ගෙන ඒ මාර්ගයේ ගමන් කිරීම වෙනුවට අධිසුඛෝපභෝගී භෞතික සම්පතට ගිජු වන්නේ නම් මෙයට වඩා සිය දහස් ගුණයෙන් වද වේදනා විඳින්නට සිදුවන්නේ ය.

තමාට හෝ අනුන්ට අනර්ථයක් අල්ප මාත්‍රයකින් හෝ සිදුවන්නේ නම් එය පවක් බව අප අවධාරණයෙන් හඳුනා ගත යුතු වන්නේ ය.

එමෙන් ම තමාට හා අනුන්ට යමක් හිතකර නම් එය කුසලයක්, පිනක් බව බුද්ධියෙන් හඳුනාගත යුතු වන්නේ ය.

සත්ව සමාජ ආශි‍්‍රතව ඉතා ශාස්ත්‍රිය ලෙස, මනෝවිද්‍යානුකූලව කුසල් අකුසල් පිළිබඳ විවරණයක් බුදුදහමේ දැක්වෙන අතර, වෙනත් කිසිම ආගම, දහමක, දර්ශනයක එවැන්නක් දක්නට නැත.

කුසල් හා අකුසල් සිත් වශයෙන් මෙන්ම චෛතසික වශයෙන් උපදින ආකාරයත්, යළි එයින් වන විපාක වශයෙන් සත්වයන්ගේ සංසාර පැවැත්මට මූලාධාර වන අයුරුත් මනෝ විද්‍යාත්මකව විවරණය කොට ඇත.

ලෝභ, දෝස, මෝහ යන චෛතසික මුලධර්මයන් උපදින්නේ සත්වයන් අතිදීර්ඝ කාලයක් භවයෙන් භවයට පුරුදු කරගෙන එන සංඛාර ධර්මයන් නිසාම ය.

සත්වයකු එක ආත්මයක දී රැස්කරන සංස්කාර ධර්මයන් තවත් ආත්මයකට සම්බන්ධ වන්නේ ය. මෙසේ ආත්ම කෝටි ගණන් එකතු කරන සංස්කාර ධර්මයන් නිසා සත්වයාට සංසාර බන්ධනයෙන් මිදෙන්නට ලොව්තුරා බුදුන් වහන්සේ නමක් පහළ වී එම ධර්මයට යථාර්ථ මාර්ග උපදේශකත්වය වන්නේ ය.

අකුසලං භික්ඛවෙ පජහථ
කුසලං භික්ඛවෙ භාවෙථ
සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං
සක්කා භික්ඛවෙ කුසලං භාවෙතුං

ආදි වශයෙන් අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට අකුසල් දුරුකළ යුතු ය. කුසල් වර්ධනය කළ යුතු ය. ප්‍රඥාවෙන් හා විර්යයෙන් අකුසල් දුරු කළ හැකි ය. එමෙන්ම කුසල් වර්ධනය කළ හැකි ය. එම හැකියාව ඇත්තේ තමා ළඟම ය.

ඇස්, කන් නාසාදී ඉඳුරන්ට ගෝචර වන්නාවූ රූපාදී අරමුණු නිසා අතරක් නැතිව චිත්ත සන්තාන ගත කර ගන්නා ලෝභාදී අකුසල ධර්මයන් සමනය වන්නේ බුද්ධාදී තෙරුවන් පිළිබඳ ව ඇති කර ගන්නා වූ ප්‍රසන්නතාවයෙනි. එසේ සමනය වීම නිසා ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණයෙන් අහෝසි කරන්නට පුළුවන.

“තේ ඛීණ බීජා අවිරුළ්හිච්ඡන්දා” යනුවෙන් රතන සූත්‍රයේ දක්වා ඇති පරිදි ලෝභාදී කෙලෙස් බීජයන් සම්පූර්ණයෙන් ක්ෂය කළ විට සංසාරික පැවැත්මේ ඡන්දය හෙවත් කැමැත්ත උදුරා දමන්නේ ය .

අවිජ්ජා තණ්හා හේතු දෙකෙන් පටන් ගන්නා සංසාර පැවැත්ම නිසා සත්වයා භවයෙන් භවයට දමා යන ශරීර ඇටකටු එක් කළ හොත් මහමෙර තරම් උස් වන්නේ ය. එවන් සසර ගමනක යෙදෙන සත්වයා කෙතරම් වේදනා විඳින්නේ ද, එහෙත් සත්වයාගේ එකම අපේක්ෂාව ද වේදනා සැපයට පරිවර්තනය කරගෙන මවාගත් ලෝකයේ ජීවත්වීම යි.

බහුවිධ අපේක්ෂා සංකීර්ණයෙන් උපදින ජීවත්වන සත්වයා නිරන්තරයෙන් කාමච්ඡන්දාදී පංච නීවරණයන්ගෙන් චංචල වන්නේ ය. චිත්ත සන්තානය කිළිටි වන්නේ ය. එය ලෞකික ලෝකෝත්තර සැපතට, ආධ්‍යාත්මික සුවයට මෙන්ම චිත්ත සමාධියට ද. බාධාවක් වන්නේ ය. එබැවින් උපක් ක්ලේෂ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර ගැනීමට ශික්ෂා මාර්ග පෙන්වීම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවකි.