ගුණ රුව
වරුණ
ලොකු ධනවතෙක් වෙනවාට වඩා
හොඳ මිනිසෙක් වීමට මා කැමතියි
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
ලොව සාර්ථකම කෝටිපතියා හෝ ප්‍රබලම දේශපාලකයා වෙනවාට වඩා අන්‍යයන්ට ආදර්ශවත් වන
ආකාරයේ සාර්ථක ජීවිතයක් ගත කිරීම තම ඒකායන අරමුණ කරගත් මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
මහතාගේ ජීවන තොරතුරු මෙවර ගුණ රුව වරුණේ පළවේ. ඒ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
උපකුලපති ලෙස ද, සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාල පශ්චාත් උපාධි ආයතනයේ නේවාසික
මහාචාර්ය වරයා ලෙස ද සේවය කර ඇත.
මාධ්‍යයට බෙහෙවින් සමීපව සම්බන්ධව සිටින විජේබණ්ඩාර මහතා රූපවාහිනී, ගුවන්විදුලි
වැඩසටහන් රැසක් මෙහෙයවා ඇත. ග්‍රන්ථ කතුවරයකු ද වන ඒ මහතා බෞද්ධ පොත් මෙන්ම, ළමා
කතා ද ඇතුළුව පොත් තිහක් පමණ ලියා පළ කර ඇත.
මම උපන්නේ වරකාපොළ, අඹේපුස්ස, කැකිරිදෙනිකන්ද කියන ගමේ. තාත්තාගේ නම ඩබ්ලිව්.
මර්තේලිස් අප්පුහාමි. අම්මා පොඩි මැණිකේ අධිකාරි. මම පවුලේ දෙවැනියා. මට මල්ලිලා
දෙන්නෙක් සහ නංගී කෙනෙක් සිටිනවා. මට වැඩිමහල් අක්කා දුව පැන ඇවිදින වයසේ දී ම
මැලේරියා රකුසාට බිලිවීම නිසා මරණයට පත්වෙලා. දෙවනුව උපන් පුතා වූ මටත් බිළිඳු වියේ
දී එම බියකරු රෝගය වැළඳීම නිසා ඇති වූ කලකිරීමෙන් අප උපන් වරකාපොළ ගමේ සියලු
උරුමයන් අතහැර වාද්දුවේ පදිංචියට ආවා. එහිදී ගෙදරට ගෙන එන පුවත්පත්වල පළ වූ බෞද්ධ
නායකයන්ගේ පින්තූර කපා කොපි පොත්වල අලවනවා දැකලා මගේ මව්පියන් මා කුඩා කාලයේ දී ම
ආගමික නැඹුරුවකට යොමු කළා.
ඒ වගේම මම බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ලියූ “බුද්ධ භක්තිය” නම් පොත නිතර
කියවන්නට පුරුදුව සිටියා. ළමා හඬ නම් සඟරාවට උන්වහන්සේ ලියා තිබුණු ලිපියක් කියවා
වයස දහයේ දී පමණ මම මස් මාංශ අනුභවය සහමුලින්ම අතහැරියා.
දිනපතා පාසලට අමතරව දහම් පාසලෙන් ද බුද්ධ ධර්මය හැදෑරීමට අවස්ථාව ලැබුණා. ඒමඟින්
මගේ කථිකත්වය වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලැබුණා.
මම මුලින්ම මොල්ලිගොඩ ප්‍රවචනාලංකාර බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය පටන් ගෙන
පිළියන්දල මධ්‍ය විද්‍යාලය, මොරටුවේ උයනේ ලංකා සභා පාසල, මහවිල මහා විද්‍යාලය,
කෝට්ටගොඩ සෞගතෝදය විද්‍යාලය සහ පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනින් මා ලද අධ්‍යාපනය
මගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපෑවා.
සද්ධර්මාකර පිරිවෙනෙන් උසස්පෙළ හදාරා 1964 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්
වෙනවා. එවකට ලොව විසූ හොඳම විද්වතුන්ගෙන් බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන්නට මට අවස්ථාව
ලැබෙනවා. මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න, මහාචාර්ය ජෝතිය ධීරසේකර, මහාචාර්ය
එන්.ඒ. ජයවික්‍රම, මහාචාර්ය ඩී.ජේ. කළුපහන, මහාචාර්ය චේතිය විතානාච්චි, චීන ජාතික
මහාචාර්ය ඩබ්ලිව් ෆාචොව්, මහාචාර්ය ගුණපාල ධර්මසිරි වැනි ගිහි ආචාර්යවරුන්ගෙන් ද
මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමි, මහාචාර්ය යටගම ධම්මපාල හිමි වැනි පැවිදි
මහාචාර්යවරුන්ගෙන් ද අපට සිප්සතර හදාරන්නට අවස්ථාව ලැබෙනවා.
මේ අවුරුදු හතරම මම පූර්ණකාලීනව අධ්‍යාපනයට කැප කළා. කිසිදු බාහිර වැඩකට සම්බන්ධ
වුණේ නැහැ. විශ්වවිද්‍යාල ජීවිතයේ දී මට හමුවූ හොඳම ගුරුතුමා වූ මහාචාර්ය
ඩබ්ලිව්.එස්. කරුණාරත්න මහතා කිව්වේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශාල පුස්තකාලයක්
තිබෙනවා. මේ විශ්වවිද්‍යාලයට ආපු එකේ වටිනාකම තියෙන්නේ පුස්තකාලය සේවනය කරපු තරමටයි
කියලා. ඒ නිසා මම හැකි සෑම අවස්ථාවක ම පුස්තකාලයට ගොස් පොත් කියෙව්වා.
මම තෝරා ගත්තේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂ උපාධියයි. ඒ සඳහා මමත් සමඟ සිසුන් හතර
දෙනෙක් සිටියා. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මාගේ විෂයය පථය වූ බෞද්ධ
ශිෂ්ටාචාරය විෂයයෙහි කිසියම් ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කළ යුතු යැයි මට සිතුණා.
මගේ විෂයයට අදාළ වන වෙනත් විෂයයන් හැදෑරීමෙන් ඒ සඳහා කිසියම් ආලෝකයක් ලබා දිය හැකි
බව අවබෝධ වුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ දී මගේ විෂයයට අදාළ වන වෙනත් විෂයය පිළිබඳ
දේශනවලට සම්බන්ධ වීමට සහ ඒවා පිළිබඳ පොතපත පරිශීලනයට උනන්දු වූවා. විශේෂයෙන්ම සිංහල
දර්ශනය, සමාජ විද්‍යාව සහ මනෝවිද්‍යාව පිළිබඳ පාඨමාලාවල දේශනවලට සවන්දීම සඳහා මගේ
කාලසටහන පිරී පැවතුණා. මේ බව දුටු මගේ ඇතැම් යහළුවෝ මා පිස්සෙක් කියලා සිතුවා. මා
අවඥාවට ලක් කළා. මා විභාගය අනාගනු ඇතැයි සමහරු අනාවැකි පළ කළා.
එහෙත් විභාගවල දී බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට වාර්තාගත දක්ෂතාවක් නිරූපණය කිරීමට මට
හැකියාව ලැබුණා. උපාධිය සඳහා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලැබී තිබුණා. එම විෂයයට ඉහළම
පන්ති සාමාර්ථයක් ලැබූ පළමු ශිෂ්‍යයා මමයි. මට එවැනි දක්ෂතාවක් නිරූපණය කිරීමට හැකි
වී තිබුණේ වෙනත් විෂයයන් වෙතින් ගෙන ආ විචක්ෂණය නිසා බව මගේ ගුරුවරු පැවසුවා.
උපාධි ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට
කථිකාචාර්යවරයකු ඉල්ලා පත්තරේ දැන්වීමක් පළ කර තිබුණා. මට උපාධියක් නැති නිසා මම
ඉල්ලුවේ නැති වුණත් මගේ පන්තියේ හිටපු අනෙක් තුන්දෙනාම ඊට ඉල්ලුම් කර තිබුණා. කොළඹ
විශ්වවිද්‍යාලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කතා කරලා ඒ තුන්දෙනාගෙන් හොඳම
කෙනා කවුද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. එහිදී උපකුලපති වොල්වින් ද සිල්වා මහතාට
ඔවුන් මා ගැන කියලා. මා ඒ තනතුරට සුදුසු බව නිර්දේශ කර තිබුණා. ඒ සමගම මගේ අවසන්
උපාධි ප්‍රතිඵලත් කියලා තිබුණා. ඒ අනුව උපකුලපතිතුමා මා විශ්වවිද්‍යාලයට කැඳෙව්වා.
“උගන්නල පුරුද්දක් තියෙනවද?” මගෙන් විමසුවා. “දහම් පාසලක උගන්නලා තියෙනවා” මම
කිව්වා. “ඒ ඇති” යි පැවසූ එතුමා මා ආචාර්ය මණ්ඩලයට බඳවා ගත්තා.
කථිකාචාර්ය තනතුර භාර ගන්න කිව්වා. නමුත් ඔවුන් මගෙන් පොරොන්දුවක් ගත්තා. කොළඹින්
අස්වෙලා පේරාදෙණියට යන්නේ නැහැ කියලා. රැකියාව භාර ගන්නට පෙර මමත් ඔවුන්ගෙන්
පොරොන්දුවක් ගත්තා. අවුරුදු දෙක අවසාන වෙනකොට මා පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට
යවන්න කියලා. ඒකට විශ්වවිද්‍යාලය කැමතිවුණ නිසා මම රැකියාව භාර ගත්තා.
ඒ අවුරුදු දෙක ඉවර වෙනකොට එනම් 1970 මා එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයට
යැව්වා. ඒ කාලයේ එහි සිටියා ලෝකයේ ඉතා කීර්තිමත් මහාචාර්යවරයෙක්. ඔහු මහාචාර්ය
නිනියන් ස්මාර්ට්. ඔහු යටතේ පශ්චාත් උපාධිය හැදෑරීමට මට අවස්ථාව ලැබුණා.
මම ගියේ යුදෙව් ආගම ගැන පර්යේෂණ පවත්වන්න. නමුත් මම හීබෲ භාෂාව නොදන්නා නිසා පාලි,
සංස්කෘතවලින් කරන්න පුළුවන් විෂයයක් තෝරා ගන්න කිව්වා. ඒ අනුව බුද්ධාගම ඉන්දියානු
ආගම් හා ගැටුණු ආකාරය ගැන පර්යේෂණ කරන්නයි මම තෝරා ගත්තේ.
පශ්චාත් උපාධිය අවසන් කර 1973 දී මම යළි ලංකාවට ආවා. 1977 ආණ්ඩු පෙරළියෙන් පසුව ඇති
වූ විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය නිසා බෞද්ධ අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලයට
පමණක් සීමා වුණා. ඒ අනුව මා කැලණිය විශ්වවිද්‍යාලයට මාරු කෙරුණා. 1980 - 1983 කාලයේ
කැලණිය පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතිය අංශ ප්‍රධානී ලෙස කටයුතු කළා.
අපි කැලණියට ගියාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගුරුවරු ආණ්ඩුවේ තීරණයට එකඟ නොවී
බලෙන්ම ඒ විශ්වවිද්‍යාලයේ ම බෞද්ධ සංස්කෘත විෂයය ඉගැන්වූවා. පසුව ඔවුන් ඒ සටන
දිනුවා. ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍ය්‍යාපනය දිගටම කරගෙන යාමට
ආණ්ඩුව අවසර දුන්නා. නමුත් ඒ විෂයය සඳහා ගුරු හිඟයක් තිබුණා.
ඉතිරි කොටස නවම් අව අටවක පෝදා
(23)පත්‍රයේ පළවේ
අයන්ති විතාන |