Print this Article


මිනිසුන් පිළිබඳ තීරණ ගන්න ඉක්මන් වෙන්න එප

මිනිසුන් පිළිබඳ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා

ඈත අහස කළු කරගෙන මහවැස්සක පෙර නිමිති පෙන්වයි. එහෙත් නො වැස ම හුළගට වැහි වළා ඈතට ගසා යයි. පසළොස්වක දා පුර සඳ දිදුලන්නට විය. එහෙත් මොහොතින් කළු වළාවක් පුරහඳ වසා දැමුවේ ද අප සිත තුළ නො සිතූ දේ ම සිදු වන බව යළි යළිත් ඒත්තු ගන්වමිනි.

ස්වභාව ධර්මය අප ජීවිතයට හමු වන හොඳ ම ගුරුවරයෙකි. ස්වභාව ධර්මය ද හිටි හැටියේ ම වෙනස් වෙමින් අපට උගන්වන්න උත්සාහය කරන්නේ කිසිම විටක කෙනකු විනිශ්චය කොට හමාර කිරීමට ඉක්මන් නො වන ලෙස යි.

මන්ද “සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ” නිසාය.

බුදුන් වහන්සේ ද මිනිසුන් ගැන නිශ්චය කිරීමට ඉක්මන් නො වන ලෙස අංගුත්තර නිකායේ මිගසලා සූත්‍රයේ දී පෙන්වා දුන්හ.

දිනක් අනන්ද හාමුදුරුවෝ මිගසලා නම් උපාසිකාවගේ නිවසට වැඩිය හ.

ඇය උන්වහන්සේගෙන් විමසා සිටියේ “ස්වාමීනි බුදුන් වහන්සේ එක් අවස්ථාවක දී මගේ පියා වු "පුරාණ" තුසිතයේ උපත ලබා ඇති බවත්, සෝවාන් වී සිටින නිසා තවත් වරකට වඩා මෙලොවට නො එන බවත් දේශනා කළහ.

මගේ තාත්තා ග්‍රාම ධර්මවලින් තොර වූයේ , බ්‍රහ්මචාරී වු නිසා තුසිතයේ ඉපදුණාට මට ගැටලුවක් නැත. නමුත් බ්‍රහ්මචාරීත්වය ආරක්‍ෂා නො කළ මගේ සුළු පියා වු ඉසිදත්ත තුමා ද සෝවාන් ව තුසිතයේ ඉපිද සිටී යැයි බුදුන් වහන්සේ දේශනා කිරීම ම මට මහත් ගැටලුවක්” යනුවෙනි.

“නැඟණියනි, බුදුන් වහන්සේ යමක් ප්‍රකාශ කෙළේ ද එය එලෙස ම මම ද දරමි.”යනුවෙන් දේශනා කොට ආනන්ද හිමියෝ උපාසිකාවගේ ගෙදරින් පිටත් ව බුදුන් වහන්සේට උපාසිකාවගේ පැනය ඉදිරිපත් කළ හ.

බුදුන් වහන්සේ එම ප්‍රශ්නයට දුන් පිළිතුර මෙසේ ය.

“ආනන්ද, මිනිසුන් විනිශ්චය කරන අය ‘මොහුගේ ද එම ගුණය ඇත. අනෙකාගේ ද එම ගුණය ඇත. මෙයින් කවරෙක් උසස් වේ ද? හීන වේ ද? ආනන්ද, මිනිසුන්ගේ මෙම විනිශ්චය ඒ අයට බොහෝ කාලයක් අහිත පිණිස වෙයි.” යනුවෙනි. බුදුන් වහන්සේ මෙහි දී චරිත සයක් පෙන්වා දුන් හ.

පළමුවැන්නා - යහපත් මිතුරන් ඇසුරු කරමින් සුව සේ වාසය කරන්නා ය.

දෙවැන්නා - යහපත් මිතුරන් ඇසුරු කරන, දක්‍ෂ, ධර්ම ශ්‍රවණය කරන සුව සේ වාසය කරන්නා ය.

තෙවැන්නා - ක්‍රෝධය, මානය පිරි, කලින් කල ලෝභයෙන් පෙළෙන, බහුශ්‍රැතයෙක් වුවත් දර්ශනයට නො යන මරණින් මතු පරිහානියට යන්නා ය.

සිව්වැන්නා - ක්‍රෝධය, මානය හා ලෝභය ඇතිමුත් ධර්මය ශ්‍රවණය කරන බහුශ්‍රැත බැවින් යුක්ත මරණින් මතු දියුණුවට යන්නා ය.

පස්වැන්නා - ක්‍රෝධය, මානය හා ලෝභය ඇති, අල්ලාප - සල්ලාපයේ යෙදෙන, ධර්ම ශ්‍රවණය නො කරන, වීර්ය නො වඩන්නා ය.

සය වැන්නා - ක්‍රෝධය, මානය හා ලෝභය ඇති, අල්ලාප - සල්ලාපයේ යෙදෙන, ධර්ම ශ්‍රවණය කරන, බහුශ්‍රැත ව දර්ශනය ඇති කරගෙන දියුණු ව කරා යන්නා ය.

බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පවසා සිටියේ මිගසලාගේ පියා සීලයෙන් යුක්ත වූ නිසා තුසිතයට ගිය අතර, ඉසිදත්ත සීලයෙන් යුක්ත නො වුවත් ප්‍රඥාවෙන් යුක්ත නිසා තුසිතයට ගිය බව යි. මේ දෙන්නා ඒකංගහීනයෝ යැයි බුදුන් වහන්සේ පෙන්වා දුන් හ.

මෙම චරිත දෙස විමසුම් ඇසින් බලන විට අපට පෙනී යන්නේ කෙනකුගේ වැදගත්කම හෝ නො වැදගත්කම තේරුම් ගැනීමට ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය දෙස විමසිය යුතු බව යි.

“මැටියෙන් සාදන ලද කුණ්ඩලාභරණය ඉතාමත් ලස්සන යි. ලෝහයෙන් කළ කුණ්ඩලාභරණයේ රන් ආලේප කළ විට ඉතා ම ලස්සන යි. එසේ පිරිවර වටකරගෙන සමාජයේ සිල්වතුන් සේ පෙනී සිටින බාලයෝ ඇතුළතින් අපිරිසුදු විය හැකි” බව බුදුන් වහන්සේ දේශනා කළ හ.

සක්කපඤ්ඤ සූත්‍රයේ එන අනුකථාවක් ද මෙහි ලා නිදර්ශනය කොට පෙන්විය හැකි ය. ගෝපිකා නිතර හිමිවරු තිදෙනකුට දන් දෙයි. ගෝපිකා මරණින් පසු ගෝපක නමින් දෙව්ලොව දිව්‍යරාජයෙක් ව ඉපදුණා ය. හිමිවරු තිදෙනා ගෝපක දිව්‍යරාජයාගේ උපස්ථායක දෙවිවරු වී ඉපදුණි. හේතුව විමසන විට ගෝපක දිව්‍යරාජයාට පෙනී ගියේ පෙර මෙම හිමිවරු තමන්ගේ නිවසට පැමිණියේ දානය වැළඳීමට ම නො වේ. තමන්ගේ රූ සපුව දැකීමට බව යි.

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (23) පත්‍රයේ පළවේ.