Print this Article


අගසව් පදවි පිරිනැමූ නවම් පෝද

අගසව් පදවි පිරිනැමූ නවම් පෝදා

නවම් මහේ එළැඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහිලා සදාඅනුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ.

මහා සංඝ සම්මේලනයක්

බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලුලා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදුසමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කර ගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලාගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම්පුර පසළොස්වක පොහොය දිනෙක දී ය.

උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳමඬල සේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක.

අගසව් තනතුරු පිරිනැමීම

මෙම ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහි දී සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් විසින් සිදුකරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකල ද ඇතැම් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. “බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති’යි ඇතැම්හු චෝදනා කළහ. මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සිටියදී මෑතක දී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සාධාරණ නොවන බව ද සමහරෙක් කීහ. මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරදුන් බෝසත් අවධියේ සිට උපකාරවත් වූ ඡන්න හිමියන් ය. තනතුරු ප්‍රදානයේ දී තමන් වහන්සේ අමතක කළ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරි භික්ෂුව ලෙස ඡන්න හිමියන් පෙරට ඒම මේ සමඟම සිදුවූ බව පෙනේ.

අර්බුදයට විසඳුමක්

මෙම අර්බුදකාරි තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා රැස්කරවා “මහණෙනි, පස්වග භික්ෂූහු , යස භික්ෂුව, භද්ද වර්ගික භික්ෂූහු සහ තුන් බෑ ජටිල භික්ෂූහු යන සියලු දෙනාම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නොපැතූහ. එහෙත් සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතාම පින් කළහ.” යනුවෙන් අගසව් දෙනම ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දැක්වූහ. එයින් භික්ෂූන් වහන්සේලා ගේ කුකුස දුරු විය. මේ සමඟම සැරියුත් තෙරණුවන් ප්‍රඥාවන්තයින් අතර ද, මුගලන් තෙරණුවන් ඍද්ධිමතුන් අතර ද අග්‍රස්ථානයට පත් කළ හ. මෙසේ ආරම්භ කළ තනතුරු ප්‍රදානය තුළින් බුදුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීම යි.

ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව

පඨමාභිසම්බෝධි යුගයෙහි හෙවත් බුද්ධත්වයෙන් පසු මුල් විසි වසර තුළ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා බෙහෙවින්ම විනයගරුක ව හා සමගි සම්පන්න ව විසූහ. එබැවින් උන්වහන්සේලා වෙනුවෙන් කිසිදු විනය නීතියක් පැනවීමක් සිදු නොවුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුළු වරදක් හෝ සිදු නොකළ පිරිසකි. භික්ෂු ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූ හ. එබැවින් බුදුරජාණන් වහන්සේ මුල් විසි වස පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එය ඇරඹියේ නවම් පොහෝ දිනෙක ය. එම ඕවාද ප්‍රාතිමෝක්ෂය මෙසේ දැක්විය හැකි ය.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං – එතං බුද්ධාන සාසනං

සියලු පව් දුරලීම, කුසල් ඉපදවීම හා වැඩීම, තම සිත පිරිසුදු කර ගැනීම යන මෙය සියලු බුදුවරුන් ගේ අනුශාසනය යි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තළන පෙළන පැවිද්දා මහණෙක් නො වේ.

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ව සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට උපවාද නො කිරීම ද, හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බව ද, විවේක සෙනසුන්හි ඇල්ම ද, සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන් ගේ අනුශාසනය යි.

සියලුම බුදුරජාණන් වහන්සේලා බුදු වූ මුල් අවධියේ දී භික්ෂූන් වහන්සේලා පාලනය කරනුයේ ඉහත දැක්වූ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙනි. විනය ශික්ෂාපද පැනවීම සිදුවන්නේ ඉන්පසුව අවශ්‍යතාව පරිදි ය. එය හඳුන්වන්නේ “ආණා ප්‍රාතිමෝක්ෂය” යන නමිනි.

අනුවේදනීය සිදුවීමක්

අසූවැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමි ද සමඟ රජගහ නුවර චාපාල චෛත්‍යය අසලට වැඩම කළ හ. එහි දී ආනන්ද හිමි අමතා මෙසේ වදාළහ. “අනඳයෙනි, යමකු විසින් සතර ඍද්ධිපාද වඩන ලද්දේ ද, නැවත නැවත වඩන ලද්දේ ද, මනාව සම්පූර්ණ කරන ලද්දේ ද හේ කැමැති නම් ආයු කල්පයක් හේ ආයු කල්පයකට මදක් වැඩි වූ කලක් හෝ ජීවත්විය හැකි ය. අනඳයෙනි. තථාගතයන් විසින් සතර ඍද්ධිපාද වඩන ලදී. නැවත නැවත වඩන ලදී. තහවුරු කොට පිහිටුවන ලදී. පුරුදු කරන ලදී. මනාව සම්පූර්ණ කරන ලදී. අනඳයෙනි, තථාගතයන් කැමැති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටිය හැකි ය”.

බුදුරජාණන් වහන්සේ විසින් පිරිනිවන් පානා බවට මෙසේ නිමිති පහළ කරන ලද කල්හි මාරයා විසින් මෙහෙයවන ලද සිත් ඇත්තෙක් සේ ආනන්ද තෙරණුවෝ එය වටහා ගැන්මට අසමත් වූහ. “භාග්‍යවතුන් වහන්ස. බොහෝ දෙනාට හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස. හිත සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා' යි බුදුරජාණන් වහන්සේට ආරාධනා නො කළහ.

බුදුරජාණන් වහන්සේ දෙවැනි හා තෙවැනි වරට ද පෙර සේ ම වදාළ නමුත් ආනන්ද තෙරුන්ට සිහිය පිහිටුවාගත නොහැකි විය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යය අසල දී නවම් පුර පසළොස්වක පොහොය දිනෙක ආයු සංස්කාරය අත්හළ සේක. මෙතැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නොසමවදිමි” යි, සිහිය පිහිටුවා ලූ සේක. මෙය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීය සිදුවීමකි.