Print this Article


සිත පහදවා දන් දී සුගති සැප සලසා ගමු

සිත පහදවා දන් දී සුගති සැප සලසා ගමු

දානං තානං මනුස්සානං
දානං දුග්ගති නිවාරණං
දානං සග්ගස්ස සෝපානං
දානං සන්තිකරං පරං

දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි. දානය දුගතිය වළකන්නකි. දානය දෙව්ලොවට හිණිමඟකි. දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.

දන්දීම වනාහි මහත්ඵල ගෙන දෙන්නා වූ පින්කමකි. දන්දීමේ ආනිසංස අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සූත්‍රානු සාරයෙන් මනාව දේශනා කළහ.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගෙන් විමසා සිටින්නේ වඩා ආනිසංසදායක වන්නේ ඔබ මට දෙන දානය ද, නැතිනම් මා ඔබට දෙන දානය ද යනුවෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ කියා සිටියේ තමා බුදුන් වහන්සේට දෙන දානය වඩා ආනිසංස ගෙන දෙන බවයි. ඕනෑම කෙනෙකු සිතන්නේත් කියන්නේත් සැරියුත් හිමි කී විදියටමටයි. එයට හේතුව බුදු හිමි තරම් උතුම් කෙනෙකු මේ ලෝක ධාතුව තුළ නොමැති බැවිණි. නමුදු බුදු හිමි ප්‍රකාශ කළේ බුදු හිමි සැරියුත් හිමිට දෙන දානයට වඩා ආනිසංස ගෙන දෙන බව යි. එයට හේතුව බුදු හිමි තරම් දානානිසංස දන්නා කෙනකු තවත් නොමැති බැවිණි.

දන්දීමේදී විධාන නොකොට නැත්නම් අණ නොකොට තම අතින් ම දන් දීම ආනිසංස බහුලවීමට හේතුවකි. ඒ අනුව දන් දීමේදී එහි අංශ දෙකක් තිබෙන බව සඳහන් වේ. සාහත්ථිකදාන හා ආණත්තික දාන වශයෙනි. ආණත්තික දාන යනු තමන්ගේ කම්මැලිකම හේතුකොට ගෙන අනුන්ට අණකිරීමෙන් දෙන දානය යි. එය එතරම් සුදුසු දෙයක් නොවේ. එයින් තමනට අඩු ආනිසංස ලැබෙන අයුරු දි:නි පායාසි රාජඤ්ඤ සූත්‍රයට අනුව පැහැදිලි වේ.

එම සූත්‍රයට අනුව රාජඤ්ඤ රජු බහුල වශයෙන් සිදු කොට ඇත්තේ ආණත්තික වශයෙන් දන් දීම ය. ඔහු මියගොස් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයෙහි පැරැණි විමානයක පිරිවර නොමැතිව පහල වූ බව එම සූත්‍රයට අනුව පැහැදිලි වේ. ඒ අනුව තමනට අතපය ශක්තිය තිබිය දී තම අතින්ම දන්දීම වටිනා බව පැහැදිලි වේ. අනුන්ට විධාන කොට දන්දීම, කායික ශක්තියක් නොමැති අය විසින් සිදු කළාට වරදක් නොමැත. අද බොහෝ දෙනෙක් දන් දීමේදී පවා තම මානය හේතුකොට ගෙන අනුන් යොදවා ඔවුන් හරහා දන් දීම සිදු කරති. ඒ බව ලෝවැඩ සඟරාව තුළින් ද අනාවරණය වේ.

අන් හට අලසව නොකොට වි දානය
පින් මිස අනිකක් නොකොට ප දානය
තුන් සිත පිරිසුදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නි දානය

ඉන් අදහස් වන්නේ අන්‍යයාට විධාන නොකොට පින පමණක් අපේක්ෂාවෙන් තුන් සිත පහදාගෙන දෙන දානය තුළින් තමනට ගිය ගිය තැන්හි නිධානයක් පහළ වන බව යි. මෙහිදී තුන් සිතනම් සිතිවිලි වල ම අවස්ථා තුනකි.

එනම් දන් දීමට පෙරාතුව පහළ වන පූර්ව චේතනාවත්, දන් දෙන අවස්ථාවේ දී පහළ වන මුඤ්චන චේතනාවත්, දන් දීමෙන් පසුව ඇතිවන අපර චේතනාවත් ය. එම අවස්ථා තුනම පිරිසුදු වීම, පහදා ගැනීම දෙන දානයෙහි ආනිසංස වැඩි වීමට හේතුවක් වන බව දන් දෙන ඇත්තන් සිහියට ගත යුතු ය.

සමහර පිරිස් සියල්ල ලස්සනට සිදු කොට අවසානයේ දී පින්කමට ගිය මුදල පිළිබඳ ව හෝ පුද්ගලයින් පිළිබඳ ව හෝ කලකිරීමකට පත් වෙති. එයින් සිදු වන්නේ දානානිසංස අඩු වීම ය. ස්වහස්ථයෙන් ම දන්දීමේ දී තමා වෙහෙස මහන්සි වී ධනයක් උපයාගෙන ධාර්මික ලෙස දීමක් සිදු වේ. එයින් තමනට කලකිරීමට කිසිදු හේතුවක් උදා නොවනු ඇත. බොහෝ දුරට කලකිරීම ඇතිවන්නේ අනුන් මෙහෙයවා අනුනට අණකිරීමෙන් දෙන දානයන් තුළ ය.

මෙහි නිධානයක් පිළිබඳව ද සඳහන් වේ. භෞතික වශයෙන් අද නිධාන ගැනීම සුලභව සිදු වන්නකි. පෙර රජවරුන් රටක දුර්භික්ෂයක් හෝ යම් කරදරයක් පැමිණි කළ එරට වැසියාට පිහිට පිණිස වටිනා රන්මුතු දෑ තැන්පත් කළ දේවල් නිධාන වශයෙන් පවතී. පුණ්‍ය භූමි ආශි‍්‍රතව බහුල වශයෙන් නිධාන තැන්පත් කොට ඇත. ඒවාද නිධාන වශයෙන් සැප සම්පත් උදෙසා සත්වයාට ප්‍රයෝජනවත් වේ. බුදුරජාණන් වහන්සේ භෞතික හා ආධ්‍යාත්මික දෙ අංශයට ම සරිලන අයුරින් නිධාන පිළිබඳ දේශනා කළහ.

ඛු:නි නිධිකණ්ඩ සූත්‍රයට අනුව ඒ බව දේශනා කොට ඇත. ඒ අනුව නිධාන හතරක් පිළිබඳ දේශනා කොට ඇත. ස්ථාවර, ජංගම, අංගසම හා අනුගාමික වශයෙන් එම නිධාන හතර දැක්වීමට පුළුවන. ඉන් පළමු තුන මෙලොව ජීවිතයට භෞතික වශයෙන් සැප සම්පත් විඳීම උදෙසා උපකාර වුවද මියගියාට පසු ඉන් ප්‍රයෝජනයක් නොමැත. එය එදිනෙදා ජීවිතය තුළ පංච ඉන්ද්‍රියන් පිනවීමට උපකාරි වේ. සිව්වන නිධානය වූ අනුගාමික නිධානය මියගියාට පසුව වුව ද තමනට පිහිට පිණිස පවතී. බුදුරදුන් අනුදැන වදාළේ ද එම නිධානය තැන්පත් කර ගැනීම අන් නිධාන වලට වඩා වැදගත් වන බවයි.

කෙනකු අලස නොවී අණ කිරීමකින් තොරව තම දෑතින් ම දෙන දානය තුළින් එම අනුගාමික නිධානය තැන්පත් කිරීමක් ද සිදු වේ. පසු ආත්මය උදෙසා එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. එබැවින් තම දෑතින් ම දන් දීමට උත්සුකවීම නුවණැත්තන්ගේ ක්‍රියාව විය යුතුය. දන්දීමට කිසි මොහොතක අලස නොවිය යුතුය. එයට හේතුව එයින් ලැබෙන ප්‍රතිඵලය තමනට සැප පිණිස ම පවතින බැවිණි. දන් දීම තමනටත් - අනුනටත්, මෙලොවටත් - පරලොවටත් සැප පිණිසම පවතින්නකි. මෙලොව ජීවිතයට ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යන පංච විධ සම්පත්තීන් සාංදෘෂ්ඨික වශයෙන් ම ලබා ගැනීමට දන් දීම බෙහෙවින් ම බලපාන්නකි. බුදුරජාණන් වැඩ සිටි ඒකසාඨක බමුණා, සුමන මල්කරු ආදීන්ගේ චරිත කතා තුළින් ඒ බව පැහැදිලි වේ.

එබැවින් දුර්ලභ ව ලද මිනිසත් බව වර්ණවත් කරගැනීම උදෙසා දන්දීම කළ යුතුව ඇත. මිය යන විට භෞතික සියලු දේම අත්හැර යන කල්හි තමන් කරන ලද උතුම් පුණ්‍ය කටයුතු ඊළඟ භවය සරසන්නට සැදී පැහැදී සිටිනු ඇත. හරියට ආගන්තුකයෙක් ආ කල්හි ආගන්තුක සත්කාර කරමින් පිළිගන්නාක් මෙන් ඊළඟ භවය ඔබේ සැප පිණිස දානය තරම් උතුම් කාර්යයක් තවත් නොමැති බව සිතට ගෙන අලස නොවී, අනුනට විධාන නොකොට ධාර්මික ව යමක් සොයා සපයාගෙන තුන් සිත පහදවාගෙන දන් දී මතු සැප ලබා ගැනීමට උත්සාවත් වන්න.