Print this Article


පූජාච පූජනීයානං

තලාවේ නන්දසාර නාහිමි

අතිශය මනරම් වූ සුන්දර භූමිභාගයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තලාව ගම් පියසෙහි සුපින්වත් මව්පිය යුවලකට දාව 1947 ජූනි 01 දින උපන් මෙම කුල කුමරුවා තලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබීය.

ඓතිහාසික නයිගල රජමහා විහාරයත් සමඟ නිරන්තර සබැඳීයාවෙන් කටයුතු කළ අතර පියතුමන් හට තම පුතු සසුනට පූජා කොට බුදු පුතකු කිරීමේ ආශාවක් ඇති විය. එවකට මෙම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ මානසික වෙදකමට දක්ෂ නායක අග්‍රහැර සෝමරත්න හිමියන් ගුරුතැන්හි තබා මෙම කුලකුමරුවන් තලාවේ නන්දසාර නමින් උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් කරන ලදී.

පසුකාලීන ව නන්දසාර පොඩි හාමුදුරුවෝ මාතර සුදර්ශී පිරිවෙනෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා මහණදම් පුරන්නට වූහ. තම ගුරු හාමුදුරුවන් වහන්සේ විසින් සිදුකළ මානසික වෙදකමට රුචිකත්වයක් දැක්වූ නන්දසාර හිමියෝ තම ගුරු හාමුදුරුවන්ගේ එම වෙදකමට යොමු විය. තම ගුරු ඇසුරින් එම වෙදකම පිළිබඳව දක්ෂ වූ අප කථානායකයාණෝ වෙදකම තුළින් ප්‍රදේශය පුරා ඉමහත් කීර්තියක් කෙටි කාලයකින් අත්කර ගැනීමට දක්ෂ වූහ.

තව ද මෙම මානසික වෙදකම නිස්සරණාධ්‍යාසයෙන් ඉටු කරමින් අති විශාල රෝගී පිරිසකට නිරෝගී සුවය ලබා ගැනුමට ඉමහත් සේවයක් කළ අනතිමානී ගුණයෙන් පමණක් නොව සංඝ ශෝභන ගුණයෙන් ද ආඪ්‍යව නයිගල රජමහා විහාර වෙද පරපුර බබළවමින් ප්‍රදේශයේ තරුණ පිරිස දිරි ගන්වමින් මහානාග තරුණ සමාජය නමින් සංවිධානයක් බිහි කොට පසුව එය විහාරස්ථ දායක සභාවේ ක්‍රියාකාරි සංවිධානයක් ලෙසින් ව්‍යාප්ත කරන ලදී. 1970 දශකයේ පැවැති දේශපාලන දර්ශනයට රුචිකත්වයක් නොදැක්වූ තරුණ ප්‍රජාව නායක හාමුදුරුවන් වහන්සේ නායකත්වයේ තබා ගනිමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සහයෝගය දැක්වීය. ඉන් අනතුරුව විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා අප හිමියෝ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයෙන් මුදවා ගනු ලැබී ය.

පසුකාලීනව උන්වහන්සේ බෝධිමළුව රාජමහා විහාරය, නයිගල රාජමහා විහාරය, යන විහාරයන්හි විහාරාධිකාරීව වැඩ වෙසෙමින් උදාර වූ ශාසනික මෙහෙයක් ඉටු කරනු ලැබූහ.

උන්වහන්සේගේ ශාසනික, ජාතික, ආගමික හා සමාජයීය සේවය අගය කොට ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවය මඟින් 2018 වසරේ දී මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය “කීර්ති ශ්‍රී සෝමරතනාභිධාන” යන ගෞරව නාමය සහිතව පිරිනමනු ලැබී ය. තව ද මුළු දිවයිනට ම බලපාන පරිදි සාමවිනිසුරු පදවියෙන් පිදුම් ලැබූහ.

පුරා වසර 50 ක කාලයක් වෙදකම තුළින් විස්කම් පෑ හිමියෝ අග්‍රහැර, වකමුල්ල, වීරකැටිය ආදී ප්‍රදේශවල හුදී ජනී ජනයාට වෙදකම තුළින් ඉමහත් සේවයක් කොට 2019 නොවැම්බර් 30 දින අපවත් වී වදාළහ.

කොරෝනා වසංගතය බාධාවක් වූවත්, තලාවේ නන්දසාර නායක සමිඳුන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම් පින්කම් සැමරීමට කටයුතු යෙදිණි. ඒ අනුව නයිගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේ දී වකමුල්ලේ උදිත හිමියන්ගේ අනුශාසනා පරිදි, ශාස්ත්‍රවේදී මුරුතවෙල සුමනජෝති හිමියන්ගේ සහභාගීත්වයෙන් විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් පසුගියදා සපිරිකර සංඝිගත දක්ෂිණාවක් ද පැවැත්මට කටයුතු කෙරිණි. අප නායක සමිඳුන්ට අජරාමර නිවන් සුව අත්වේවා...

****

දේවාලේගම ධම්මසේන නා හිමි

රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්‍ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්හ ආචාර්ය දේවාලේගම ධම්මසේන නා හිමි ගුණ නැණ බෙලෙන් පිරිපුන් යතිවරයන් වහන්සේ නමකි.

ආචාර්ය දේවාලේගම ධම්මසේන නා හිමි දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දේවාලේගම නමැති පෞරාණික සුන්දර ගම් පියසේ විසූ රූපසිංහ ඩිංගි හාමිනේ මහෝපාසිකා මාතාව සහ විජේරත්න වීරබද්දන මෙන්ඩියස් මහෝපාසක මහතා යන දම්පතීන් ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1951 ජනවාරි 10 වැනිදා ජන්මලාභය ලැබී ය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාතර කුඩාපාන රජයේ විදුහලෙනි.

කුඩා කල සිට ම මහත් සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1965 මැයි මස 12 වැනි දින හක්මන මුරුතමුරේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් ධම්මසේන නා හිමියන් ගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේලා වූයේ ගොඩපිටියේ පේමරතන නා හිමි සහ හක්මන පඤ්ඤාලෝක නා හිමි ය. මෙකී ඇදුරු නා හිමිවරුන් ඇසුරෙහි වෙසෙමින් උගත යුතු මූලික ධර්මවිනය මැනවින් ප්‍රගුණ කළ උන් වහන්සේ පාරිවේණික අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වූයේ කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාමස්ථ ඥාණේශ්වර පිරිවෙනට යි. එහි දී ත්‍රිපිටක ධර්මය සේ ම සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂාවන් ද මැනවින් හදාරමින් පරිවේණස්ථානයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු බවට පත් විය.

1973 මැයි මස 25 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී ධම්මසේන හිමියෝ අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ. එම උපසම්පදා විනය කර්මයෙහි ප්‍රධානත්වය දැරුවේ එවකට මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවිය දැරූ අතිපූජ්‍ය සිරිමල්වත්තේ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ආනන්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ඉක්බිතිව පිළිවෙළින් විද්‍යෝදය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ බරණැස හින්දු විශ්වවිද්‍යාලය වෙතින් උපාධි හා පශ්චාත් උපාධි ලද උන් වහන්සේ සාම්ප්‍රදායික සහ නූතන අධ්‍යාපන විෂය ක්‍ෂේත්‍රයන් හි ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලබා ගත්හ. ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා ජීවමාන සමයේ දී ම මුරුතමුරේ ශ්‍රී සුභද්‍රාරාම විහාරය, හක්මන දෙනගම කැබැල්ලකැටිය ශ්‍රී විජයාරාමය සේ ම ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරයෙහි ද විහාරාධිකාරී මෙන් ම භාරකාර නා හිමි ලෙස ක්‍රියා කළ හ. ඉක්බිතිව වර්ෂ 2000 දී හක්මන පඤ්ඤාලෝක නාහිමියන් ගේ අපවත්වීමෙන් පසු පූර්වෝක්ත විහාරස්ථාන සියල්ලෙහි ම ආධිපත්‍යයට පත් වූ හ. කාවන්තිස්ස මහ පිරිවෙනෙහි ආචාර්යවරයෙකු සේ ම පසුව එහි පරිවේණාධිපති ලෙස ද දිගු කලක් ක්‍රියා කළ හ. කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ලෙස සිදුකරන සේවාව ද ඉතා ඉහළ තැනක් ගනියි.

තිස්සමහාරාම රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් වාර්ෂිකව පවත්වන රුහුණු මහා පෙරහර පුරාතන සම්ප්‍රදායන් සුරකිමින් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීම කෙරෙහි ධම්මසේන නාහිමියෝ දැඩි කැපවීමකින් ක්‍රියා කරති. තිස්සමහාරාම දාගැබ පිපිරී ඉරිතලා ගිය අවස්ථාවේ දී කඩිනමින් එය සංරක්‍ෂණය කිරීමට ධම්මසේන නා හිමි ගත් නොපසුබස්නා දැඩි උත්සාහය නිසා ම අද වන විට සෑරදුන් නිරුපද්‍රිතව විරාජමානව පවතියි. තිස්සමහාරාම රාජමහා විහාරයේ සංවර්ධනය හා අභිවෘර්ධිය විෂයෙහිම ස්වකීය උදාර දිවිය කැප කළ තිස්සමහාරාමයෙහි වත්මන් සංවර්ධනයේ පුරෝගාමී නියමුවාණන් ලෙස දේවාලේගම ධම්මසේන නා හිමියෝ ගිහි පැවිදි ලොකු කුඩා කා අතරත් අතිශය ගෞරවාදරයට පත්ව වැඩ වෙසෙති. මේ නිසාම උන් වහන්සේ වෙත දිවයිනේ සංඝ සභා මූලස්ථානවලින් සේ ම විවිධ සංවිධාන වෙතින් ගෞරව නාම සම්මුතීන් රැසක් ද පිරිනැමුණි.

ජනවාරි මස 10 වැනිදාට යෙදුණ දේවාලේගම නාහිමි ජන්ම දිනය නිමිත්තෙන් හක්මන දෙනගම සිරි විජයාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදි කළ සිරි විජය දාගැබ සම්බුදු සසුනට පූජා කිරීමේ පූණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි.