
නමදිමු සිරිපා

උඳුවප් මහේ පුර පෝයෙන් පටන්ගෙන
වෙසක් මහේ පොහො දිනයෙන් නිමාවෙන
සිරිපා සමයෙ සැමටම පින් පුරවන්න
මුනි සිරිපා වඳින්නට කරුණා කරන
ජාති කුල බේද ආගම් නොතකන්නේ
සියලු දෙනා එක්වයි වැඳුමට යන්නේ
බුදු සමිඳුගේ සිරිපතුලයි වැඳ ගන්නේ
සාධු සාධු අප නිවනට ළං වන්නේ
ඩී. වයලට් ජයසිංහ මොරපිටිය
****
නව වසර

වතුපිටි කුඹුරු ලක් පොළොවෙහි සරු වේවා
සිතිවිලි ඉතා යහපත් ලෙස මතු වේවා
පැතුමන් එලෙස කොයි කාගෙත් ඉටු වේවා
මතු පරපුරක් සුරැකිව හෙළ බිහි වේවා
බැලුවම හැරී ආපහු ගිය වසර ගැන
කලු පැල්ලම් ඇතොත් ඒ ගැන හිතට ගෙන
මුලුගැන් නොවී නව ජවයෙන් පෙරට පැන
සළු පළඳවමු ලක් මෑණිට සතුට දෙන
ඇටම්පොල ඤාණිස්සර හිමි
****
පිහිට
ගෞතම බුදු සමිඳු තෙවරක් වැඩිය බිම
බලවත් පිනක් මා හට මෙහි ඉපදීම
මිනිසත්කමේ වටිනාකම දනිමි මම
බුදු දහමට අනුව ජීවය රැක ගැනුම
දිනකට දෙතුන් වර තෙරුවන් සරණ යමී
පන්සිල් රැක ගැනුම අදිටන් කර ගනිමී
තෙරුවන් ගුණ බලය ඇති තතු මම දිනිමි
සියලු සතුන් වෙත සැමවිට මෙත් වඩමි
බුදු ගුණවලින් මගෙ ගත සිත සැනසෙන්නේ
පහනක් විලස ආලෝකය ලැබ ගන්නේ
පින්බර පැතුම් ගොන්නකි හද දරන්නේ
අරි අට මඟ පිහිට මගෙ පිහිටට එන්නේ

දෝන වයලට් ජයසිංහ
මොරපිටිය
****
බැසගිය පුන්සඳ

පූලියද්දේ පිපුණු සුදුමල
සඟ මහාවිල වුණා විකසිත
දිගන්තය තුළ සිල් සුගන්ධය
විහිදුවා කළ දේ අපරිමිත
අනාගතයට මහා සඟ ගණ
පුබුදු වන්නට පිරිවෙනක් කළ
අපේ උරුමය ලොවට දෙන්නට
වියත් හැම දන එකට එක් කළ
පුවත්පත් පිටු තුළින් සැමවිට
ළමා මනසට දැනුම යොමු කළ
රටේ ජාතික ප්‍රශ්න හමුවේ
වැඩියෙ ඔබ සිහරදකු විලසට
කෙටි කලක් තුළ දිවි පැවැත්මෙන්
කරපු මහ වැඩ ටික උදාරයි
හිමියනේ ලක්මව වැළපෙමින්
යළිත් වඩිනා ලෙසට අයැදියි
දෙසු සදහම් අමා බණ ගඟ
හිමිට වේවා අම නිවන් මඟ
තල් අරඹේ එල්.එච්. හරිස්චන්ද්‍ර
****
පැතුම
බිහිසුණු වෙසින්
කුරිරුව
ලොව දස දෙස පැතිර
මිනිස් සිත් දවාලන
රුදුරු වසංගතය කොරෝනා
සැනෙකින්
ධූරීභූතව
සැම දන ලොව වෙසෙන
බොහෝ ආයු ලැබ
නිදුක් නිරෝගී ව
සුවපත් ව
යෙහෙන් වැජඹෙන්නට
හද බැති මෙත් සිතින්
ප්‍රාර්ථනාවන් ගෙනෙමු
ලොව සැම දනන් හට
පැතුම් විකසිත
වාසනාවන් සපිරුණු
සතුට, පී‍්‍රතිය, සාමය සපිරි
“සුභ නව වසරක්” වන්නට
එක්සිත්ව
එක්සත්ව
සිත් නැහැවී
දම් රසින්
පැතුම් මල් පුදමු
දෙදහස් විසිදෙක
දුරුතු සඳ එළියේ....
නීතිඥ කීර්ති කපුවත්ත
රිදීගම
****
හිංසාවෙ සෝසුසුම්
හිංසාවෙ සංකාව වාතලට මුසුවෙලා
නොපෙනෙනා බලවේග ඒ මතින් බිහිවෙලා
සත්වගම ගොදුරු කර දිවි මඟම වනසලා
හිංසාව අත්හරිමු ලෝ දමට එක්වෙලා
කිතුල්ගල
රත්නසේකර රූපසිංහ
****

පින් සිදුවේවා
බුහුමන් ලබන උත්තම ගුණ ඇති කරවන
දුසිරිත් ඇතැර යහමඟට ම නිති යොමු කරවන
රහතුන්ගෙන් පහස ලද පින් කෙත බබළවන
ණය නැහැ බුදුසරණ සසුනට මං සදන
ඩබ්. සංජීව විජේ සිරිවර්ධන
සිල්වත්ගම - ගලේවෙල
****
උපහාර
අවිදු අඳුරින් සැවොම මුදවා
මිහිඳු මාහිමි වැඩිය ලකඹර
පුබුදු කරමින් දහම් මල්මිට
තිස්ස මහරජු වෙතට ලංකර
මිහිඳු සමිඳුන් නැඟණි සඝමිත්
වැඩිය උඳුවප් පෝය සිහිකර
පුබුදු කරමින් පුදමි කවිමල්
මෙහෙණි සසුනට ගුණය පුදකර
තෙරණි සඝමිත් මෙහෙණි
එදවස දඹදිවින් ගෙන වැඩිය බෝධි
සැදුණි අනුරාපුරය සමිඳුගෙ නාමයෙන්
ජය සිරිමහ බෝධි
දිලුණි සසුනම පිහිටුවා කළ
අමිල සේවය සසුන් කෙතදී
පිරුණි අටුකොටු සේ ම
නිර්මල දහම බොදු හදවතෙහි පිබිදී
මානෙල් සුජාතා සිල්මාතාව
මාතලේ
****
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්යක්ෂ කිරම
විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම
නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

සංස්කරණය -
දීපා පෙරේරා |