Print this Article


අතීතය ගැන වැලපී අනාගතයට සිහින දකිනවා ද ?

අතීතය ගැන වැලපී අනාගතයට සිහින දකිනවා ද ?

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ එක්තරා දේවතාවෙක් පැමිණ වැඳ එකත්පස්ව සිට මෙසේ පැවසුවේ ය.

‘භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේලා එක වේලක් පමණ වළඳා වනයේ වාසය කරනු ලබනවා. එසේ වුවත් උන්වහන්සේලාගේ ශරීරය හරිම පැහැපත්. වර්ණවත්. ලස්සනයි. එයට හේතුව කුමක්ද?

බුදුරජාණන් වහන්සේ එම පැනයට පිළිතුරු වශයෙන් ‘පින්වත, මගේ ශ්‍රාවකයින් වහන්සේලා ඉකුත් දෑ ගැන (අතීතය ගැන) සිතමින් ශෝක කරන්නේ නැත. නොලැබුණ දෙයක් බලාපොරොත්තු වන්නේ නැත. පවත්නා දෙයින් යැපෙනවා. මේ ප්‍රතිපත්තිය නිසා උන්වහන්සේලාගේ ශරීරය වර්ණවත් වෙනවා. මේ නිසා බොහෝ දෙනා උන්වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇති කර ගන්නවා.

නොලත් දෙය පැතීමෙන් හා ඉකුත් දෑ ගැන ශෝක කිරීමෙන් බාලයෝ සිඳින ලද ගිනිගත් බට දණ්ඩක් සේ වියළී යනවා දේශනා කළහ.

බුදුහිමි පෙන්වාදුන් මේ සදාතනික ධර්මතාවය මිනිස් හදවත් සුවපත් කරන ඔසුවක් බඳු ය. අපේ ශරීරය විවිධ රෝගාබාධයන්ට ගොදුරුවන්නා සේ ම සිත ද රෝගී වෙනවා. උපන් මොහොතේ එනම් ළදරුවියේ අපේ සිත පිරිසුදු යි. ළදරු විය පසුකර වැඩෙත් ම ආගන්තුක ව පැමිණෙන කෙලෙස් ධර්මයන් නිසා නොදැනුවත්ව ම සිත අපිරිසුදු වී රෝගී බවට පත්වෙනවා.

හැම කරුණක් සඳහාම ‘සිත මුල්වන බැවින්’ හැම විටම සිත සංවරව තබා ගැනීමට උත්සුක විය යුතු යි. එය සැපතට කරුණක්.

වනයේ විසූ භික්ෂූන් වහන්සේලා එක වේලක් වළඳමින් කය, සිත, වචනය සංවර කර ගනිමින් ‘බ්‍රහ්මචාරීව‘ වසමින් අතීත අනාගත සිදුවීම් අමතක කොට වර්තමානයේ එන හැටියට (දහම සමඟ) වැඩ සිටි බැවින් පැහැපත් බවෙන් හා වර්ණවත් බවෙන් බැබළුණා.

සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් අතීතයේ තමන් අතින් සිදුවුණ ලාභ, අලාභ, හානි, අඩුපාඩු, ප්‍රශ්න අමතක කළ නොහැකිව රෑ දවල් දෙකෙහි ම සිතමින් පසුතැවෙන බව පේනවා. කොතෙක් විය පැහැදම් කළත්, මහන්සි වුණත් තම දරුවන් අධ්‍යාපනය නොලැබූ නිසාත්, කෙනෙක් නරක ඇසුර නිසා ජීවිත විනාශ කරගත් නිසාත් ආදී ප්‍රශ්න අමතක කරගත නොහැකිව හමුවන හමුවන හැම කෙනකු සමඟ කියවමින්, දොඩමින් කල් ගත කරනවා. මෙවන් සිදුවීම් නිතර නිතර සිතන ඔහුට සුව නින්දක් ලැබෙන්නේ නෑ. නිසි වේලාවට ආහාර පාන නොගැනීමෙන් ශරීරය දුර්වල වී මානසික රෝගී තත්ත්වයට ද පත්වනවා. ජීවිත ද විනාශ කරගන්නවා . එවැනි අවස්ථා අපි කෙතෙකුත් අසා දැක තිබෙනවා.

අමිහිරි අතීත සිදුවීම් නිතර නිතර සිතන සමහර අය හිත අවනත කර ගැනීමට අපොහොසත් වූ තැන ගේ දොර, අඹුදරුවන් අතහැර නැවත නොයෙන අදහසින් හිස හැරුණ අත යනවා.

මෙබඳු දුර්වල තීරණ නිසා අසීරුවෙන් ගොඩනඟාගත් පවුල් සංස්ථාව දෙදරා යාමට පුළුවන්. වාසනාවන්ත යහපත් අනාගතයක් වෙනුවෙන් සමහරු සැලසුම් හදනවා . උසස් අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවක් වේතනයක් ලබා ලස්සන ගෙයක්, දොරක් තනා ගැනීමටත්, ලස්සන විවාහයක් කර ගැනීමටත් මේ ආදී අනාගත බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ සිහින දකිනවා . එහි කිසිදු වරදක් එය සාධාරණ වූ ක්‍රියාදාමයකි.

බුදුවරයකු හැර අනාගතය ගැන කියවියහැකි කෙනෙකු නැති බැවින් මවන අනාගත සිදුවීම් සමහරවිට බොඳවී, වැල්ලේ තැනූ මාලිගා බවට පත්වීමට ඉඩ තිබෙනවා.

බුදුහිමි වැඩ සිටි දවස ද එබඳු සිදුවීම් කොතෙකුත් සිදු වුණා.

මිසදිටු බමුණෙක් ගං තෙරක කුඹුරක් කළා. දිනක් ම් ස්ථානයට බුදුහිමි වැඩම කළා. බුදුහිමි පිළිනොගත් බමුණා ඔහු කරන රාජකාරිය ම කළා. මෙහිදී බුදුහිමි ඔහුට කතා කොට කරන්නේ කුමක්දැයි ඇසුවා. කුඹුරක් සකස් කරන බව කීවා. දෙවන දවසත් වැඩමකොට කරන්නේ කුමක්දැයි ඇසුවා. කුඹුර හාන බව කීවා. තුන්වැනි දවසත් වැඩියා. කරන්නේ කුමක්දැයි ඇසුවා. වපුරන බව කීවා. කීප වතාවක් බුදුහිමියන් කුඹුරට වැඩම කළ නිසා ඔහුගේ නපුරුකම අතහැර බුදුහිමි සමඟ මිත්‍ර වුණා. මිත්‍රකම කොතෙක් ද කීවොත් කුඹුර පැසුණු පසු කොටසක් දෙන බව කීවා.

පැසුණ කුඹුර දැක සතුටු වුණ බමුණා පසුදින කුඹුර කපන්න ගියා. එදිනට පෙර දින රාත්‍රියේ අධික වර්ෂාවෙන් ගඟ ගලා කුඹුර විනාශ වුණා. විනාශ වුණ කුඹුර දැක බලවත් සේ කනගාටු වුණා. බුදුහිමි මේ විනාශය කලින් දුටුවා. කීපවතාවක් වැඩම කළේ ඒ නිසයි. (පිහිට වීම සඳහායි) බුදුහිමි ඔහු කනගාටුවෙන් සිටින බව දැන ගෙදරට වැඩම කළා. “මගේ යාළුවා පැමිණ ඇතැ’යි’ ගෙතුළට වඩමවා ගත්තා. කුඹුර විනාශ වුණේ ඇයි දැයි ඇසුවා. නොදන්නා බව කීවා. එවිට බුදුහිමි මිනිසුන්ට ශෝකයත්, භයත් ඇතිවන්නේ තණ්හාව නිසා බව දේශනා කළා.

ඇතැමෙක් අද කළ යුතු දේ අද නොකර හෙටට කල් දමනවා. ආයතන තුළත්, කාර්යාලය තුළත්, ගේ දොර තුළත් මෙය දකින්නට ලැබෙනවා. මේ සඳහා ඔවුහු සීතයි, උෂ්ණයි, බඩගිනියි, අව්වයි, වැස්සයි, නිදිමතයි, කම්මැලියි වැනි හේතු පාඨ කියනවා. මේ නිසා තමන්ටත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලටත් සිදුවන අලාභ හානි බොහෝ යි. උදයේ නැඟෙනහිරු සවස බැස යනවා. උදයේ පිපෙන මල හවසට පරව යනවා. තණ අග පිනි බිඳු වහා නැතිව යනවා. එබැවින් ජීවිත ද වහා විනාශ වනවා. එනිසා කළ යුතු දේ අදම කළ යුතු බව බුදු හිමි ‘අප්පමාදේන සම්පාදේථ’ යනුවෙන් පෙන්වා දුන්නා. නිවන ද කල් නොදමා අදම ලද හැකි පරම සැපතක්.

එබැවින් අප ද මේ ලැබූ වසර සුභ නව වසරක් කර ගැනීම සඳහා අතීතයත්, අනාගතයත් පසෙකින් තබා වර්තමානයෙන් යැපෙමින් ජීවිත සාර්ථක කර ගැනීමට අදිටන් කර ගනිමු.