Print this Article


මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න

මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න

දවසක්, දැඩි හිරු රැසින් මහපොළොව ගිනියම් වූ මධ්‍යහ්නයක දී එක් පුරුෂයෙක් ගිනි හුළක් ගෙන ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර වීථියක ගමන් කරන්නට වූයේ ය. මේ වනාහි ලෝ පතළ මහා ප්‍රාඥයකු වූ ගී‍්‍රසියේ සොක්‍රටීස් පඬිතුමා මිස සෙස්සෙක් නොවෙයි.

ඇතැමෙක් අවඥා සහගත සිනහවෙන් යුතුව ඔහු දෙස බැලූහ. මොහු ගැන දන්නෝ වික්ෂිප්තවැ, නොමඳ හිරු රැසින් හාත්පස ආලෝකවත් වූ දහවලක මෙතුමා ගිනිහුළක් ද ගෙන සැරිසැරීමට යම් හේතුවක් ඇතැයි සිතා එය දැනගනු රිසියෙන් මොහු ළඟට ගොස් කරුණු කාරණා විමසූ කල්හි, පඬිතුමා කියා සිටියේ පිරුණු මිනිස් ගුණයන්ගෙන් හෙබි සැබෑ මිනිසකු සොයමින් තමන් ඇවිදින බවත්, පවතින ආලෝකය ඊට ප්‍රමාණවත් නොවූයෙන් ගිනි හුළක් ද ගෙන මේ අසීරු වෑයමේ නියැළෙන බවයි.

ඇඟ, බඩ, කඳ මනාව පිහිටි ඇත්තන් කොතෙකුත් සිටිය ද එයින් ම කෙනකු මිනිසකු නොවන බැව් මේ ප්‍රාඥයාගේ කියමනෙන් මොනවට පැහැදිලි වෙයි. ලොව අන් සතුන්ගෙන් මිනිසා වෙන්ව හඳුනාගත හැකි මූලිකාංගය මිනිසාට සිතා මතා නුවණින් වැඩ කිරීමට ඇති හැකියාව යි. ගතේ සවිය මත රැඳුණු කැලෑ නීතියෙන් සපුරා බැහැර වූ විධිමත් චර්යා පද්ධතියකට හෙතෙම උරුමකම් කියයි. තිලොව සත්වගට අසදෘශ ධර්මයකින් සංග්‍රහ කළ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ නිරතුරු මිනිස්බව අරුත් ගන්වා දිවි ගෙවීමේ අගය, වටිනාකම ලෝකයාට පෙන්වා වදාළහ. එම සදූපදේශ ඉවත ලා හැසිරීම, පුද්ගලයාගේ ද එවන් පුද්ගලයින්ගෙන් සුසැදුණු සමාජයේ ද පිරිහීමට, පරාභවයට හේතුභූත වෙයි.

සිතා මතා ක්‍රියා කිරීමේ නුවණක් නැති සියොත් කැළ උදෑසන පිබිද පරිසරය පුබුදුවා දුටුවන් සිත ද පිය උපදවා පලවැලින් කුස පුරවා තුටින් සියොත් මඟ සරති. පක්ෂි සමූහයාගෙන් අනෙකාට හිරිහැරයක් නැත. ඔවුහු වනේ පුරා සොයා ගොසින් අහර ගෙනැවිත් තම පැටවුන් රකිති. කැදලි සාදති. වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කෙනකුගේ දියුණුවට බාධා අවහිරකිරීම් ආදී දුර්ගුණ කුරුලු ලොවැ නැත. කෑමට දෙයක් ලද විට කපුටා තම වර්ගයා ද කැඳවා ඔවුන් හා බෙදා හදා ගෙන කයි. කපුටු සිරිත කොපමණ අගනේදැයි සිතාබැලීම වටියි. තම මහලු දෙමාපියන් ද පෝෂණය කළ ජාතක කතා පොතේ එන ගිරා පෝතකයාගේ කතාව ද, නුවණින් ක්‍රියා කර විපතින් බේරුණු වඳුරු රංචුව ගැන කියැවෙන නලපාන ජාතක කථාව ද, සමඟියේ බලයෙන් උගුලෙන් බේරුණු වටු කුරුල්ලන් ගැන කියැවෙන සම්මෝදවාන කතාව ද සතුන් තුළ වූ වටිනා ගුණාංග පිළිබඳ මනා දෘෂ්ඨාන්ත ජාතක පොත් වහන්සේ ගෙනහැර පාති.

එදිනෙදා නෙත ගැටෙන කුරුලු ලොව සොඳුරු සිදුවීම් ද, තිරිසන් ලෝකයේ අන් සත්වයන්ගෙන්, බුද්ධියෙන්, මනසින් උසස් වූ මිනිසාට ලබාගත හැකි ආදර්ශ බොහෝ ය. පුංචි වේයා මහා තුඹසක නිර්මාණකරුවා වෙයි. මහාර්ඝ මී පැණි ඖෂධය මී මැස්සාගේ වෙහෙස මහන්සියේ ඵලයකි. අනලස් පුංචි කුහුඹුවා දිවා රෑ වෙහෙසී කෑම රැස් කර වැසි සමයේ අහර හිඟයකට කල් ඇතිව සූදානම් වෙයි. චිත්තාකර්ශනීය ‘වඩුකුරුලු කූඩුව ‘පුංචි සතකුගේ අපූරු නිර්මාණයකි. තමාට බත් පිඬකින් උපකාර කරන්නට සුනඛ තිරිසනාගේ “ලෙන්ගතුකම” මිනිස් අපට කදිම පාඩමකි.

සිත සනහන හදයංගම පිය තෙපුල කාගෙත් සිත් සතන් පහන් කරවයි. හයක් හතරක් නොදන්නා තිරිසනා වුව මුදු වදනට කොතරම් කැමති වේ ද යන්න නන්දිවිසාල ජාතක කතාවෙන් මොනවට පැහැදිලි ය.

දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව, ඉවසීම, කෘතගුණ දැක්වීම, මිනිස් ලොව මිනිස් වග උතුම් පුරුෂාර්ථ බබුළුවන රන්හුයක අගනා මිණිමුතු ය.

බුදු දහමේ ඉගැන්වෙන සතර බඹවිහරණ කෙනකු තුළ පිහිටා ඇත්නම් එබඳු තැනැත්තා සැබැවින් ම උසස් මනසකට හිමිකම් කියන අරුතින් පිරුණු අයෙකි. සතර බඹ විහරණ යනු මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාවයි. අන්‍යයන් කෙරෙහි දක්වන මිත්‍රත්වය, හිතෛෂි බව, මෛත්‍රිය යි. තමා මෙන් ම සමාජයේ අන්‍යයන්ට ද මිතුරුකමින් සලකන්නා, ගරු කරන්නා තුළ මෛත්‍රී ගුණය පිහිටා ඇත. හෙතෙම අනෙකාගේ හිතසුව පතයි, වරෙක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේගේ පැනයකට පිළිතුරු සපයමින් ශාසනයේ පැවැත්මට අඩක් නොව සම්පූර්ණයෙන් ම කල්‍යාණ මිත්‍රත්වය හේතුවන බව තථාගත සම්බුදු පියාණෝ වදාළ සේක. මිත්‍රත්වයේ අගය ඉන් මොනවට පැහැදිලි ය.

“මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

බිතුසිතුවම් රූමෙන් පිටු නොපාවිතී” යහපත් මිත්‍රයෝ දුකෙහිදීත්, සැපේදීත්, තම මිත්‍රයන් අත් නොහරිති. ඒ බිතු සිතුවම් පරිද්දෙනි. සැලළිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ මිතුරුකමේ අගය එලෙසින් පැහැදිලි කළහ.

පොරණ රජ දරුවෝ අසීමිත මෙත් සිතින් යුතුව රටට, දැයට ජනතාවට වැඩ වැඩූහ. රට ධර්මද්වීපයක් වූයේ ද, සහලින් ස්වයංපෝෂිත වූයේ ද, මහ සයුර සදිසි වැව්, අහස්කුසට නැඟුණු සුදෝ සුදු දාගැබ් ඉදිවූයේ ද එදා රට කරවූ නායකයන් ජනතාව වෙත පෑ සෙනෙහස, මිත්‍රත්වය, ඇල්ම, නිසාවෙන් ම යැ. එහෙයින් ම පෙරදා ලක්වැසියෝ භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මිකව ද පොහොසත් වූ හ.

කෙනෙක් දුකකට, කරදරයකට, පීඩාවකට පත් වූ කල්හි එය තමාට වූ බව සිතා එම තැනැත්තාට උපකාරී වීම කරුණා හදක ලක්ෂණයකි. අප මෙලොව උපන් දා පටන් ලෙඩ වී මහලු වී ජරාවට පත්වී විඳින භවදුකින් සදාකාලික ව මිදීමේ මඟ අපට කියා දුන්නෝ තථාගත බුදුපියාණෝ ම ය. එදා මහ බෝසත්හු සුමේධ තවුස්වැ ඉපිද දීපංකර බුදු පා මුලදි තම අතට පත් නිවන හැරදැමූහ. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් පීඩිත අසංඛ්‍ය සත්වග දුකින් මුදවනු පිණිස ය. සංසාර මහෝඝයට වැද දස පෙරුම් දම් සපුරා බුදුවැ උන්වහන්සේ අපමණ දෙව් මිනිසුනට අපමණ සුව සෙත උදාකර දුන් සේක. ඒ අසීමිත කරුණාවේ මහිමයෙනි.

සැබැවින්ම බුදුදහමේ ආභාසය ලත් අපේ ලක්වැසියෝ සැමදා කාරුණික හදින් පොහොසත් වූහ.

එදා මෙදා තුර සිරිලක් සමාජයේ බොහෝ දෙනා කරුණාබර හදින් යුතු වූහ. කෙනකුගේ දුක්ඛදායක අවස්ථාව තමා දුකට පත් කලක් මෙන් සලකා ඔවුහු විපතට පත්වූවනට උපකාර කළහ. කෙනකුගේ දුකේ දී පමණක් නොව සතුටේ දී ද ජයග්‍රහණයේ දී ද සතුටුවීම පිරුණු මිනිසකුගේ සැබෑ ලක්ෂණයකි. පෙර දා අපේ ගමක දරුවකු සරසවියට පිවිස උපාධි ලැබූ කල මුළු ගමම සතුටු විය. තොරණ බැඳ ඉතිරුණු තුටින් ජයග්‍රාහකයා පිළිගත්හ. ඒ අපේ කෙනකු ඉහළ තනතුරකට පත් වූයේ ය, යන බලවත් චිත්ත ප්‍රසාදයකිනි.

“ඇතින්නියක ලත් දරු පෙම්බෙර්යා
ඇතිනි රැලේ සැමටම කිරි එරේයා”

යන කියමනෙන් ඇත් පන්තියක සමඟිය, බැඳීම, සාමුහිකත්වය මොනවට විදහාපායි. එදා අපේ ගමක කාන්තාවක කුස දරුවකු පිළිසිඳගත් කල දොළදුක සපුරන රුචි රුචි ප්‍රත්‍යාහාර සපයා දුන්නේ ද, අද මෙන් පහසුකම් නොතිබූ එකල දරු උපතට වින්නඹුකම් කළෝ ද මව් සෙනෙහස ලොවට පළකළ ගමේ වැඩිහිටි අම්මාවරුන් ම ය. එදා සිරිලක ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් වැඩවලදී ද අපේ අය කයියට වැඩ කළහ. අන්‍යෝන්‍ය ව බැඳෙමින් එකිනෙකාට උපකාරීව තම දිවි පැවැත්වූහ. දුක, කඳුළ, ගැටලුව අභියස නොසැලී අටලෝ දහම ගැන සිතා උපේක්ෂාවෙන් සිත සවිමත් කර ගන්නට අවැසි අයෝමය මානසික පන්නරයෙන් හෙළ බොදු හද සන්තානය සවිමත් වූයේ ය.

කෙනකුගේ ජය, දියුණුව, දැක සතුටු සිත් ඇතිව ඔහුට ඇයට සෙත් පතන්නට ඔබේ හද නැමේ ද, තවකකුගේ හද ගැබ බුර බුරා නඟින සෝ ලතැවුල් මකන්නට කරුණාබර පිය මුදු වදනකට ඔබේ පිවිතුරු හදවත ඔබට විධාන නිකුත් කරයිද? “මට බඩගිනියි, අනේ, අනුකම්පාකර කෑම ටිකක් දෙන්න.” යනුවෙන් පවසන්නට, ඉල්ලන්නට විශ්ව ධර්මයෙන් වරම් නොලද, කළ පව්වලින් අසරණ වූ තිරිසන් සතකුගේ පිපාසයට දිය බිඳක්, කුසගින්නට බත් පිඬක් දිය යුතුය යන සිතිවිල්ලෙන් සරු මහාර්ඝ හදකට ඔබ හිමිකම් කියන්නේ ද?

සැබෑවට ම මෙබඳු ආකාරයෙන් කෙනකුගේ ඇවැතුම් පැවැතුම් පවතී ද? උතුම් සිතුම් පැතුම් ඇති දෙවියන් සදිසි මිනිසුන් වසන මෙවන් තැන මෙලෝ සුරපුරයක් ම යැ. බුදු දහමින් ඔපවත් වූ මිනිස් දිවිය මෙලොව සුරපුරයකට මඟ පාදයි.