Print this Article


අනවශ්‍ය කතාවට ඇයි මෙතරම් කාලයක්

ජීවමාන බුදුරදුන් දකින්න ත්‍රිපිටකය කියවන්න:

අනවශ්‍ය කතාවට ඇයි මෙතරම් කාලයක්

අජාසත්ත රජතුමා ජීවක ඇමතිතුමා ඇතුළු පිරිස සමඟ ජීවක අඹ උයන වෙත ගියහ. අඹ උයනේ දොරටුව ළඟට පැමිණි රජු “ජීවක ඇමැතියනි, ඔබ කීවේ බුදුරදුන් සමඟ එක්දහස් දෙසිය පණහක් භික්ෂූන් වහන්සේ මෙහි වැඩ සිටින බවයි. එසේ කීවාට කිසිම අයෙකු අඹ උයනේ නැති බවයි මට දැනෙන්නේ”යි විමසීය .

“නැහැ රජතුමනි, ඇතුළට ගොස් බලන්න. බුදුරදුන් සමඟ එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු වැඩ සිටිනවා.”

“පුදුමයි, ඇමැතිය, මෙතරම් පිරිසක් ඉඳලත් කතා කරන ශබ්දයත් නැහැ. කහින ශබ්දයක්වත් නැහැ. අඩුතරමේ කිඹිහුමක් යන ශබ්දයක් වත් නැහැනේ. හරිම ආශ්චර්යයක්.”

උයන ඇතුළට ගොස් වටපිටාව බලනවිට එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු තැන් තැන්වල ගස්මුල් ඇසුරු කර ගනිමින් භාවනායෝගී ව වැඩ සිටින බව දැක්කා.

මෙය දුටු රජු කීවේ කුමක් ද? හරිම සිත්කළු, ශාන්ත, නිහඬ දැක්මක් . අනේ මගේ පුතණුවන් ද මෙබඳු ශාන්ත දාන්ත නිහඬ තැනැත්තකු බවට පත්වේවා කියා එතුමා ප්‍රාර්ථනා කළා.

මෙහිදී අප අගයන, වර්ණනා කරන නිහඬතාවය යනු හැමතැනක දී ම නිහඬවීම නොවේ. අවස්ථාව බලා සුදුසු යෝග්‍ය කරුණක දී අදහස් දැක්වීම අවශ්‍ය යි. මෙහිදී ස්ථානය, කාරණය, උචිත බව, ඵලදායිත්වය, අපගේ අවධානයට ලක්විය යුතුයි.

නිහඬවීම යන්නෙන් විශේෂයෙන් අදහස් වන්නේ දෙලොවට ම ප්‍රයෝජනයක් නැති දෙතිස් කතාවලින් වැළකී සිටීම යි. අද සමාජය දෙස බලන්න. මොනතරම් කාලයක් වැඩක් නැති නිෂ්ඵල කතාවලට ගත කරනවා ද ? උදේ සිට රාත්‍රි නින්දට යන තෙක් ගත වූ කාලය දෙස ආපසු හැරී බැලුවහොත් මොනතරම් කාලයක් අනවශ්‍ය කතා වෙනුවෙන් ගතකර ඇත්දැයි ඔබට ම පෙනේවි.

විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ සඳහා යොමුව ඇති කාලය අඩුම මට්ටමක පවතී. උදේ 6 සිට රාත්‍රී 10 දක්වා පැය භාගයෙන් භාගයට ඔබ කළ දේ සටහන් කර වගුවක් ලෙස සකසා බලන්න. එවිට ඔබට ම තේරෙවි කාලය ගත වී ඇත්තේ කුමන ආකාරයකට ද යන්න. කෙතරම් කාලයක් නිකරුණේ වැයකර ඇත්ද, කෙතරම් කාලයක් ප්‍රයෝජනවත් දේට යොදනවාදැයි බලාගත හැකි ය.

මේ වගුව අනුව කාලය ඵලදායි ලෙස යොදාගතහොත් වෙනදාට වඩා දෙගුණයක, තුන් ගුණයක වැඩ සාර්ථක ලෙස නිම කිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

එක් එක් පුද්ගලයන්ගේ අඩුපාඩු, වගතුග, ඇද පළුදු, වංහුං අප මොනතරම් අවුස්සනවා ද? සමහර විට අප අතර ඇත්තේ කතා කිරීමේ සන්දර්ශනයන් ය. අවමඟුල් හා වෙනත් නොයෙක් උත්සවවල දී අනවශ්‍ය ලෙස මොනතරම් කාලයක් අප කතා වෙනුවෙන් වැය කරනවා ද,?

පුද්ගලයාගේ දියුණුවටත්, රටක දියුණුවටත් මූලික ම සාධකය කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම යි. භස්සාරාමතා, ගණ සංඝණිකාරාමතා යනුවෙන් නිතරම කතාවෙහි ඇලී ගැලී සිටීමත්, කණ්ඩායම් වශයෙන් අනවශ්‍ය කතාවල නියුක්තවීමත් භික්ෂුවගේ මූලික අරමුණට බාධාවක් බව බුදුරදුහු පෙන්වා දී තිබෙනවා.

මෙය භික්ෂුවට පමණක් නොව පොදුවේ සෑම දෙනාට ම වැදගත් වනු ඇත. මේ අනුව “නිහඬබව“ නිවැරැදි ව තේරුම් ගෙන අපගේ කාලය අපතේ නො හැර, ජීවිතවල කාර්යක්ෂමතාවය හා ඵලදායිත්වය නංවා ගැනීමට උත්සාහ කළ හොත් හෙට දිනය දියුණු ජාතියක් ලෙස උදම් ඇනිය හැකි මට්ටමට අප පත්වනු ඇත.