Print this Article


සිරිපා පුදබිම හා බැඳුණු විශ්වාස

සිරිපා පුදබිම හා බැඳුණු විශ්වාස

සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොයත් සමඟ ය.

සුමන සමන් දෙවිඳුන්ගේ රැකවරණ පතමින් වන්දනා නඩ වශයෙන් සමනොළ ගිර තරණය කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගන්නේ මෙ කලටයි. තුන්සරණේ කවි ගායනා කරමින්, කට පරිස්සම් කර ගනිමින්, වැරැදි වචන භාවිතයෙන් තොරව, සුදු පි‍රුවට හැඳ පිරිසුදු වී ශ්‍රී පාදය කරුණා කිරීමෙන් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය නො අඩුව ම ලද හැකි බව බෞද්ධයන්ගේ විශ්වාසය යි. එසේ නොවන කල දෙවියන් දඬුවම් පමුණුවන බව ද පැරැන්නෝ පවසති.

සිරිපා සමයේ දී බෞද්ධ සැදැහැවතුන් පමණක් ම නොව හින්දු, කතෝලික හා ඉස්ලාම් බැතිමත් හු ද සමනල ගිර නැරඹීමට මෙන් ම වන්දනා කිරීමට ද එක්වෙති. සමනල කඳු මුදුනේ පිහිටි පාද ලාංඡනය ශිව භක්තිකයින් විසින් ශිව දෙවියන්ගේ යැයි ද විශ්වාස කරනු ලබති. කතෝලික බැතිමත්හු ඒ ආදම්ගේ පා සටහන යැයි ද විශ්වාස කරති. “ආදම්ගේ කන්ද යන අරුතින් “ඇඩම්ස්පීක්” ලෙස හඳුන්වති. විදේශීය බැතිමත්හු ද ශ්‍රී පාද පද්මය වන්දනාවේ යති.

වෙසක් පුර පසළොස්වක පොහොයෙන් පසු කාලය අවාරය යි. එනම් බැතිමතුන් සිරිපා වන්දනාවේ නොයන කාලය යි. මේ කාලය තුළ සිරිපා අඩවියට වැසි ලැබෙන සමයයි. වන්දනාවේ ගිය බැතිමතුන් නිසා අපිරිසුදු වූ සිරිපා අඩවිය ම ඒ මහා වැස්සෙන් සේදී පිරිසුදු වේ. වැසි ලැබ පිරිසුදු වූ පසු කාලය දෙවියන් සිරිපා පද්මය වන්දනා කරන සමය උදාවන බවට විශ්වාසයක් පවතී.

ඒ වගේ ම අලි ඇතුන් සහ අනෙකුත් සත්ත්වයන් ද සිරිපා වන්දනා කිරීමට පැමිණෙන බවට ද විශ්වාස කෙරේ. සිරිපා අඩවිය සුමන සමන් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයෙන් ආරක්ෂා වන බව එදා මෙන් ම අද ද විශ්වාස කෙරේ.

ශ්‍රී පාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටා තිබේ. සමනල කන්ද මීටර 2243 ක් පමණ උස යැයි කියැවේ. ශ්‍රී පාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්තියකින් වට වී ඇත. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග කිහිපයකින් ළඟා විය හැක. රත්නපුර - පලාබද්දල, හැටන් - නල්ලතන්ති, කුරුවිට - එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග ලෙස හැ½දින්විය හැක. මෙම මාර්ග අතරින් රත්නපුර - පලාබද්දල හා හැටන් - නල්ලතන්නි යන මාර්ග වන්දනාකරුවන් අතර වඩා ප්‍රසිද්ධ ය.

මහවැලි, කැලණි, කළු, වලවේ යන සතර මහා ගංගාවන් ද, තවත් කුඩා ප්‍රමාණයේ අතු ගංගා රැසක් ද ඒ ආශ්‍රයෙන් ඇති වු අතිශය රමණීය වූ දිය ඇලි ගණනාවක් ද සිරිපා අඩවිය නිජබිම කරගෙන ගලා හැලෙයි.

එම ජල දහර උපයෝගී කරගෙන ජල විදුලි බලාගාර ද, එම බලාගාර වටා ඇති වූ මහා ව්‍යාපෘති ලෙසට මහවැලි ව්‍යාපාරය ද බිහිවිය. එසේ හෙයින් ශ්‍රී පාදය ආගමික පූජනීය ස්ථානයක් පමණක් ම නොව රටේ ආර්ථිකයට ජීවයක් දුන් ස්ථානයක් ලෙසට ද වැදගත් වේ.

සිරිපා අඩවිය සුමන සමන් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයෙන් ආරක්ෂා වන බව එදා මෙන් ම අද ද විශ්වාස කෙරේ. වර්ෂ 1934 පෙබරවාරි 28 දිනට යෙදුණු නවම් පුර පසළොස්වක දින මහගිරි දඹේ සිට සිරිපා මලුව තෙක් විදුලි ආලෝකය සැපයීම පැමිණ සිටි පිරිස නැඟූ සාධුකාර නාදය මැද විවෘත කරන ලදී.

ඒ අවස්ථාවේ දී සිරිපා මලුවෙන් ෂඩ්’ වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදී ඇත. ඒ වගේ ම හැටන් මාර්ගය ඔස්සේ සිරිපා මලුවට හේවිසි සහිත පෙරහරක් එන හඬක් ඇසී ඇත. එහෙත් එවැන්නක් කිසිවකුගේ ඇස ගැටී නැත. ලක්ෂපාන බලාගාරය සඳහා වූ හෝර්ටන් හි උමඟ තැනීමේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භයත් සමඟ එදා ඇද හැළුණු මහ වර්ෂාවකින් වැඩ බිමෙහි වූ පෙදරේරුවන් සඳහා තනා තිබූ කුඩා මඩු ගැලවී විනාශ වී වතුරට ගසාගෙන ගොස් ඇත.

ඒ අවස්ථාවේ දී වැඩබිමෙහි මූලිකයෝ සමනල අඩවියේ ඇති අදෘශ්‍යමාන බලවේග තේරුම්ගෙන සමන් දෙවියන් උදෙසා පූජා පවත්වා බාර වී පඬුරු වෙන්කොට වැඩ ආරම්භ කළහ. ඒ අනුව එම කටයුත්ත සාර්ථක ව ඉදිරියට කරගෙන යෑමට හැකිවිය. අද ද එම ප්‍රදේශයේ කිසියම් වූ වැදගත් කටයුත්තක නියැ‍‍‍ළෙන්නේ නම්, සමන් දෙවිඳුන්ට පුද පූජා පවත්වා පින්පෙත් දී ම චාරිත්‍රයක් සේ සිදු කරති.

ලක්ෂපාන බලාගාරයේ නිපද වූ ප්‍රථම විදුලි නිෂ්පාදනය ශ්‍රීපාද ස්ථානයට ලබා දෙන ලද දින රාත්‍රී 8.30 ට පමණ අහසෙහි දිස් වූ පූර්ණ චන්ද්‍රයා වට කර ගත් චතුර්විධ වර්ණයෙන් යුත් රේඛා හතරක් දක්නට ලැබී ඇත. ඒ සමඟ ම සිරිපා කඳු මුදුනින් ආලෝක ධාරා විහිදෙන්නට වී ඇත.

එක් දිනක සිරිපාද මලුවේ කාර්යාල‍යේ ඉදිරි පස හිමිදිරි පාන්දර තුනට පමණ විශාල පිපිරුම් හඬක් ඇසී ඇත. මලුවේ සිටි සියලු දෙනා බියටපත් ව ශබ්දය මතු වූ පෙදෙස සෝදිසියට ලක් කළහ. එහෙත් එම පෙදෙසෙහි කිසිදු අමුත්තක් නොවී ය. ශ්‍රී පාදස්ථානාධිපති ව වැඩ සිටි මොරොන්තුඩුවේ නායක හිමියන් අපවත්වී ඇත්තේ ඒ මොහොතේ බැව් පසුව ආරංචි වී ඇත.

මේ ලක්දෙ‍රණේ කිසියම් වූ විශාල ඛේදවාචකයක් ඇතිවන්නට පෙර ශ්‍රී පාද අඩවිය ආශ්‍රිතව පෙර නිමිති නිතර ම සිදු වී ඇති බවට ද සාක්ෂි පවතී.

- දීපා පෙරේරා