[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව් මිනිස් සැප ලැබුණත් විඳීමේ වෙනසක්

දෙව් මිනිස් සැප ලැබුණත් විඳීමේ වෙනසක්

අප දවස ගත කරන විට වැඩි වශයෙන් අපේ කාලය ගත වන්නේ නොයෙක් සිතිවිලිවල පැටලෙමින් ය. මනා සිහියෙන් අප කාලය ගත නොකළ හොත් බොහෝ විට අපේ කාලය ගත වන්නේ අකුසල සිතිවිලිවලින් බර වෙලා.

මේවා කොතෙක් දුරට බලපවත්වනවා ද කියනවා නම් නින්දට වැටී අපේ සිත අරමුණු ගැනීමෙන් තොරව පවත්නා විට අපේ දිවා කාලයේ ඇති වන සිතිවිලි ක්‍රියාත්මක භාවයට පත්වෙලා වගේ දැනුමක් ඇති වන ආකාරයෙන් ඒ යටපත් වූ අකුසල සිතිවිලි ක්‍රියාත්මක වී සමහර විට භයානක සිහින පවා පෙනෙනවා.

ඉතින් ඒ නිසා ජිවිතයේ කල දවස ගත කරන කොට ලැබෙන පරිද්දෙන් සිත පිරිසුදුව පවත්වා ගැනීමට උත්සාහවත් විම වැදගත් වෙනවා.

එයින් අදහස් කරන්නේ සුමනසක් ඇතිව ජීවත් වීම යි. මේක බොහොම දුෂ්කර වැඩක්. මොකද? අපේ සිත හැම තිස්සේ ම දුවන්නේ ආශාව, තරහ, අනුවණකම් කියන මේ සිතිවිලි ඔස්සේ යි. දරුවකුට අප අධ්‍යාපනය ලබා දෙන්නේ මේ තත්වයෙන් මුදවා දරුවා සමාජයට වැඩදායි යහපත් පුරවැසියකු කරන්න ට යි.

ඉතින් මේ කරුණ එසේ වන්නට නම් දරුවාට කල්‍යාණමිත්‍ර සේවනය ලබා දිය යුතු වෙනවා. ඒ තුළින් දහමට යොමු කළ යුතු වෙනවා. එහෙම නම් දරුවා නිරතුරුව ම සමාජයේ සුචරිතයට යොමු වන ආකාරයෙන් දැනුම සංවර්ධනය කරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ ශ්‍රැතවත් බව දියුණු වන ආකාරයෙන් ක්‍රියා කිරීම යි.

ඒ නිසා තමා අපි දරුවා දහම් පාසලට යොමු කළ යුතු වන්නේ. ඉතින් මේ සුමනසක් ඇති වන්නට නිරන්තරයෙන් සත්පුරුෂ ආශ්‍රයෙන්. කල්‍යාණමිත්‍ර සේවනයෙන් මෙන්ම ශ්‍රැතවත්බව දියුණු වන ආකාරයෙන් සද්ධර්ම ශ්‍රවණයට යොමු කිරිමෙන් හා ඒ අනුව ධර්මානුධර්මප්‍රතිපත්ති පිරීමට යොමු කිරීමෙන් සුමනසක් ඇති දරුවෙක් නිර්මාණය කරන්නට හැකියාව ඇති වෙනවා.

මේ ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා සමාජයට යහපත් පුරවැසියෙක් නිර්මාණය වෙනවා. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට, පරිසරයට කිසුදු හානියක් සිදු වන්නේ නැහැ. ඒ අය දෙලොව ම ජය ගන්නවා. සැප සම්පත්වලින් ආඪ්‍ය ජීවිතයක් ගත කර ගැනීමේ ශක්තිය උදා කර ගන්නවා.

අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතර සුමනා සුත්‍රය කියලා දේශනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක කාලයක සුමනා නම් රාජ කුමාරිකාව පන්සියයක් වූ රාජ කුමාරිකාවන් පිරිවරා ගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ජේතවනාරාමයට පැමිණියා. එසේ පැමිණ මෙන්න මෙහෙම කරුණක් ප්‍රකාශ කරනවා.

” ස්වාමීනි, මේ ශාසනයෙහි දායකයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා ම සම වශයෙන් ශීලයෙන් යුක්ත යි. ශ්‍රද්ධාවෙන් යුක්ත යි. ප්‍රඥාවෙන් යුක්ත යි. නමුත් මෙහි වෙනසක් තිබෙනවා. ඒ දෙදෙනා ම මේ විදියට සමව ඒ ගුණයෙන් යුක්ත වුවත් එක දායකයෙක් කිසිවකුට යමක් පරිත්‍යාග කරන්නට, දන් දෙන්නට ඉදිරිපත් වන්නේ නැහැ. අනික් දායකයා ඊට හාත්පසින් ම වෙනස් ආකාරයෙන් දානයට, පරිත්‍යාගයට යොමු වී ඒ කටයුතුවල නිරත වෙනවා. මේ චරිත ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් තිබෙනවා ද?”

කියලා සුමනා කුමරිය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඒ අවස්ථාවේ දී සුමනාවගේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ මේ ආකාරයට යි. ”

කුමාරිකාවනි, දනට පිනට, පරිත්‍යාගයට යොමු වූ අයත්, එසේ දනට පරිත්‍යාගයට යොමු නො වූ අයත් කියන දෙපක්ෂය ම යම් දවසක ශීල, ශ්‍රද්ධා හා ප්‍රඥා කියන මේ ගුණයෙන් මිනිස් ලොවින් ඉවත්ව දෙව්ලොව ඉපදුණත් මේ දෙදෙනා අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. ඒ තමා දිව්‍ය ලෝකයේ උපදින්නේ අර කියපු ශීල, ශ්‍රද්ධා හා ප්‍රඥා කියන මේ ගුණයන් දියුණ කර ගත්ත නිස යි. එහෙම වුණත් ඒ දෙදෙනා අතරින් දනට පිනට පරිත්‍යාගයට යොමු වූ දායකයා එහි විපාක වශයෙන් දිව්‍ය ලෝකයෙහි පහළ වෙලා ඉහළ මට්ටමේ දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, දිව්‍ය සැප, දිව්‍ය යසස, දිව්‍ය ආධිපත්‍යය යන කරුණු පහෙන් ම අදායක වූ පුද්ගලයාට වඩා ඉතා ඉහළ තත්වයක දිව්‍ය සැපතින් ආඪ්‍ය ව ජිවත් වෙනවා. අදායක වූ අය දිව්‍ය ආයුෂ, වර්ණ, සැප, යසස හා ආධිපත්‍යය යන කරුණු පහෙන් ම දුර්වල තත්වයක් දිව්‍ය ලෝකයෙහි ගත කරන්නේ ”

යනුවෙන් බුදුරජාණන් වහන්සේ සුමනා කුමාරිකාවට පිළිතුරු දුන්නා.

ඊ ළඟට සුමනාවගේ ප්‍රශ්නය වූයේ ” එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එය කියන දෙදෙනා ම නැවත මිනිස් ලෝකයෙහි උපන් කාලයක් වන්නේ නම් වෙනසක් පවතිනවා ද” යන්න යි. එයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ එහිදී ත් දනට පිනට පරිත්‍යාගයට යොමු වූ දායකයා අර කියූ ආකාරයෙන් මනුෂ්‍යයන් අතර ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින්, ආධිපත්‍යයෙන් හෙවත් බලයෙන් අදායක අයට වඩා ඔවුන් අභිබවා ඉහළ මට්ටමක සිටින බව.

ඒ වගේ ම ඊ ළඟට මෙම සුමනා කුමාරිකාව අසනවා, ” ස්වාමිනි, බුදුරජාණන් වහන්ස, මේ දෙදෙනා එනම් දායක හා අදායක කියන දෙදෙනා ගිහි ගෙයින් නික්මී සසුන් ගත වෙනවා. එතකොට මෙසේ සසුන් ගත වූ භික්ෂූන් වහන්සේලා දෙදෙන අතර වෙනසක් දකින්නට පුළුවන් ද?” කියන කරුණ.

මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් ලස්සන උත්තරයක් ලබා දෙනවා. ”සුමනාවනි, එහි දී ද වෙනසක් තිබෙනවා. පෙර දානයට පරිත්‍යාගයට යොමු වී ක්‍රියා කළ දායක නම් අය පැවිදි බවට පත් වූ විට ඒ අයට ප්‍රත්‍ය පහසුකම් හොඳට ලැබෙනවා. සිවුරු පිරිකර, ආහාරපාන(පිණ්ඩපාත), පහසුවට සෙනසුන්(ඉඳුම් හිටුම්) බෙහෙත්හේත් කියන මේ ප්‍රතිලාභ කිසිම අඩුවක් නැතිව ලැබෙනවා පමණක් නොව එවැනි දේ පිළිබඳ යදින්නට, ඉල්ලිම් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ.

ඒවගේම තමා එහි අනික් පැත්ත. අදායක තැනැත්තා පැවිදි බවට පත් වුවත් සිව්පසයෙන් නොයෙක් අගහිඟකම් දැනෙනවා. යමක් අවශ්‍ය වෙලා කොච්චර තම පිරිසගෙන් හෝ ඉල්ලා සිටියත් ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන්.”

ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ සුමනා කුමාරිකාව විමසා සිටිනවා ”

"ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මේ කියන දායක හා අදායක දෙපළ පැවිදි වීමෙන් හෝ ගිහි ව සිටීමෙන් අරහත්වයට යම් අවස්ථාවක පත්වෙනවා. එහි දී මේ දෙදෙනා ලබන විමක්ති සුවය අතර වෙනසක් දකින්නට හැකියාව තිබෙනවා ද? ”

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]