වීතරාගී තෙරණියන්ගේ
සුමියුරු උදාන ගීත
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේගේ සදහම් ආලෝකයෙන් භාරතීය කාන්තාවගේ ජීවිතාන්ධකාරය හිරු දුටු
ගනදුරක් සෙයින් එක් පැහැර දුරුවී ගියාක් මෙන් මහ රහත් සංඝමිත්තාවන්ගේ ආගමනයත් සමඟ
ලක්දිව වැසි කාන්තාව උවැසියක, මෙහෙණියක මෙන් ම තෙරණියක වශයෙන් ස්වකීය ආධ්‍යාත්මික
විමුක්තිය සාක්‍ෂාත් කර ගත්තහ.
බ්‍රාහ්මණ ඉගැන්වීම් කේන්ද්‍ර කරගත් භාරතීය සමාජයෙහි කාන්තාව පිළිබඳ ආකල්පය ධනාත්මක
වූවක් නොවීය. ඇය පුරුෂයාගේ වහලියක් මෙන්ම සමාජ වරප්‍රසාද අහිමි තැනැත්තියක් වශයෙන්
කල්ගත කළා ය. කාන්තාවන්ට යම් පමණක හෝ නිදහසක් ලැබුණේ ශ්‍රමණ සම්ප්‍රදාය යටතේ පමණි.
භාරතීය ශ්‍රමණ සම්ප්‍රදායට අයත් බුදු සමයේ කාන්තාව පිළිබඳ ආකල්පය සාකල්‍යයෙන් ම
බ්‍රාහ්මණ ඉගැන්වීම්වලින් වෙනස් වේ.
ආධ්‍යාත්මික විමුක්තිය සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ භාවය කිසිසේත් ම තීරණාත්මක
සාධකයක් කර නොගත්තේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ විමුක්ති දර්ශනය තුළ පමණි. සීල,
සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව පදනම් කරගත් බෞද්ධ විමුක්ති මාර්ගය තුළ ස්ත්‍රී
පුරුෂ දෙදෙනාට ම සම තැන ලැබී තිබේ. එබැවින් විමුක්ති ප්‍රතිපදාව හෝ විමුක්තිය
සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව නොපිළිගනී. එහෙත් භාරතීය සමාජය තුළ ස්ත්‍රීයගේ
ආගමික විමුක්තිය පුරුෂයාගේ ආගමික විමුක්තියෙන් පරිබාහිර බව පිළිගෙන තිබුණි.
එබැවින් ඇයට ආගමික ජීවිතයක් ගත කිරීමට පූර්ණ නිදහසක් නොතිබුණු අතර, ආධ්‍යාත්මික
විමුක්තිය පිළිබඳ අයිතිය පුරුෂාධිපත්‍යයට යටත්කොට පවත්වාගෙන ගියේ ය. මෙම පසුබිම
යටතේ බුදුරජාණන් වහන්සේ කිසිදු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනාට ම
ආධ්‍යාත්මික විමුක්තිය සාක්‍ෂාත් කළ හැකි සදාචාර දර්ශනයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය
යටතේ ඉදිරිපත් කළහ.
එසේම තමන් වහන්සේගේ ශ්‍රාවක සමාජයට කාන්තාවන් ඇතුළත් කර ගැනීම සඳහා භික්‍ෂුණී ශාසනය
පිහිට වූ අතර, ඒ සම්බන්ධයෙන් පැන නැඟුණු සමාජ විරෝධාකල්ප භික්‍ෂුණි සංඝයා උදෙසා
විශේෂ විනය ශික්‍ෂාපද හඳුන්වා දෙමින් පාලනය කළහ.
එබැවින් භික්‍ෂුණී ශාසනය පිහිටුවීමේ දී බුදුරදුන් අනුදැන වදාළ විධි නියමයන් වටහාගත
යුත්තේ එම අවදියේ පැවැති සමාජ තත්වයට සාපේක්‍ෂකව ය. භික්‍ෂුණී ශාසනය පිහිටුවීමෙහිලා
ප්‍රජාපතී ගෝතමී තෙරණිය ප්‍රධාන ශාක්‍ය කාන්තාවන් සිදු කළ පා ගමන භාරතීය සමාජ ආකල්ප
කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකළ බව පැහැදිලි කරුණකි.
භික්‍ෂුණී සසුන ආරම්භ කිරීමත් සමඟම විවිධ සමාජ කණ්ඩායම්වලට අයත් කාන්තාවෝ සම්බුදු
සසුනෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා නොබෝ කලකින් ම විමුක්තිය සාක්‍ෂාත් කළහ.
විමුක්තිය ලද තෙරණිවරු එයින් කොපමණ මානසික සංහිඳියාවක් අත්පත් කර ගත්තේ ද යන්න
ඔවුන්ගේ නිකෙලෙස් භාවගීත ඇතුළත් ථෙරී ගීතාවලියෙන් සනාථ වේ.
මෙම උදානයන් පරීක්‍ෂා කිරීමේ දී කාන්තාවක ලෙස ඇය විඳී අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්
මැනවින් ප්‍රකට වේ. මෙනිසා ලෝක සාහිත්‍යයේ ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ප්‍රකාශන
ඇතුළත් ලොව පැරැණි ම සාහිත්‍ය ලෙස ථෙරීගාථාවලට විශේෂ තැනක් හිමි වේ.
ථෙරීගාථාවල ඇතුළත් වන්නේ වීතරාගී තෙරණිවරුන්ගේ උදානයන් ය.
ඒ අතුරින් මුත්තා තෙරණිය පැවිදි වීම හේතුවෙන් වංගෙඩියෙන් ද, මොහොල් ගසින් ද, තම
කුදු සැමියාගෙන් ද යන ගෘහ ජීවිතය හා බැඳුණු තෙවදෑරුම් කුදයකින් පමණක් නොව ජරා මරණා
දී සංසාර දුකින් ද නිදහස් වූ බව පවසමින් උදන් ඇනුවා ය. ඇගේ උදාන ගීතයෙන් ගෘහ
ජීවිතයේ ඈ ලද කටුක දුක් වේදනා මැනවින් ප්‍රකාශ වේ.
දෑගුල් නුවණැත්තියකැයි අවමන් ලද සෝමා තෙරණිය සම්බුදු සසුනේ පැවිදිව විමුක්තිය
සාක්‍ෂාත් කොට ස්ත්‍රීන්ගේ විමුක්තිය පිළිබඳ සැක පහළ කළ මාර පාක්‍ෂික බලවේග නිහඩ
කරමින් ස්ත්‍රීභාවය කුමක් කරන්නේ ද යැයි උදන් ඇනුවා ය.
අතීතයේ නගර සෝභිනියක වූ විමලා තෙරණිය තමා පෙර කාමයෙන් මත්ව හැසිරුණු අයුරු හා එයින්
මිදී මෙහෙණියක වී කාම ගින්නෙන් නිවී සැනසුණ අයුරු උද්දාමයෙන් ප්‍රකාශ කරන්නී ය.
අතීතයේ නගර සෝභිනියක් ව සිට පැවිදි වූ අම්බපාලී තෙරණියගේ උදාන ගීතය සිත් ගන්නා සුළු
ය. තරුණ වියෙහි පැවති තම රූ සපුව හා වර්තමානයේ වියපත් වූ විට පවතින රූපයෙහි විරූපී
බව සසඳමින් කළ උදාන ගීතය රූපයෙහි අනිත්‍යතාව මැනැවින් කියාපායි. තරුණ මදයෙන් මත්ව
කටයුතු කරන්නකුට එම උදාන ගීතය කියැවීමෙන් ජීවිතාවබෝධය ලැබිය හැකි ය.
මහලු වියට පත් කාන්තාවගේ ජීවිතයේ පවතින අනාරක්‍ෂිත බව චන්ද්‍රා ථෙරීගාථාවෙන් ප්‍රකට
වේ. චන්ද්‍ර තෙරණිය මහලු වියෙහි තම ස්වාමියා දරුවන් හා ඥාතීන්ගේ සැලකිල්ලක් නොල ද
සත් වසක් සිඟමන් යදිමින් ගෙන් ගෙට ඇවිද ගියා ය.
පසු කලෙක පටාචාරා තෙරණිය හමුවට පැමිණ පැවිද්ද ලබා විදසුන් නුවණ වඩා ත්‍රිවිද්‍යාපත්
තෙරණියක් බවට පත්ව සිය ආධ්‍යාත්මික ශාන්තිය අත්පත් කර ගනිමින් උදන් ඇනීය.
තම දරුවන් අහිමිවීම මවකට දැරිය නොහැකි වේදනාවකි. වසෙට්ඨි තෙරණිය පෙර තමන්ගේ එකම
පුතු අහිමිවීමෙන් සිහි මුළාවට පත්ව තැනින් තැන ඇවිද යමින් පිස්සියක මෙන් වසර තුනක්
කල් ගත කළා ය.
අනතුරුව මියුලු නුවර දී බුදුරදුන්ගෙන් බණ අසා පැවිදි ව සම්බුදු සසුනේ සැනසුණ අයුරු
ඇගේ උදාන ගීතයෙන් පැහැදිලි වේ.
සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රාවිකා පදවිය දැරූ උප්පල වන්නා තෙරණියගේ උදානයෙන් කාම ලෝකයේ
තිබෙන යතා ස්වභාවය ගැඹුරින් විවරණය වේ.
මොනයම් හේතුවක් නිසා ඇයත්, ඇගේ දියණියත් එකම පුරුෂයකුට බිරින්දෑ වූවා ය. මෙය දැනගත්
කල්හී කාමයෙහි කළකිරුණු ඇය සම්බුදු සසුනේ පැවිද්ද ලබා විමුක්ති සුවය වින්දනය කළා ය.
කාමරාගයේ අතිශය පිළිකුල් බවත්, සංකීර්ණ බවත් ඇගේ උදාන ගාථාවලින් පැහැදිලි වේ.
මේ නිදසුන් කිහිපයෙන් වුව භාරතීය කාන්තාවගේ ජීවිතයේ අඳුරු පැතිකඩ මැනවින් හඳුනාගත
හැකි ය. සම්බුදු සසුනේ පැවිදි වූ කාන්තාවෝ විවිධ සමාජ පන්තිවලට අයත් වූවෝ වෙති.
ඔවුන්ගේ උදාන මඟත් ඔවුන් ලද කටුක දුක්ඛ දෝමනස්සයන් මෙන් ම සමාජ අවමාන, නින්දා අපහාස
හා මහලු වියෙහි මුහුණ දීමට සිදුවූ විවිධ නොසලකා හැරීම් මෙන් ම කාන්තාවට සමාජයේ
පැවතී අනාරක්‍ෂිත බව ගැඹුරින් අනාවරණය කර ගත හැකි ය.
ඇතැම් රහත් තෙරණිවරු ධර්මාවබෝධයෙන් අනතුරුව සම්බුදු දහම ව්‍යාප්තියෙහිලා කළ මහඟු
මෙහෙවර විශාඛා උපාසක විසින් අසන ලද ප්‍රශ්නවලට ධම්මදින්නා තෙරණිය විසින් ලබා දෙන ලද
ගැඹුරු පිළිතුරු ඇතුළත් චුල්ලවේදල්ල සූත්‍රයෙන් පැහැදිලි වේ. එසේම ලක්දිව භික්‍ෂුණී
සසුන පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ සංඝමිත්තා රහත් තෙරණිය ලක්දිව කාන්තාව වෙනුවෙන් කළ
සේවය උදාර ය. චීනයට භික්‍ෂුණී ශාසනය රැගෙන ගිය දේවසාරා තෙරණිය නිසා එය අදටත්
ජීවමානව පවතී.
මෙම පසුබිම යටතේ සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවුණු මෙම තෙරණිවරුන්ගේ සේවය
සදානුස්මරණීය වේ. ඔවුන්ගේ උදාන ගීත ඇතුළත් ථෙරී ගී කියැවීමෙන් ඔවුන් ලද ආධ්‍යාත්මික
විමුක්තියේ ස්වාභාවය මැනවින් වටහාගත හැකි ය. |