සිරිමහ බෝ සමිඳු වැඩම කරවූ
අසිරිමත්
උඳුවප් පොහොය
ඌරුගමුවේ අස්සජී හිමි
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩම කරවීමත්,
සිරිලක භික්ෂුණී සමාජය ආරම්භවීමත්, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ ව
පවත්නා ඓතිහාසික සිදුවීම් ය.
දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා විසින් සිරිලක
දඹකොළ පටුනට වැඩම කරවන ලද බෝධීන් වහන්සේ භාර කෙරුණේ දේවානම්පියතිස්ස රජු වෙත ය.
දේවානම්පියතිස්ස රජු පෙර ගමන් කොට කර වටක් දියට බැස හිස මුදුනෙහි තබා ගත් බෝධීන්
වහන්සේට ලක්දිව රාජ්‍යය තුන්වරක් පූජා කළේ ය. ඉක්බිතිව අනුබුදු මිහිඳු මහ රහතන්
වහන්සේ ද, සංඝමිත්තා මහ රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය
රජ දරුවෝ ද තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙළින් පූජා පැවැත්වූ බව සිංහල බෝධි වංසයෙහි
දැක්වෙයි.
ඉක්බිතිව බෝධීන් වහන්සේ අත්‍යාලංකාරයෙන් සකස් කළ රථයක් මත තැන්පත් කොට දඹකොළ
පටුනෙන් පිටත්වූ මහ පෙරහර මඟ දිගට පුද සත්කාර පවත්වමින් ඉදිරියට ගමන් ගත්තේ ය.
අතරමඟ නාගදීපයෙහිත්, තිවක්ක බමුණාගේ ගමෙහිත් පුද සත්කාර පිණිස පෙරහර නතර කරවූ බව ද
මහාවංසය සහ බෝධිවංසය තුළ සඳහන් ව තිබේ. බෝධින් වහන්සේ රෝපණය කළේ මහමෙව්නා උයනෙහි
සකස් කළ උස් භූමියක ය. මේ සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද,
තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූහ. ඒ අනුව ලක්දිව සියලුම ප්‍රභූ ජන නායකයන් ගේ
සහභාගිත්වයෙන් ජාතික මහෝත්සවයක් ලෙස බෝධි රෝපණය සිදු කොට ඇති බව පැහැදිලි ය. සතියක්
පුරාම පැවැති මෙම උත්සවයේ දී නගර වාසීන් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල
බෝධිවංසයෙහි දැක්වෙයි.
පුද පූජා රැසක්
මෙම ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා පටන් ඒ හා සම්බන්ධ ව විවිධාකාර වූ පුද පූජා
රැසක් ආරම්භ වුණි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විශාල වියදමක් දරා අසිරිමත්
මහා බෝධි පූජාවක් සිදු කළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වේ. භාතිකාභය රජු
බෙහෙවින් සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා බෝධි සිනාන
පූජා” යන වචනය මහාවංසයෙහි යොදා තිබේ. එම වචනයෙහි අර්ථය අනුව මෙය බෝධිය නෑවීමක් හෝ
බෝධියට ජලය ඉසීමක් විය හැකි ය.
ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිදුකළ ආකාරයේ අසිරිමත් බෝධි
පූජා පෙරහරක් ද, බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ
නොකොට බෝධිපූජා පැවැත්වී ය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු
අසිරිමත් බෝධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද දෙටුතිස් රජු ද
තවත් එවැනි ම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූහ. ඪම වන මහින්ද රජු බෝ ගෙයක් ඉදි
කිරීමට ගිය අවස්ථාවක දී බෝ අත්තක් කැඩී යාම නිසා ද මහා බෝධි පූජාවක් සිදු කළේ ය.
මිහින්තලයේ සිට මිහිඳු ප්‍රතිමාවක් අනුරාධපුරයට වැඩමවාගෙන ගොස් එය එක්තරා විශේෂ
ගෘහයක් තුළ තැන්පත් කොට පසුව මහ බෝ මලුවට වැඩමවා ගෙන අවුත් තෙමසක් මුළුල්ලේ පුද
පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක් ද එකල පැවතුණි.
භික්ෂුණී සමාජය
සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය
හා සම්බන්ධ ව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට සැපත්වීමෙන්
පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර
ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
දීපවංසයෙහි සඳහන් පරිදි අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමා, ධම්මපාලා, මහිලා,
සණ්හා, කාලි, උත්තරාධම්මා සහ සෝභනා යන කාන්තාවෝ සිටියහ . දේවානම්පියතිස්ස රජු
විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත්
ගොඩනැඟිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි.
එය භික්ෂුණීන් වහන්සේලා ගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එහි ම වාසය
කළා ය.
මාර්ගඵල ලැබූ භික්ෂුණීන් වහන්සේ
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වු ආකාරයත්, කෙටි
කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරීගිය ආකාරයත්. ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි
වෙයි. එහෙත් උත්තිය රජු ගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් නව වන වසරේ දී සංඝමිත්තා
තෙරණිය ගේ පරිනිර්වාණයත් සමඟම එහි පරිහාණියක් දක්නට ලැබෙයි. දුටුගැමුණු රාජ්‍ය සමය
මෙරට භික්ෂුණී සමාජයේ දීප්තිමත් යුගයක් විය. මහාථූප පූජෝත්සවයට දඹදිවින් වැඩම වූ
පියදස්සි නම් රහතන් වහන්සේ දේශනා කළ ධර්මය අසා මාර්ගඵල ලැබූවන් අතර භික්ෂුණීන්
විශාල පිරිසක් සිටි බව මහාවංසය හෙළි කරයි.
ලාංකික භික්ෂුණීන් අධ්‍යාපනික කටයුතුවල සේ ම සමාජ සේවාවන් හි ද නිරත වූ බවට ඉතිහාසය
සාක්ෂි දරයි. ඔවුනගේ සේවාවන් මෙරටට පමණක් සීමා නොවී ය. 5 වන සියවසේ දී මහානාම රජ
දවස චීනයේ භික්ෂුණී සමාජය පිහිටවූයේ ලංකාවෙන් චීනයට වැඩම වූ දේවසාර භික්ෂුණීය
ප්‍රමුඛ දූත කණ්ඩායමයි. අනුරාධපුර යුගයේ මෙරට භික්ෂුණී සමාජය කෙතරම් දියුණුව
පැවතියේ ද යන්න එමඟින් පැහැදිලි ය.
ධර්මාශෝක යුගයෙන් පසු දඹදිව භික්ෂුණී සමාජය පිරිහී ගිය ද ලක්දිව එය දිගින් දිගටම
ව්‍යාප්ත වුණි. එහෙත් අනුරාධපුර යුගයේ පරිහාණියත් සමඟ ම අනුක්‍රමයෙන් භික්ෂුණි
සමාජය ද පිරිහීමට පටන් ගත්තේ ය. පොළොන්නරු යුගයේ මුල් භාගය වන විට එය මුලුමනින්ම
අභාවයට ගියේ ය. පෙර භික්ෂුණී සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා “දසසිල් මාතා
සංවිධානය” ක්‍රමානුකූලව සකස් කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන්
බෙහෙවින් ම යෝග්‍ය වන්නේ ය. |