Print this Article


කෙළවරක් නැති ඉවසීමෙන් මකෝපය කෙළවර කරන්න

කෙළවරක් නැති ඉවසීමෙන් මකෝපය කෙළවර කරන්න

" කේන්තිය, කෝපය, තරහව නම් වූ මේ නරක ස්වභාවය තුළින් ඇතැමුන් සමස්ත ජීවිතයම අඳුරු කරගත් අවස්ථා සමාජය තුළ බහුලව දක්නට ලැබේ. තවත් සමහරු තම ජීවිතයට ආලෝකයක් වීමට සිටි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් සදහටම නැති කර ගන්නේ කෝපයේ ප්‍රතිඵලයක් හැටියට ය."

ක්‍රෝධය, කේන්තිය, කෝපය, තරහව යන මේවා මානව චිත්ත සන්තානයේ ඇතිවන එකම සංසිද්ධියක් හැඳීන්වීමට යොදන සිංහල භාෂාවේ වචන වේ. ක්‍රෝධය යනු සංස්කෘත වචනයකි. සංස්කෘත සිංහලයේ මූල භාෂාවකි. එනිසා සිංහලය තුළ ක්‍රෝධය යන වචනය එ ලෙසින් ම භාවිත වන අතර කෝපය යනුවෙන් එය සිංහලයට පරිණාමය වී තිබේ. එහෙත් ක්‍රෝධය යන වචනය ශුද්ධ සිංහල වචනයක් තරමටම නූතන සිංහලයේ භාවිත වේ. කෙසේ වුව ද මේ වචන සමූහයෙන් හඳුන්වන සංසිද්ධිය මානව වර්ගයාට පමණක් නොව අනෙකුත් ප්‍රාණි සත්ත්ව සමුහයාට ම ඇතිවන්නා වූ අභාග්‍ය සම්පන්න සංසිද්ධියක් බව මෙහිලා සඳහන් කළ යුතු වේ.

කේන්තිය, කෝපය, තරහව නම් වූ මේ නරක ස්වභාවය තුළින් ඇතැමුන් තම සමස්ත ජීවිතයම අඳුරු කරගත් අවස්ථා සමාජය තුළ බහුලව දක්නට ලැබේ. තවත් සමහරු තම ජීවිතයට ආලෝකයක් වීමට සිටි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් සදහටම නැති කර ගන්නේ කෝපයේ ප්‍රතිඵලයක් හැටියට ය.

කෝපය නිසාවෙන් තවත් සමහරු තමාට ප්‍රවේණියෙන් උරුම වූ වස්තුව සහ දේපළ අහිමි කරගත් අවස්ථා ද බොහෝ ය. තවත් පිරිසක් සමස්ත ජීවතය ම සිපිරි ගෙට සිරකර තබන්නේ ද ඉක්මන් කෝපයේ අනුහසිනි. අකල් සියදිවි හානියට ද කෝපයම ඉවහල් වන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව මෙකි නොකී සියලු අනපේක්ෂිත අවුල් ජාලාවට හේතුව කෝපය යි.

එදා මෙදා තුර කෝපය තමා සතු දෑ තමාට අහිමි කළා මිස කෝපයෙන්, කේන්තියෙන්, තරහවෙන් ලැබුණ යහපත් දෙයක් මෙලොව නැත.

එනිසා මේ නරක නපුරු අයහපත් ස්වභාවය (ක්‍රෝධය, කෝපය, කේන්තිය) මිනිස් සිතෙන් දුරින්ම දුරු කිරීම සෑම අතින් ම ප්‍රයෝජනවත් වේ. ඊට හේතුව නම් කේන්තිය නිසා ඇති සියල්ල නැතිවුණා මිස ලද දෙයක් නැති හෙයිනි.

යමකු කෝපයට පත්වූවිට එ සැණින් තම සිරුර වෙනස් වේ. කෝපය නිසා දාඩියෙන් ගත තෙත් වන්නේ ය. අතපය වෙවුලයි. තොලකට වේළී, ඇස් අඳුරු වී, පැහැපත් මූණ රෞද්‍ර භාවයට පත්වේ. කෝපාවිෂ්ඨයාගේ ලේ ගමන වේගවත් වෙමින් සමස්ත සිරුර අප්‍රසන්න ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. නිසල සිත සසල වේ. කේන්තියෙන් ගැවසීගත් සිතක සිතිවිලි නිරන්තරයෙන් නරක ය. නපුරු ය.

කේන්තිය නැමැති දරුණු හලාහල විෂ සහිත සිතිවිලි ම පමණක් කෝපයට පත් සිතකින් පිටවේ. කේන්තිය නිසාවෙන් වේගවත් ව ගමන් කරන රුධිරය ශරීර සෞඛ්‍යයට කරන හානිය සුලුපටු නැත. එසේම කෝප ගින්නෙන් යුතු සිතිවිලි අවට පරිසරයේ සුන්දරත්වය නසමින්, අශෝභන අසුන්දර පරිසරයක් නිරන්තරයෙන් ඇතිකරනු නියත ය. එය පාරිසරික ශුද්ධවන්තභාවයට නිතැතින් බලපානු ලැබේ. අසුන්දර අශෝභන, කෝපාවිෂ්ඨ වදන් අමනුෂ්‍ය බලවේගයන්ට ද නොදැන කරනු ලබන ආරාධනාවක් වන්නේ ය. දෙවි මිනිසුන්ට ප්‍රිය වන්නේ සොඳුරු පරිසරය යි.

කෝපය ඉහවහා ගිය සිතකින් පිටවන වචන ලෙන්ගතු, ළගන්නා සුලු වචන නොවේ. ඒවා අමිහිරි ය. හිරිකිත ය. චණ්ඩ ය. පරුෂ ය. අසන්නාගේ අප්‍රසාදයටත්, පිළිකුලටත් ලක්වේ. කෙසේවුව ද එලෙස නරක, නපුරු, කුරිරු, දුෂ්ඨ වචන යමකුගෙන් පිටවන්නේ කෝපය කේන්තිය නිසාවෙනි.

මනෝවිද්‍යාව තුළ කේන්තිය, කෝපය, තරහව හඳුන්වන්නේ සාමාන්‍ය පොදු මානව සංසිද්ධියක් ලෙසිනි. එය සියලු මානවයන්ට සාධාරණ පොදු කාරණයක් බව කියැවේ. තව ද කෝපයෙහි අධිකභාවය මානසික රෝගයක් බවත්, එය සංසිඳුවීම පිණිස මනෝවිද්‍යාත්මක විධික්‍රමත්, ඇතැම්විට බෙහෙත් වර්ගත් නිර්දේශ කරනු ලැබේ.

එහෙත් බුදුදහම තුළ කෝපය දුරින්ම දුරු කළ යුතු අකුසල ධර්මයක් ලෙස දක්වා තිබේ. කෝපය නැමැති අකුසල ධර්මයට පාදක වන මූල සාධක තුනකි. ඒවා ලෝභ ද්වේෂ මෝහ යනුවෙන් හැඳීන්වේ. යමෙක් ලෝභය නිසා හෝ ද්වේෂය නිසා හෝ මෝහය හෝ ඇතැම්විට මේ තුනම නිසා කෝපයට පත්විය හැක.

ලෝභ ද්වේෂ මෝහ මුලිනුපුටා දැමූවිට සසර ගමන නවතින නිවනට ප්‍රවේශ වෙන බව බුදු දහමේ ඉගැන්වීමයි. එලෙස නිවනට පත් උතුමන්ට කෝපයක් තරහක් කේන්තියක් ඇති නොවේ. එහෙත් නිවන් දකින තුරු කෝපය, කේන්තිය, තරහව පුහුදුන් අපෙන් තුරන් නොවේ. නමුත් නිවන් දකින තුරු කෝපය කේන්තිය තරහව පාලනය කර ගන්නට හෝ නැත්තට ම නැති කර ගන්නට ශාන්ති නායක බුදුපියාණන් වහන්සේගේ වචනය මඟ පෙන්වයි.

අප නිතර භාවිත කරන මංගල සුත්‍රයෙහි උතුම් මංගල කාරණයක් ලෙස ‘ඛන්ති’ එනම් ‘ඉවසීම’ දක්වා තිබේ. කේන්තියට කෝපයට, තරහවට ඇති එකම විසඳුම ඉවසීමයි. අධික කේන්තිය ඉවසීමෙන් පාලනය කිරීමටත් , නැත්තටම නැති කිරීමටත් හැකි වේ. මෙලොව ඉවසීමට සීමාවක් නැත. ඉවසලා ඉවසලා බැරිම තැනත් කළයුත ªම දේ ඉවසීමයි. එනිසා ඉවසීමෙහි සීමාවක් නැත. එය සැබැවින් ම අසීමිත ය.

කෙළවරක් නැති සීමාවක් නැති ඉවසීමෙන් ම කේන්තිය කෝපය තුරන් කළ යුතු ය.

බුදු වදනට අනුව කේන්තිය ජයගත හැක. ක්‍රෝධය ඉවසීමෙන් අක්‍රෝධයට හැරේ. එකී අක්‍රෝධයෙන් සමස්ත ජීවිතය අවුලෙන් අවුලට පත්කරන ක්‍රෝධය, පරාජය කළ හැකි බව ‘අක්කෝධේන ජිනේ කෝධං’ යන උතුම් බුද්ධ භාෂිතයෙන් ද මොනවට පසක් වේ.