Print this Article


සුචරිතය කවදත් මී සේ මිහිරි වේ

සුචරිතය කවදත් මී සේ මිහිරි වේ

තිලොවග මුනිවර වූ ගොයුම්ගොත් සිරි සිදුහත් මුනිරාජාණෝ මිහිපිට වැඩ සිටි අසමසම ගුණවතාණෝ වූහ. කල්ප ගණනක් පුරාවට සුචරිතයේ පුහුණු කළ ඒ පින්බර හදමඬල තුළින් පැතිර නැඟුණ ආනන්දනීය ගුණ සිලිලාරයෙන් පුස්නා ලද අපමණ අසරණ දෙව් මිනිස් බ්‍රහ්මාදීහු බුත්සරණ ලබා අස්වැසිල්ලෙහි උපරිමය වූ නිවන්පුර වැද සැනසුම් ලැබූහ.

සත්වගට අමා සෙත සැදු ඒ බුදුරජුන්ගේ අනන්ත ඤාණයෙන් විදිත දහම් පර්යායන් අතර දුසිරිතෙහි ආදීනවත් , සුසිරිතෙහි ආනිසංසත් විදහාලන ධර්ම විවරණයන් තෙවලා බණ පොතෙහි නන් ලෙසින් පළ වේ.

මනු ලොව එළිය දුටු ඔබ අවම වශයෙන් පෙනෙන මානයේවත් පිහිටා විමසන්නෙක් වේ නම්, ඇතැම් පුද්ගලයකු මව් කුසේ දී ම මියැදෙන ආකාරයත්, තවත් අයකු උපන් ඇසිල්ලේ මියැදෙන ආකාරයත්, තවත් අයකු වැලිකෙළියේදීත්, යොවුන් වියේදීත් , මැදි වියේදීත්, වයස්ගත වීත් මියැදෙන ආකාරයත් විද්‍යමාන වේ. එහෙත් එසේ වන්නට හේතුව කුමක්දැයි ඔබ සිතා තිබේද?

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන සේක් යමකු අඩු වයසින් මියැදේ නම් නියමිත ආයු ශ්‍රී භුක්ති නොවිඳී නම් ඔහු පෙර සංසාරික ජීවිතයේ දී ප්‍රාණඝාත අකුසලය හා සත්ත්ව හිංසනය කළ අයෙකි. එහි අවම විපාකය මිනිස් ලොව අඩු වයසින් මියැදීම යි. උපරිම විපාකය නිරයගාමී වීම යි. ප්‍රාණඝාතකයා නිරයේ වැටී දුක් විඳ එහි අවශේෂ විපාක වාර විඳින විට බොහෝ වාරයන්හි දී අඩු වයසින් මියැදෙන්නට සිදු වේ. ඒ අනුව යමකු දිගාසිරි විඳී නම්, ඔහු ප්‍රාණඝාතයෙන් හා සත්ත්ව හිංසනයෙන් වැළකී සිටි අයෙකි. ඔබත් නිවන් දක්නා ජාති දක්වා දිගාසිරි ඇති ජීවිත බලාපොරොත්තු වේ නම් ප්‍රාණඝාතයෙන් හා සත්ත්ව හිංසනයෙන් වෙන් වීම මැනවි.

මෙලොව බොහෝ දෙනා මුහුණ දෙන තවත් එක් විපතක් නම් භෝග ව්‍යසනය යි. එනම් තමා සතු ධන ධාන්‍යාදිය නොසිතු මොහොතක සොර බිය, ජල බිය, ගිනි බිය ආදියෙන් විනාශ වීම යි. එය සොරකම නමැති අකුසලයට ලැබෙන අවම විපාකය යි. නිරයගාමී වීම උපරිම විපාක ය යි. කැමැත්තෙන් නුදුන් කිසිවක් වෙත තෘෂ්ණා බන්ධනයෙන් යුතුව පිළිපදින්නාට ජාති ජාතීන්හි තමා සතු වස්තු සම්පත්, තනතුරු, ස්වාමි භාර්යාවරුන්, දූ දරු ආදීන් නොසිතූ මොහොතක අහිමි වීමේ දුකට මුහුණපාන්නට සිදු වේ. ඒ අනුව මෙලොව යමකුගේ වස්තු සම්පත් ආදිය කිසිවකුටත් නොසෙල්විය හැකි ආකාරයෙන් ආරක්ෂා වී තිබේ නම්, ඔහු පෙර භවයන්හි සොරකම නමැති හීන ක්‍රියාවෙන් වෙන් වී සුචරිත සම්පාදනයෙහි යුක්ත වු අයෙකි.

උපන් මිනිසාට බොහෝ සතුරන් ඇති බව මහත් දුකකි. එහෙත් ඊට හේතුව කුමක්දැයි කිසිවකුත් හරිහැටි නොදනී. තථාගත ධර්මයට අනුව පෙර භවයන්හි වැරැදි කාමසේවනය හෙවත් පරඹුවන් හෝ පරපුරුෂයන් කරා යාමෙහි අවම විපාකය වශයෙන් එකී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. වැරැදි කාම සේවනයෙහි උපරිම විපාකය අනේකවර නිරයගාමී වීම යි. අවශේෂ විපාකයන්ට මුහුණ දිමේදී මනු ලොව උපන් අයකුට බොහෝ සතුරන් ඇති වේ. එහෙත් මෙලොව යමෙකුට අතිශයින් විශ්වසනීය අඹුදරුවන්, ඤාති හිතවතුන් වේ නම් ඔහු පෙර සසර ගමනේ දී වැරැදි කාම සේවනය නොකළ අයෙකි.

අභූත චෝදනාවන්ට මුහුණ පෑමට සිදුවීම ද උපන් මිනිසාට මුහුණ දීමට සිදුවන තවත් එක් විපතකි. එහෙත් එය පෙර සසර ගමනේ දී සිදු වූ මුසාවාද අකුසලයට ලැබෙන අවම විපාකයක් බව බොහෝ දෙනා නොදනිති. බොරු කීමට ලැබෙන බරපතලම විපාකය නිරයගාමී වීමයි. සත්‍ය වචන හා හැසිරීම් ඇතිව මෙලොව විසූ පුද්ගලයා නිවන් දක්නා තුරුම අභූත චෝදනාවන්ට හසු නොවේ. ඔහුගේ වචනය ආදරයෙන් පිළිගන්නේ ද වේ.

මිතුරන් අතර භේදභින්න වීමට මුහුණ නොදුන් අයකු වත්මන් ජන සමාජයේ නොමැති තරම් ය. එහෙත් එසේ වන්නේ ඇයි දැයි බොහෝ දෙනා හරිහැටි නොදනී. පුද්ගලයකු පෙර භව ගමනේ දී කේලාම් කියා හිතවතුන් අතර විරසකයන් ඇතිකර තිබේ නම් ඔහුට ලැබෙන අවම විපාකය මිත්‍ර භේදයට මුහුණ දීමට සිදුවීම යි. උපරිම විපාකය නිරයේ වැටීම යි. සමගිව වෙසෙන කවුරුන් හෝ බිඳවන අදහසින් ඔවුනොවුන්ට කේලාම් කීම තුළින් සිදුවන පාප කර්මය හේතුවෙන් පුද්ගලයන් බොහෝ සෙයින් මරණින් මතු නිරයේ පතිත වේ. අවුරුදු කෝටි ගණන් නිරා දුක් විඳ යළි මිනිසත් බවක් ලද පසු කුඩා කල පටන්ම තමාගේ මිතුරන් තමා හා විරසක වේ. විවාහ ජීවිත අසාර්ථක වේ. දැඩි මිතුරන් දැඩි සතුරන් බවට පත් වේ. වැදූ මව පවා සැතිරියක් වන්නේ කේලාම් කීමේ විපාක වශයෙනි. තමා ඇසුරු කරන සියල්ලන්ම අසීමිත ලෙස තමාට ආදරය සෙනෙහස දක්වයි නම්, ඒ අනෙකක් නිසා නොව ඔහු හෝ ඇය සසර ගමනේ දී කේලමින් වැළකී භේදභින්න වූවන් සමඟි කිරීමෙහි ආනිසංස වශයෙනි.

නිරන්තරයෙන් ම බැණුම් අසන පුද්ගලයන් ජන සමාජයේ සුලභ වේ. අසභ්‍ය වචනවලින් බැණුම් අසන්නට සිදුවන්නේ පෙර සසර ගමනේ පරුෂ වචන කථා කළ අකුසලයේ අවම විපාක වශයෙනි. එහි උපරිම විපාකය නිරයගාමී වීම යි. කෙතරම් හොඳ කළත් බැණුම් අසන්නට වේ යැයි මැසිවිලි නඟන ඇත්තන් මෙ කරුණ සිතට ගත යුතු ය.

තමා පෙර භව ගමනේ දී අසභ්‍ය හා පරුෂ වචනයන්ගෙන් අන්‍යයන්ට ගර්හා කර තිබේ නම්, උපවාද කර තිබේ නම් ඔහුට හිමි වන අවම විපාකය ලෙස යන යන තැන නිවැරැද්දේ පවා බැණුම් අසන්නට සිදුවීම පෙන්විය හැකි ය. එමෙන්ම මෙලොව ඇතමකුගේ ගුණ කීර්තනය කනින් කන ඇසේ නම් ඔහු පෙර ජාතීන්හි පි‍්‍රයමනාප වචනයෙන් අන්‍යයන් ආමන්ත්‍රණය කළ අයෙකි. අර්ථවත් හා නිධානවත් වචන කථා කළ අයෙකි.

මෙලොව ඇතමකුගේ ප්‍රකාශයන් සත්‍ය වුව ද, කිසිවකුත් නොපිළිගන්නා අවස්ථා දක්නා ලැබේ. පෙර භවගමනේ දී සිදු කළ කිසිම ප්‍රයෝජනයක් නොමැති හිස් කථාවන්ට උපරිම විපාකය ලෙස නිරයගාමී වන්නට ද අවශේෂ විපාකය ලෙස තමා කියන දේ කෙතරම් සත්‍ය වුව ද අන්‍යයන් විසින් ලඝුකොට බැහැර කිරීමේ අවස්ථාවන්ට නොයෙක් විට මුහුණ දීමට සිදුවේ. සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නේ නමුදු නඩුහබ ආදියෙන් අයුක්තිය ජය ගන්නේ හිස් වචන කීමේ ආදීනවයක් ලෙසිනි. එමෙන්ම ඇතැම්හු කියන දේ අසත්‍යයක් වුව ද බොහෝ දෙනා එය සත්‍යයක් ලෙස ගන්නේ පෙර භව ගමනේ දී හිස් වචන කථා නොකිරීමේ ආනිසංසයක් වශයෙනි.

එමෙන් ම සිහිකල්පනාවෙන් තොර වු උමතු පුද්ගලයන් ජන සමාජයේ ජීවත්වනු දක්නා ලැබේ. පෙර භව ගමනේ දී මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමේ අවම විපාක වශයෙන් එවන් තත්වයන්ට පත්වේ. මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ පාපයට ලැබෙන උපරිම විපාකය නිරයගාමී වීම යි. සිහි නුවණ නොමැති, උමතු වී ගිය මිනිසත් භාවය තිරිසන් ජීවිතයකටත් වඩා අසරණ භාවයකි. මත්වතුර, මත්කුඩු ආදි මොන යම් හෝ මත්ද්‍රව්‍යයක් අංශු මාත්‍ර වශයෙන් හෝ භාවිත කරයි නම් එවැන්නන්ට මරණින් මතු නිරාදුක් හිමි වේ. අවශේෂ විපාකයන් ලෙස නොයෙක් ජාති සිය ගණන් පිස්සන් බවට පත් වේ. එහෙත් යමකු එම ළාමක හැසිරීමෙන් වෙන්ව වාසය කරයි නම් ඔහු ජාති ජාතීත් ඤාණවන්තයෙකු වේ.

සුචරිතයේ හා දුස්චරිතයෙහි විපාකයන් මනාව හඳුනා අංශු මාත්‍ර වූ ද කාය, වාග්, මනෝ දුසිරිතක් වේ නම් එය අප්‍රමාදීව දුරු කරමින් , කුඩා වූත්, සුචරිතයක් වේ නම් එය අභිවර්ධනය කරමින් යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වන්න.