Print this Article


ජීවමාන බුදුරදුන් දකින්න ත්‍රිපිටකය කියවන්න

ජීවමාන බුදුරදුන් දකින්න ත්‍රිපිටකය කියවන්න

" පණ්ඩිත ජවහර් ලාල් නේරුතුමා ලංකාවට පැමිණි අවස්ථාවක එතුමා පිළිගැනීමේ උත්සවයක් පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ දී පවත්වා ඇත. එහිදී එතුමා විද්වත් පිරිස ඉදිරිපිට දේශනයක් පැවැත්වූ අතර, එහිදී එතුමා ම ප්‍රශ්නයක් මතුකර එයට පිළිතුරක් ද එතුමා විසින් සපයන ලදී. එතුමා මතු කළ ප්‍රශ්නය වූයේ සංස්කෘතිය යනු කුමක් ද යන්න යි. එතුමා ම එයට දුන් පිළිතුර වූයේ සංස්කෘතිය නම් කෑකෝ ගැසීම, ඝෝෂාකිරීම නොව නිශ්ශබ්දතාවය යන්න යි. එතුමා බෞද්ධයකු නොවුණත් බුදුදහමෙහි සඳහන් නිහඬතාවය එතුමා අගය කළා. මේ අනුව බුදුසමය පෙන්වා දී ඇති නිහඬතාවය යනු හික්මීමේ ශීලාචාරකමේ ඇති මූලික අංගයක් ලෙස පෙන්නුම් කළ හැකියි."

අපි නිතර බණ අසමු. බණ පොත් ද කියවමු. බණ ඇසුවත්, බණ පොත් බැලුවත් ඒ ධර්මය අපේ ජීවිතය තුළ නැති නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද? මී පැණි රස ය, එහෙත් ඒ රසය නියම අයුරින් දැනෙන්නේ එය දිව ගා බලනවිට ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බව අපි දනිමු. නමුත් බුදුරදුන් ගැන නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට නම් බුදු ගුණ රස වින්දනය කර තිබිය යුතු ය. බුදු ගුණය නමැති රසය විඳින්න විඳින්න ඒ බුදුරදුන් ගැන ඇතිවන හැඟීම කියා නිම කළ නොහැකි ය.

බුදුහාමුදුරුවන් කතා කරන හැටි, බණ කියන හැටි, ප්‍රශ්න විසඳන හැටි, පිඬුසිඟා වඩින හැටි, හැම මොහොතක ම අනුන් වෙනුවෙන් කැපවෙන හැටි, වෙහෙස, මහන්සිය නොතකා පා ගමනින් වඩින සැටි අනුන්ගේ දුක, වේදනාව කඳුළ නැති කිරීමට සානුකම්පිත ව ක්‍රියාකළ සැටි. උන්වහන්සේ සිතන පතන සැටි, ත්‍රිපිටකය තුළින් දකින්නේ ඒ ජීවමාන බුදුරදුන් ය. ත්‍රිපිටකය කියවන්න කියවන්න නොදැනුවත්ව ම අප තව තවත් බුදුරදුන් වෙත ළංවනු ඇත.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින බුදුරදහු එක් දිනෙක උදෑසනින් ම පා සිවුරු ගෙන පිඬුපිණිස වැඩියහ. පිණ්ඩපාතය සඳහා කාලවේලාව තවත් ඇති හෙයින් පොට්ඨපාද පරිබ්‍රාජකයා සිටින මල්ලිකාරාමය දෙසට ගොස් ඔහුගේ ගෝලයින් සමඟ කතාබස් කිරීම වැදගත් වේ යැයි සිතා මල්ලිකාරාමය දෙසට වැඩම කළහ. බුදුරදුන් තම ආරාමය දෙසට වඩින බව දුටු පොට්ඨපාද දෙතිස් කතාවෙන් ඝෝෂාකාරී ව හැසුරුණු තම පිරිස නිහඬ කරලීමට

“භවත්නි නිහඬ වන්න, කිසිම ශබ්දයක් කරන්න එපා .ශ්‍රමණ භවත් ගෞතමයන් මෙහාට එනවා, උන්වහන්සේ නිහඬ බවට කැමැති කෙනෙක්. නිහඬතාවයෙහි ගුණය කියන කෙනෙක්, ඔබලා නිහඬ පිරිසක් කියල උන්වහන්සේට වැටහුණොත් උන්වහන්සේ මෙතැනට පැමිණෙනවා ඇති.”

මේ අනුව බුදුරජාණන් වහන්සේ තම ආරාමය දෙසට වඩින විට පොට්ඨපාද පරිබ්‍රාජකයා ඉතා ඕනෑකමින් බුදුරදුන් පිළිගැනීමට සූදානම් වූ බව දැක ගන්නට පුළුවන්.

“බුදුරදුන් නිහඩතාවයට කැමැති කෙනෙක්, නිහඬ බව අගය කරන කෙනෙක්, නිහඬ ජීවිතය පුරුදු කළ කෙනෙක්.” යනුවෙන් බුදුරදුන් ගේ වටිනා ගුණයක් පොට්ඨපාද විසින් පෙන්නුම් කරනු ලැබුවා. නිහඬතාවය අපේ ජීවිතවලට වටිනා ආභරණයක් , අපේ පැරැණි ශ්‍රී ලාංකිකයින් නිහඬ ජීවිත ගත කළ අය. එදා ගම නිහඬ යි, ශාන්ත යි, එදා ගමේ ඝෝෂාකාරි, කලබලකාරී පරිසරයක් තිබුණේ නැහැ. ඒ නිසාම ගම සැනසිලිදායක යි.

එක දවසක් බුදුහාමුදුරුවන් බැහැදකින්න හාමුදුරුවරු පන්සිය නමක් දුර බැහැර සිට ජේතවනාරාමයට වැඩම කළා. උන්වහන්සේලා ජේතවනාරාමයට පැමිණීමෙන් පසු කලබලකාරි , තරමක් ඝෝෂාකාරි බවක් විහාරස්ථානය තුළ ඇතිවුණා.

හාමුදුරුවරු පන්සිය නමක් වැඩම කළ අවස්ථාවක් නිසා තරමක කලබලයක් , ශබ්දයක් ඇතිවීම ස්වභාවික යි. හෙමින් හෙමින් කතා කළත් තරමක ශබ්දයක් ඇතිවෙනවා. මේ හාමුදුරුවරු හැන්දෑවෙ වැඩම කළේ උදේ පාන්දරින් ම බුදුරජාණන් වහන්සේ බැහැ දැක වැඳ යන්න හිතාගෙන යි. බුදුහාමුදුරුවන්ට මේ ඝෝෂාකාරි ශබ්දය ඇහිලා ආනන්ද හිමියන් කැඳවලා “ආනන්ද, කවුද ඔය ඝෝෂා කරන්නේ” කියල ඇසුවා.

“බුදුහාමුදුරුවනේ, මේ හැන්දෑවේ භික්ෂූන් පන්සියයක් පැමිණියා හෙට උදෙන් ම ඔබ වහන්සේ මුණ ගැසීමේ අදහසින් තමයි උන්වහන්සේලා ඉන්නෙ, උන්වහන්සේ ගේ ශබ්දය තමයි ඔය ඇසෙන්නෙ “කියල ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. බුදුහාමුදුරුවො කියනවා “ආනන්ද ඒ අයට වහාම පන්සලෙන් පිටවෙන්න කියන්න.” ඒ වෙලාවෙ ම ආනන්ද හාමුදුරුවෝ පණිවිඩයක් ඇරියා ඒ භික්ෂූන්ට ආරාමයෙන් පිටවෙන ලෙසට. මෙය බුදුරදුන්ගේ නියෝගයක් බවත් දන්වා සිටියා. ඔබවහන්සේලා අනවශ්‍ය විදියට ඝෝෂාකාරී වීම නිසා මෙබඳු නියෝගයක් පැනවීමට හේතුව වූ බවත් දන්වා සිටියා. පන්සියයක් භික්ෂූහු බුදුරදුන්ට ගෞරවයක් ලෙස එම නියෝගය පිළිපදිමින් ආරමයෙන් පිටත්ව ගියා. මේ භික්ෂූහු යන ගමන් “ඔබ වහන්සේලා තමයි අනවශ්‍ය විදියට කෑ ගැසුවේ” යනුවෙන් ඔවුනොවුන්ට දොස් කියා ගත්තා. අවසානයේ මේ සියලු දෙනාම සාකච්ඡා කර තම තමන් තුළ පැවැති අඩුපාඩු තේරුම් ගත්තා. බුදුහාමුදුරුවන්ට අවශ්‍ය වූයේ තමන් කළ වරද තමන්ට ම අවබෝධ වන විදියේ අවස්ථාවක් උදා කරන්න යි. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා කරුණාවෙන් යුතු ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. දුකට වේදනාවට පත් වූ අය දුටු විට උණුවෙන හදවතකුයි උන්වහන්සේට තිබුණේ.

පන්සියයක් හාමුදුරුවරු බුදුරදුන්ගේ නියෝගය තේරුම් ගනිමින් වරද පිළිගෙන එමඟින් තම ජීවිතය අඩුපාඩුවක් නැතිව සකස්කර ගන්නට තීරණය කර ගත්තා. මේ හාමුදුරුවරු එදාම රාත්‍රී ළඟ ඇති කැලෑවකට වැඩම කර ගස් මුල් ළඟ නිදාගෙන සිට කැලෑව අයිනෙන් ගලා යන වග්ගු මුදානදිය අසබඩ ගස්, මුල් ඇසුරු කරමින් භාවනා කර සියලු කෙලෙස් නැති කර රහත් ඵලයට පත් වූවා. බුදුරදුන් දිවැසින් බලා එදා හවස ම ආනන්ද හිමියන් සමඟ මේ වනයට වැඩම කළා. උන්වහන්සේලා සමඟ පි‍්‍රයශීලිව හා සුහදශීලිව සතුටු සමීචියෙහි යෙදුණා.

වැරැද්ද දුටුවිට බුදුරදුන් එම වැරැද්ද පෙන්වා දුන් අයුරුත්, ඒ අනුව ඔවුන් තමන් අතින් සිදු වූ වැරැද්ද තේරුම් ගෙන වැරැද්ද නිවැරැදි කරගත් අයුරුත් ඒ නිසාම තම මූලික අරමුණ ජයගත් අයුරුත් මෙම සිද්ධිය අපට පෙන්නුම් කරයි.