Print this Article


ජීවිතයේ සිදුවීම් දෙකක් මා විමුක්ති මාර්ගයට යොමු කළා - ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්

ජීවිතයේ සිදුවීම් දෙකක් මා විමුක්ති මාර්ගයට යොමු කළා - ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්

ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

නීති පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සිය දහසක් සිසු නැණ පාදමින් සෙත සලසන ඔහු තුළ පවතින මානව හිතවාදීත්වය සැබැවින් ම ප්‍රශංසනීය ය.

උතුම් වූ බුද්ධ ශාසනයට සතුරු බාධා එල්ල වූ අවස්ථාවල දී තියුණු දැක්මක් සහිතව අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කරමින් , බුදුදහම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා භූතානයේ බෞද්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට භුතාන අගවිනිසුරු සෝනාන් ටොබ්ගයි සමඟ එක්ව නීති දර්ශනය සොයා ගියේ ය.

බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් කැපවී කටයුතු කරන ඔහු නිරන්තරව දහම සිය ජිවිතයට ඉතා සමීප කර ගත් ආදර්ශවත් චරිතයකි. වත්මන් සමාජයට මෙතුමාගෙන් ගතහැකි ආදර්ශ බොහෝ බව සටහන් කළ යුතු ම ය.

මම ඉපදුණේ ගම්පහදීයි. මගේ තාත්තා කොළඹ. ඔහු විවාහයෙන් පසුව ගම්පහ බින්න බැහැලා. ඔහුගේ නම ජනාධිපති නීතිඥ ඩන්ස්ටන් ද අල්විස්. අම්මා ලීලා ද අල්විස්. ගෘහණියක්. මම පවුලේ එකම පිරිමි දරුවා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.

මගේ තාත්තා, මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් , වජිරාරාමයේ නාරද නාහිමියන් ඇසුරේ හැදුණු කෙනෙක්. මවගේ මව කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගේ ඥාති සහෝදරියක්. මේ නිසා ගෙදර හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා . පන්සලේ පැවැත්වෙන හැම පින්කමකට ම අපේ ගෙදර හැමෝම සහභාගී වෙනවා.

පුංචි මමත් තාත්තාගේ ඇඟිල්ලේ එල්ලිලා පන්සලට යනවා. හැමදාම සෙනසුරාදාට පැවැත්වෙන බෝධි පුජා පින්කමට මමත් තාත්තාත් සහභාගී වෙනවා. කොතරම් උසස් ජිවන තත්ත්වයක් තිබුණත් අම්මා හා තාත්තා අපට සමාජයේ ධාර්මික ව ජිවත්වන ආකාරය කියා දුන්නා.

මා කුඩා කාලයේ මගේ තාත්තා ගුවන් විදුලියේ සතියකට පැයක කාලයක් ඉංග්‍රීසියෙන් බණ කියනවා. ඒ කාලයේ ඉංග්‍රීසියෙන් බණ කියන අය අඩුයි. මමත් තාත්තා සමග ගුවන් විදුලියට ගිහිල්ලා තාත්තා බණ කියනවා යාබද මැදිරියේ සිට බලාගෙන ඉන්නවා.

තාත්තාට කතාව ලියලා දෙන්නේ අම්මා. ඇය දින කිහිපයක් බණ පොත් බලලා බොහොම ආසාවෙන් කතාව ලියලා දෙනවා. ගෘහණියක් වුවත් අම්මාට උගත්කම තිබුණා.

මම මුලින්ම පාසල් යන්නේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එහි හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා. 3 වසර දක්වා එහි අධ්‍යාපනය ලබනවා. ඉන්පසු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙනවා. එය හරිම දෛවෝපගත සිදුවීමක්.

ඒ කාලයේ පාසලට ඇතුළත් කරන්න ඒ ප්‍රදේශයට අදාළව හාල් පොත තියෙන්න ඕනේ. දැන් වගේ හොර වැඩ කරලා ළමයි දාන්න බැහැ. පොත් කර්තෘවරයකු වන ආනන්ද ගුරුගේ මහතා අපේ පවුලේ හිතවතෙක්. එවකට එතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළා. එතුමාගේ මැදිහත් වීම මත මට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා.

ආනන්ද විදුහල මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක්. එහි තිබුණා මාපලගම විපුලසාර හිමියන් විසින් නිර්මාණය කරන ලද බුදු පිළිමවහන්සේ සහිත විහාරයක්. අපි සතියකට දවසක් විහාරයට ගොස් මල් පහන් පුජා කරලා, ධර්මය ශ්‍රවණය කරනවා. මේ විදිහට පොඩි කාලේ ඉඳලම බුද්ධාගම ඇට මිදුළුවලට සම්බන්ධ වෙලා තිබුණේ.

එවකට පාසලේ සියලු බෞද්ධ කටයුතුවල නායකත්වය ගත්තේ දිවියාගහ යසස්සී නාහිමියෝ යි. උන්වහන්සේ අප මනා සංවිධාන ශක්තියක් ඇති බෞද්ධ නායකයන් බවට පත්කළා. ඒ නිසා අපි උන්වහන්සේට සදා ණයගැතියි. දැනට වසර තිහකට පෙර මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් ආරම්භ කළ බෞද්ධ කාර්ය සාධක සමිතියේ වත්මන් සභාපති දිවියාගහ යසස්සී නාහිමියෝ යි. අද මම එහි ගෞරවනීය සාමාජිකයෙක්. අපේ හාමුදුරුවන් වහන්සේගේ නායකත්වය යටතේ වැඩ කරන්න ලැබීම ගැන මම පුදුම සතුටක් විඳීන්නේ. එය හරිම දෛවෝපගත සිදුවීමක්.

ඉන්පසු මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙනවා. නීති කටයුතු සම්පුර්ණ කර නීතිඥවරයකු ලෙස දිව්රුම් දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට යනවා.

1983- 1990 දක්වා රජයේ නීතිඥවරයකු ලෙස අපරාධ නඩු පැමිණිලි මෙහෙයවීම සඳහා ලංකාව වටේට ම යනවා. 1990 ඉඳලා අපරාධ නඩු, මූලික අයිතිවාසිකම් නඩු , දික්කසාද නඩු යන ක්ෂේත්‍ර ආවරණය කරනවා. හැමදාම වැඩ. කිසිම අස්වැසිල්ලක් නැහැ. තරුණයෙක් විදියට හොඳට විනෝද වෙනවා. බුදුදහම ගැන හිතන්න වෙලාවක් තිබුණේ ම නැහැ.

1996 දී මම විවාහ වෙනවා. ඇයත් නීතිඥවරියක්. නම මහේෂිද අල්විස්. මට වඩා අවුරුදු 14 ක් බාලයි. ඇයගේ පවුලත් හොඳ බෞද්ධ පවුලක්. ගංගාරාමයේ දායකයෝ.

මම ක්‍රියාකාරී බෞද්ධයෙක් වෙන්නේ ලොකු පුතා ඉපදුණු පසුවයි. 1997 අප්‍රේල් 19 වැනි දා ලොකු පුතා උපදිනවා. මට හරිම සතුටුයි. මට පිය පදවිය හිමි වෙනවා. එදිනම හවස 5. 30 ට මගේ තාත්තාට පිළිකාවක් බව සනාථ කරමින් අදාළ වෛද්‍ය වාර්තා මා වෙත ලැබෙනවා. එදා මාව උස්සලා පොළවේ ගැහුවා වගේ හැඟීමක් දැනුණා. පුදුම දුකක්.

කොහොම දරා ගන්නද ? එකම දවසේ පරස්පර සිදුවීම් දෙකක් . මේක තමයි යතාර්ථය. ඒ නිසා මම බුද්ධාගම සොයන්න උත්සාහ ගන්නවා. මගේ විමුක්තිය සොයා යාමේ ගමන ආරම්භ කළේ ලොකු පුතා. ඒ නිසා මම ඒ දරුවාට විමුක්ති කියා නම තියනවා.

2000 දී මගේ දෙවැනි පුතා උපදිනවා. එයාගේ නම අභිෂේක්. අදත් ඔහු ලස්සන කොල්ලෙක්. නමුත් අවුරුදු දෙකහමාරේ දී ඔහුගේ කතා බහ නවතිනවා. අද වනතුරුත් මට ඒ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගන්න බැරිවෙනවා. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් බව වෛද්‍යවරු පවසනවා.

සුවිශේෂී දරුවෙක්. නමුත් මේ කතාව ඇත්ත. මම ඔහු දකින්නේ දේවදුතයෙක් හැටියට. මට ධනය, බලය,අධ්‍යාපනය මොනවද නැත්තේ ? නමුත් මට අද වනතුරුත් මගේ පුතා සනීප කරගන්න බැරිවෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් මම මැරෙන වෙලාවට පහළවන චුති සිත නිසා මේ දරුවා මතක් වෙයිද කියලා බයක් තියෙනවා. එහෙම වුණොත් මට සුගතියකුත් නැහැ. එයාට යහපතකුත් නැහැ .

ඇයි එහෙම වෙන්නේ ? ඇලීම නිසා යි මේ සිදුවීම් දෙකත් සමග බුද්ධාගම පරම සත්‍යයක් බව මට අවබෝධ වුණා. මම තව තවත් බුද්ධාගම සොයන්න පටන් ගන්නවා. මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් "දම්රිවි" පදනමේ භාවනා උපදේශක ගාමිණි මහතා හමුවෙනවා.

ඔහුගේ උපදෙස් අනුව සෑම ඉරිදාකම භාවනා පන්තියට සහභාගී වෙනවා. එතුමා මේ මොහොතේ ජිවත්වන ආකාරය ලස්සනට පැහැදිලි කරනවා. මම කලින් සිතාගෙන හිටියේ වයසට ගිහිල්ලා ධර්මයේ හැසිරෙනවා කියලා.

“සර් මට සාමාන්‍ය ගිහි ජිවිතයක් ගත කරන්න ඕනේ. ඒ නිසා කොහොමද භාවනා කරන්නේ “ කියලා මම අහනවා .

“මහත්තයා කතා කරන්නේ අවබෝධයෙන් තොරවයි. විශාඛාව සෝවාන් වූ පසුවත් දරුවන් ලැබුවා. අනාගාමී වූ පසුවයි ලිංගිකත්වය නැති වෙන්නේ. බුදුදහම එවැනි ප්‍රායෝගික දහමක්.” බව පැවසුවා. ඔහුගේ උපදෙස් අනුව මම සමාධිය වඩන්න පටන් ගත්තා. මම ගොඩාක් කාර්යබහුලයි. සමාධිය වඩන්න බැහැ. නමුත් මම මන්දෝත්සාහි වෙන්නේ නැහැ. නැවතත් ගුරුවරයාගේ උපදෙස් පතනවා.

“එහෙම නම් මහත්මයා, විපස්සනාව වඩන්න පටන් ගන්න. කරන සෑම දෙයක් ගැනම සිතන්න. තමන්ගේ සිත වැඩ කරන හැටි කැමරාවක් දාලා බලාගෙන ඉන්න “. ඒ විදිහට මම මගේ සිත ගැන බලන්න පටන් ගන්නවා .

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක (27) පෝදා පත්‍රයේ පළ වේ.