Print this Article


සමන් දෙවි කරුණාව ලබමින වඳීමු සිරිපා කමල සැදැහෙන

සමන් දෙවි කරුණාව ලබමින වඳීමු සිරිපා කමල සැදැහෙන

මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිමැවුමක් වන “සමනොළ“ ගිරිහිස අපට වැදගත් වන්නේ කඳු මුදුනේ සිට මිණිකැට සඟවා ගලන රන්දිය දහර නිසා නොවේ.සුමන නම් ආර්ය ශ්‍රාවකයා ගේ ආරාධනයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් සිරිපා සටහන් පිහිටුවා අති පූජනීයත්වයට පත් වූ නිසාය.

මේ භද්‍ර කල්පයට පෙර බුදු වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ද සිරිපා සටහන් සමනල කඳු මුදුනෙහි පිහිටා ඇති බව පොළොන්නරු යුගයට අයත් අඹගමු ශිලා ලිපියෙහි සඳහන් වේ. ලංකා පබ්බත හා රෝහණ පබ්බත නමින් හැඳීන්වෙන්නේ ද ශ්‍රී පාද කඳුවැටියයි. ඒ වගේ ම සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබේ ය යන විශ්වාසයෙන් “සමනල“ යන නම භාවිත බව ද සඳහන් වේ.

සමනොළ කඳු මුදුනේ පිහිටි පාද ලාංඡනය ශිව භක්තිකයින් ශිව දෙවියන්ගේ යැයි ද, කතෝලික බැතිමත් හු ඒ “ආදම්ගේ පා සටහන ලෙසින් ද විශ්වාස කර වැඳුම් පිඳුම් කරති. “ආදම්ගේ කන්ද යන අරුතින් “ඇඩම්ස්පීක්“ ලෙසින් ද ඔවුහු හඳුන්වති.

මේ උදාවන්නේ ඒ උතුම් වූ ශ්‍රී පාද පද්මය වන්දනා කරන සමයයි. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේ තෙවැනි වර කැලණියට වැඩම කළහ. මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් වෙසක්පුර පසළොස්වක් පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේ පිරිවරා සිදු වූ ලංකා ගමනය බෞද්ධයන් හට වඩා වැදගත් ය. සුමන සමන් නම් ආර්ය ශ්‍රාවකයාගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ මහ රහතන් වහන්සේ සමඟ සමන්තකූට පර්වතයට අහසින් වැඩම කොට වම් ශ්‍රී පාද ලාංජනය එහි සලකුණු කළ සේක.

ශ්‍රී පාදස්ථානය පිළිබඳව හෙළිදරව් වූයේ නිශ්ශංකමල්ල රජ සමයේ දී ය. ඒ නිශ්ශංකමල්ල රජුට අයත් වටිනා මලින් පිරි මල් උයනකි. මේ මල් උයන බලා ගැනීමට උයන් පාලකයෙක් ද විය. එහෙත් සෑම රාත්‍රියක ම උයනට පැමිණෙන සොරෙක් ඉතා සුවඳවත් මෙන් ම වටිනා මල් නෙළාගෙන යති.

රජු මේ මල් නෙළන සොරා අල්ලා ගැනීමට නොයෙක් උපක්‍රම යෙදූව ද සෑම උත්සාහයක් ම අසාර්ථක විය. අවසානයේ මේ සොරා අල්ලා දෙන අයකුට වටිනා තෑගි බෝග දෙන බව කියා අණ බෙරයක් රට වටා යැවීය. වැදි කුලයේ උපන් එක් දුගී දෙපා නැති පුද්ගලයකු සොරා අල්ලා දීමට ඉදිරිපත් විය. ඔහු උයනේ ම පැලක් තුළ “සතිපට්ඨාන දේශනාව“ කරමින් සිටින විට සුරංගනාවියන් සත් දෙනකු උයනට පැමිණ මල් නෙළාගෙන ආපසු යති. දින දෙකක් ගතවූව ද හොරු අල්ලා ගැනීමට නොහැකි විය.

තුන්වැනි දිනයේ සතිපට්ඨාන දේශනාවට සවන්දීමෙන් ඒ කටහඬෙහි මිහිරි බව නිසා මොහු කවුදැයි දැකීමට සුරඟනාවියන්ට ආශාව ඇතිවිය. සුරඟනාවියෝ දොර වහගෙන කවුරු ද බණ කියන්නේ, යැයි ඇසූහ. දොර හරින්න, අපටත් ආසයි බණ අහන්න යැයි පැවසූහ. එවිට මේ පුද්ගලයා සත්‍ය තොරතුරු පවසා දොර ඇරීමේ අපහසුතාවය කියයි. මොහු ගැන සුරංගනාවියන්ට අනුකම්පා ඇති විය. සුරඟනන් ගේ බාලම තැනැත්තිය තමාගේ සළුව දොර කවුළුවෙන් කුටිය තුළට දමයි. දෙපා අහිමි පුද්ගලයා එය ඇතුළට ඇද ගනී. අලුයම වූ විට සළුව හිමි තැනැත්තිය හැර අන් සුරඟනාවියන් හය දෙනා ආපසු යයි. සළුව හිමි සුරංඟනාවිය උයනේ තනිවෙයි.

සැණෙන් දෙපා අහිමි පුද්ගලයාට අත් පා මැවී උයනේ සැරි සරන විට රජුට මුණ ගැසේ. හඳුනා ගැනීමට නොහැකි වූ රජු මේ උයනේ සිටිය කොටා කොයිදැයි ඇසුවේ ය. මේ පුද්ගලයා එවිට තුන් දිනක් සතිපට්ඨානය දේශනා කිරීම නිසා මට අත්පා ලැබුණු බව පවසයි. රාත්‍රිය ගත කරන විට සිදු වූ සියලු විස්තර කියා දිව සළුව රජු වෙත පායි. රජු එය ඇල්ලීමට හොඳ නැති බව කියා එය මානෙල් මල් විලෙන් සෝදා සුවඳ ධූප අල්වන ලෙස අණ කළේ ය. එසේ කළ පසු දෙවඟන පැමිණ එය ආපසු ලබා ගනී. එවිට මල් සොරකමේ රහස විමසූ පසු රජුට දැන ගන්නට ලැබෙන්නේ සිරිපතුල වඳීන්නට මල් ගෙනයන බවත්, එහි යන මාර්ගය පෙන්වීමට ද කැමැති බවත් ය. පසුව දෙවඟනගේ මඟ පෙන්වීම අනුව රජු ඇතුළු පිරිස සිරිපා වන්දනාවේ යති.

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස්ගව්ව, හැරමිටිපාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැළ කණුව, මහගිරි දඹය, සිරිපා මලුව, සිරිපා පද්මය හා දොළොස් මහේ පහන යි. සිරිපා මලුවට යන බැතිමත්හු සම්බුදු සිරිපා වන්දනාවෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේ ම හිරු සේවය නැරඹීමට ද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

ශ්‍රී පාද කන්ද නැගීම හා බැඳුණු සම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවතී. පළමුවරට ශ්‍රීපාදය නඟින වන්දනාකරු “කෝඩුකාරයා“ ලෙස හඳුන්වන අතර ඔහු සීත ගඟුලෙන් ස්නානය කළ යුතු ය. ඉදිකටුපානේ දී ඉදිකටු හා නූල් සවිකර යති. කන්ද නඟින අතරතුර සැදැහැවත් පිරිස් විවිධ ජනකවි ගායනා කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රී පාදය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝණ්ඨාරය නාද කරති.

ශ්‍රී පාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැඟීම ය. “ඉර සේවය“ නමින් ජන වහරේ මෙය හඳුන්වන අතර, කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවණැල්ල වේගයෙන් පහතට ගමන්කරයි. එය ඉර සේවය ලෙස හඳුන්වයි.

ඒ වගේ ම සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදාගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේගුරා, කෝඩු, කිරි කෝඩු, සැහැල්ලුව, හිමේ, කරුණාවයි, පේවීම, කටවරද්දා ගැනීම, කෝඩෙ‘, අම්බලම, පද්මය ඉන් කිහිපයකි.

වන්දනාකරුවෝ සිරිපා ගමනේ දී එකිනෙකාට සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරති.

“වඳීන්න යන කිරි කෝඩුට
බුද්ධං සරණේ සරණයි
වැඳල බහින මේ නඩේට
සුමන නමන් දෙවි පිහිටයි.”