Print this Article


ගල් වඩුවා මැවූ පේ‍්‍රමය

ගල් වඩුවා මැවූ පේ‍්‍රමය

" තරුණයකු හා රුවින් පිරිපුන් තරුණියක අතර ගොඩනැඟෙන අනන්ත වූ චිත්ත පී‍්‍රතිය, පේ‍්‍රමයේ ප්‍රහර්ෂය, ඒ ඔස්සේ විකසිත වන නව යෞවනය හා එයට ඔබින සංයමය හා ශික්ෂණය යනාදි සියල්ල අපට අනාවරණය කරන්නේ සැලමුතු පෙමක ආධ්‍යාත්මික ඒකාත්මික බවයි."

පේ‍්‍රමය නම් සියල්ල දවා හළු කරන අග්නි ජාලයකැයි ඇතමකු පැවසුව ද එය විශ්වයෙන් ලද මහ සිසිලසක්, සැනසුමක් බවත්, පේ‍්‍රමයෙන් තොර වූ ලොව ඇත්තේ මහා හිස් බවක් බවත්, විචිත්‍රත්වයෙන් මිදුණු පේ‍්‍රමය වූ කලි සුවඳින් තොර පුෂ්පයක් බවත් ඛලීල් ජිබ්රාල් කියා තිබෙයි.

පේ‍්‍රමයේ පරම ආස්වාදය තුළ කල්‍යාණ මිත්‍රත්වය, උපදේශය, සහ මඟ පෙන්වීම යන සියල්ල ලැබෙන බව මාකස් ලෝ ප්‍රකාශ කර තිබෙයි.

පේ‍්‍රමය ප්‍රතික්ෂේප කළ නීට්සේ වඩා අගය කළේ අර්ථවත් මිත්‍රශීලි බවයි.

පේ‍්‍රමය උත්තර මානුෂීය ගුණයක් ලෙස ඇගයු හේගල් එය දයාව, කරුණාව, උපේක්ෂාව, මෛත්‍රිය, ගෞරවය ආදි අංග ලක්ෂණ සියල්ල පිරි සංකීර්ණ මානුෂික ක්‍රියාදාමයක් ලෙස දක්වයි.

පෙරපර දෙදිග මෙම චින්තකයන්ගේ සියලු අදහස් බුදුදහම තුළ යතාර්ථවාදීව කුළුගැන්වෙයි.

“පේමතො ජායතී සොකො , පේමතො ජායති භයං”

යනුවෙන් පේ‍්‍රමය, ශෝකය හා බිය උපදවන උල්පත් ලෙස විවරණය වූයේ යතාර්ථවත් ගැඹුරු දැක්මක් ලෙසින් ය. පූර්ව චින්තකයන්ගේ අදහස් සමඟ බුද්ධ දේශනාව විමසන විට පෙනෙන්නේ බොහෝ චින්තකයන් පේ‍්‍රමයේ මතුපිට පමණක් ස්පර්ශ කර ඇති බවයි. පේ‍්‍රමයේ අවසාන ඵලය පිළිබඳව දකින්නට සර්වඥයන් වහන්සේට හැකි වූහ. මජ්ක්‍ධිම නිකායේ එන ‘පියජාතික සූත්‍රය’ පේ‍්‍රමයේ අග්‍රඵලය ගැඹුරින් විමසන දීර්ඝ සූත්‍ර දේශනාවකි. එයට අනුව වඩාත් ආදරණීය වූ , වඩා බැඳීම් සහිත වූ සියල්ල ශෝකය සහ කඳුළ උපදවන බව කියා දෙයි. පේ‍්‍රමය තුළ ඇත්තේ ආදරණීය බව සහ බන්ධනයයි. තාවකාලික සුවයක් වින්දනයක් වුව අවසන ශෝකයෙන් කෙළවර වීම අනිවාර්ය වෙයි.

එමෙන්ම අංගුත්තර නිකායෙහි එන ඉත්ථිබන්ධන පුරිසබන්ධන සූත්‍රවල පේ‍්‍රමය හට ගන්නා හේතුකාරක අටක් පෙන්වයි. රූපය, සිනහව, කතාව, කටහඬ , කඳුළු , ආකල්ප, රස අහර සහ ස්පර්ශය එම කාරණා කිහිපය වෙයි. මේ සියල්ල මුළාවේ උල්පත ලෙස දකින බුදු සමය මේ සියල්ලට වඩා අවබෝධය වැදගත් කොට සලකයි.

පේ‍්‍රමයේ යතාර්ථය කඳුළ බව පෙන්වා ඇතත් බුදු දහමින් පේ‍්‍රමය කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොවෙයි. ලෝකයේ පේ‍්‍රමයේ දීර්ඝතම කතන්දරය දිව යන්නේ බුදුන් වහන්සේගේ අතීත ආත්ම භවයන් ඔස්සේ ය. ඒ සිදුහත් – යශෝධරා පේ‍්‍රමයයි. මිනිසත් බව තුළ පමණක් නොව තිරිසන් බව තුළ පවා මොවුහු පේ‍්‍රමයෙන් විසූහ. "ලේන කුලේ සිට ආ ගිය මඟතොට සිටියා නොසැලෙන පහන් ටැඹක් සේ" යනුවෙන් දිවුල්ගනේ ගයන ගීයක ඒ බව සිහිපත් කරවයි.

නකුල පිතාවට හා නකුල මාතාවට දෙසුවේ ඊළඟ භවය තුළ ද පේ‍්‍රමයෙන් වසන්නට සම ශ්‍රද්ධා, සම සීල, සම චාග , සම ප්‍රඥා යන ගුණාංග පිරිය යුතු බවයි

පේ‍්‍රමය පිළිබඳ අමරණීය සිහිවටන දෙකක් ශ්‍රී ලංකාව ලොවට උරුම කර තිබෙයි. ඒ ඉසුරුමුණියේ විශිෂ්ට කැටයම සහ සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් සාලිරාජ කථා වස්තුවයි. ඉසුරුමුණි පෙම් යුවළ පිළිබඳ මීට පෙර ද කථා කළෙමු . ඒ එහි ගල්වඩුවා පිළිබඳවයි. සැබැවින් ම මෙම අපූර්ව නිමැවුම්කරුවාට මෙම නිර්මාණය කරන්නට බලපෑවේ කවර පේ‍්‍රමයක්දැ යි තවමත් හෙළිදරව් කර ගන්නට අපට නොහැකි විය. අපේ පුරාවිදුවන් මේ පිළිබඳව කරන හෙළිදරව් කිරීම් මෙම නිර්මාණයට සාධාරණයක් ඉටු කරන්නට සමත් නොවීය යන්න මගේ මතයයි.

පියසේන කොස්තාගේ ගේය පද රචනයක් ලෙස චිත්‍රා සෝමපාල සංගීතවත් කොට ගයන මේ ගී පදවැල් ඔස්සේ ඇසෙන්නේ කළුගල් පරයා ඉස්මතු වන සෞන්දර්යයේ දෝංකාරයකි.

ඉසුරුමුණියෙහි පැතලි ගලෙක ඒ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට
අප ණය ගැති නොවෙදෝ”

අපේ සොඳුරු මිනිසකු රළු ගල් පුවරුවක් මත පේ‍්‍රමයේ රමණීයත්වය අපූර්ව ලෙස නිරූපණය කළේ එය තම දිවිය පුරා හොඳින් විඳිමිනැයි සිතිය හැකි ය.

කඩවසම් තරුණයකු හා රුවින් පිරිපුන් තරුණියක අතර ගොඩනැඟෙන අනන්ත වූ චිත්ත පී‍්‍රතිය, පේ‍්‍රමයේ ප්‍රහර්ෂය ඒ ඔස්සේ විකසිත වන නව යෞවනය හා එයට ඔබින සංයමය හා ශික්ෂණය යනාදි සියල්ල අපට අනාවරණය කරන්නේ සැලමුතු පෙමක ආධ්‍යාත්මික ඒකාත්මික බවයි. මේ සියල්ල ඔස්සේ පෙම් යුවළගේ කැටයම විනිවිදින සමාජයක් පිළිබඳ දැක්මක් මතු කර ගැනීමේ අවශ්‍යතාව අදට වඩාත් අවශ්‍ය වී ඇත්තේ පේ‍්‍රමය හා ආදරය කාමාතුරයන්ගේ මෙවලමක් බවට පත්ව ඇති බැවිනි.

මෙවැනි විශිෂ්ට කැටයමක මතුපිට විඳිය නොහැකි නූතනය අභ්‍යන්තරය කෙසේ දකිනු ඇත්ද?

අනුරාධපුර යුගයෙන් අපට හිමි පේ‍්‍රමයේ අනෙක් අමරණීය සිහිවටනය සද්ධර්මාලංකාරයට ඇතුළත් ව විවරණය වන සාලිරාජ කථා වස්තුවේ එන සාලිය අශෝකමාලාවන්ගේ පේ‍්‍රමයයි. පාලි රසවාහිනියෙහි ඇතුළත් වූ මෙම කථා පුවත සිංහලයට සැකසෙන්නේ ගඩලාදෙණි ධර්මකීර්ති හිමියන් වෙතිනි.

ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත් දුටුගැමුණු ගේ බිසවක් පිළිබඳ වැඩිපුර තොරතුරු ඉතිහාසය නොකියන්නේ ඇය රාජ කුමාරියක් නොවු නිසාව ද? ජනප්‍රවාද පළ කරන්නේ දුටුගැමුණූගේ බිරිඳ ගැමි ගැහැනියක වූ රන්මැණිකා බවයි. මෙම දෙපළට උපන් පුතු සාලිය වෙයි. කුඩා කල සිට ම මව් පාර්ශ්වයෙන් පොදු ජනතා හිතවතකු වන සාලිය ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරයි. අනුරපුර දකුණු වීථියක පදිංචියට යන ඔහු වෙත ජනයා රජුට වඩා ළංවූ බව කියැවෙයි. අය බදු පවා සාලිය කුමරුට ගෙවූ බව දැක්වෙයි. ඉතා කෙළිලොල් ජීවිතයක් ගෙවු සාලිය ගැමි ජනයාගෙ එළිමහන් ක්‍රීඩාවක් නරඹන්නට ගිය විට දී පංචම නම් කුලයක කුල ප්‍රධානියකුගේ දියණිය අශෝකමාලා, සාලිය කුමරුට මුණ ගැසී තිබෙයි. ඇගේ සිත ගත් මේ කුමරා ඇය ඇසුරු කිරීමෙන් ලත් අවබෝධය තුළ ඇය තම පෙම්වතිය බවට පත් කර ගනී. ඇය විවාහ කරගත් සාලිය කුමරා වර්තමාන ගල්කිරියාගම නම් ප්‍රදේශයට ආසන්නයේ රාජධානියක් කොට විසූ බව කියවෙයි.

මහා වීරයකුගේ පුතෙක් රාජ්‍යයට ලද හිමිකම පවා පේ‍්‍රමය වෙනුවෙන් කැප කළේ ය. උතුම් පේ‍්‍රමය වෙනුවෙන් කුලගොත් පටු ආකල්ප අනවශ්‍ය බව පෙන්වා දෙමින් මෙම දෙදෙනා ගෙවූ ආදරණීය දිවිය ලොව පෙම්වතුනට කදිම පරමාදර්ශයක් නොවන්නේ ද? පේ‍්‍රමයක දී සෙවිය යුත්තේ කුලය, වංශය, ධනය, බලය යනාදි දේ නොව ශීලාචාර ගුණවන්ත හැදියාවකින් යුතු ද යන්න පමණකි. සාලිය හා අශෝකමාලාවන් අතර පැවතියේ එවන් පේ‍්‍රමයකි. ඉසුරුමුණියේ පෙම් යුවළ තැනූ කලාකරුවා මෙම ආදරණීය පෙම් කතාව සිතෙහි තබා ගෙන මෙම නිර්මාණය කරන්නට ඇතැයි අපට අනුමාන කළ නො හැකි ද?