Print this Article


සදහම් අරණ

සැනසුම

සොයමි සෙව්වෙමි
අසමි ඇසුවෙමි
කොහෙද කොතැනද
මා සොයන සැනසුම...
ගියෙමි යන්නෙමි
බලමි බලන්නෙමි
කොහිද මා සෙව් සැනසුම
වැඩහිඳිනා බුදු පිළිම වහන්සේ
ගලින් නෙළුවද
කියැවෙන ගුණ මහිමය
අපරිමිත බව වැටහුණි......


මගේ බුදු පියාණන් වහන්සේ

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මහ බෝසතාණන් වහන්සේ ඉමක් නොපෙනෙන මහා සාගරය මැද නැව මුහුදු බත් වූ අවස්ථාවේ තමන් වහන්සේගේ ජීවිතය ගැන නොසිතා තම මව් කරපිට තබාගෙන පිපාසයට පැන් පොදක් හෝ කුසට අහරක් නො ලබා පුරා දින හතක් මුළුල්ලෙහි සාගරය තරණය කළහ. එය හීන වූ වීර්යයක් ඇති අයකුට කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. එසේ වීර්යය කොට තම මව බේරාගෙන මෑණියන්ගේ ආශිර්වාදය ඇතිව දෙවියන්ගේ ද සාධු කර මැද “මම අනාගතයේ කවදා හෝ දිනෙක සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වන්නෙමියි” මහා පුරුෂ වීර්යයකින්, මහත් වූ අදිටන් ඇතිව දස පාරමිතා ධර්ම පූරණය කරන්නට ආරම්භ කළ සේක.

පසුව දීපංකර පාද මූලයේ දී දීපංකර බුදුරදුන්ට තමන් වහන්සේ ගේ ජීවිතය පූජා කොට නියත විවරණ ලබාගත් සේක. ඒ ජීවිතය පූජා කළ මොහොතේ මහ බෝසතාණන් වහන්සේගේ පාරමී ධර්මයන් පූරණය වෙලයි තිබුණේ. දීපංකර බුදුරදුන් දේශනා කරන සතර පද ගාථාවක් ශ්‍රවණය කොට මහරහත් භාවයට පත්වී, සසර දුකින් මිදීමට අවස්ථාව තිබූ නමුත් සසර අතරමංවී දුක් විඳින සත්වයන් කෙරෙහි පහළ වූ අප්‍රමාණ කරුණාව, මෛත්‍රිය නිසාවෙන් “මම අනාගතයේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙමි. කවදා හෝ දුකින් මිදෙන මාර්ගය අවබෝධ කරගෙන ලෝක සත්වයාට ද ඒ අමා ධර්මය දේශනා කොට සංසාර සාගරයෙන් එතෙර කරවන්නෙමි යි” යන දැඩි අධිෂ්ඨානය ඇතිව පාරමි දම් පුරන්නට අධිෂ්ඨාන කරගත් සේක.

එතැන් පටන් මහ බෝසතාණන් වහන්සේ ඒ දීර්ඝ කාලය තුළ නොවිඳි දුකක් නැත. ඒ ගමන තුළ තමන් වහන්සේගේ කන්, නාසා, අත්, පා සිඳ දමද්දී සිතින්වත් ද්වේශ සහගත සිතිවිලි මාත්‍රයක් හෝ ඒ බෝසත් හදවතේ ඇති වුණේ නැත. ඒ සා මහත් දුකක් විඳ දරා බුද්ධ රාජ්‍යයට පත් වන අන්තිම ආත්ම භාවයේ දී දස දහසක් සක්වල කම්පා කරවමින් දෙවියන්ගේ, මිනිසුන්ගේ, බ්‍රහ්මයන්ගේ සාධුකාර මැද, පී‍්‍රති ඝෝෂා මැද හිරු සඳු දහසක් පායා ආවාක් මෙන් තුන් ලෝකය ම ඒකාලෝක කරමින් ලුම්බිණි නම් වූ උතුම් පින් බිමේදී මනු ලොවට පහළ වූ සේක. එතැන් පටන් දෙවි කුමරෙක් මෙන් අප්‍රමාණ සැප විඳිමින් කාලය ගත කොට ගිහි ජීවිතය ගැන කළකිරී මහා අභිනික්මන් කොට නැවත වසර හයක් පුරාවට අප්‍රමාණ දුකක් ඉහිලූ සේක. ඒ කුස අත ගෑ පසු පිට කොන්ද හසුවුණි. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සියල්ල මැකී ගොස් ඇට සැකිල්ලක් බවට පත්වුණි. රජ මාළිගයේ බොහෝම සුකුමාල ලෙස වැඩුණු බෝසතාණන් වහන්සේ ඒ චක්‍රවර්ති රජ සැප අතහැර ඒ සා මහත් දුකක් වින්දේ අප වෙනුවෙන් ම යි. ඒ දුෂ්කර ක්‍රියාව හිස් දෙයක් බව අවබෝධ කරගත් බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ වෙසක් සඳ පායා ආ පෙර දිනෙක සව් කෙලෙසුන් නසා පස්මරුන් පරදවා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක.


ජයසිරි මහ බෝධීන් වහන්සේ

ජයසිරි මහ බෝධීන් වහන්සේ ශ්‍රී ලාංකිකයන් සතු ඉපැරැණි ම පූජනීය වස්තුවකි. වසර දෙදහස් පන්සියයක ඉතිහාසය කියාපාන ලොව ඇති එකම ඓතිහාසික වෘක්ෂය වන්නේ ද මෙයයි. ලක්දිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ විවිධ අවස්ථාවල පූජෝපහාරයට ලක්විය. බුදුරජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් උපහාර ලැබී ය.

එදා සිට මේ දක්වා ලක්දිව රජ කළ සිංහල රජවරු විවිධ අවස්ථාවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා බෝධිඝර, බෝධි ප්‍රාකාර ආදිය කරවා එහි ආරක්ෂාව සැලසූහ. පැරැණි රජවරුන් විසින් තම නමට සංඝබෝධි, අග්ගබෝධී ආදි වශයෙන් “බෝධි” යන පදය යොදා ගන්නා ලද්දේ ජයසිරි මහ බෝ සමිඳුන්ට තිබුණු ගෞරවය සහ භක්තිය නිසා ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවද්දී උන්වහන්සේගේ ආරක්ෂාව සඳහාත්, පුදපූජා හා තේවා විධි පැවැත්වීම පිණිසත් ශ්‍රේණි දහ අටකට අයත් විශාල පිරිසක් එවූ බව මහාවංශයේ සඳන් වේ. එම පිරිස පරපුරෙන් පරපුරට එම කාර්යය නොකඩවා ඉටු කළහ.

දිනපතා හා වාර්ෂික ව ශ්‍රී මහා බෝධින් වහන්සේ උදෙසා පූජා විධි පවත්වන පිළිවෙළක් තිබේ. ඒ සඳහා ම වෙන්වූ කාර්යය මණ්ඩලයක් ඇත. එහි ප්‍රධානත්වය දරන්නේ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ය. ශ්‍රී මහ බෝධින් වහන්සේ උදෙසා වාර්ෂික ව සිදු කරනු ලබන මංගල්‍යය සතරකි. අලුත් සහල් මංගල්‍යය ඒ අතර ප්‍රධාන ය.


අම්මා

දස මාසයක් කුසේ දරාගෙන මා මෙලොවට බිහි කළ අම්මේ
ඇඟ ලේ කිරි කර මාහට පොවමින් ඇති දැඩි කර ලොකු කළ අම්මේ
අකුරු ඉලක්කම් හොඳ ගති ගුණ මට කියලා දුන් මගෙ හොඳ අම්මේ
අපමණ බාධක කරදර මැද්දේ අප වෙනුවෙන් කැප වුණා ඔබ අම්මේ