Print this Article


ප්‍රාචීන අධ්‍යාපනයට යොමුවන පිරිස අඩුයි

ප්‍රාචීන අධ්‍යාපනයට යොමුවන පිරිස අඩුයි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහාචාර්ය නෙළුවේ සුමනවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

ප්‍රතිබල සම්පන්න, ව්‍යක්ත, විශාරද පාණ්ඩිත්‍යයකින් පිරුපුන් පඬිරුවනක් වශයෙන් සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින ඔබ වහන්සේ විශේෂයෙන් අධ්‍යාපනික වශයෙන් විශිෂ්ට සේවාවක් සිදුකරනු ලබනවා. ඔබ වහන්සේගේ ජීවන මාවත ප්‍රභාවත් කර ගැනීමට ගුරු හාමුදුරුවරුන්ගේ ඇසුර බලපෑවේ කුමන ආකාරයෙන් ද? අපේ හාමුදුරුවනේ

දෙදියවල දේවසුමන නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පූර්වෝකෘත පුණ්‍ය මහිමයට අනුව 1976 වර්ෂයේ දී කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේ දී නෙළුවේ සුමනවංස යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි බවට පත් වුණා. සුපේශල ශික්ෂාකාමී සංඝ සාරුප්‍යයෙන් පරිපූර්ණ වූ ශිෂ්‍ය පරපුරක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමේ ඉමහත් වුවමනාවක් නායක හාමුදුරුවන් වහන්සේ සතුව පැවතුණා. එනිසා ම එදිනෙදාට අදාළ පාඩම් සියල්ල දිනපතාම සවසට පාඩම් ගන්න නිසා මූලික බණ දහම් පොත් පත් සියල්ල ම කටපාඩම් කළා. නායක හාමුදුරුවන් වරදින කරුණු අවබෝධ කරදුන් නිසා මුල් අවධියේ සිටම පාඩම් කිරීමට අවශ්‍ය පසුබිම ලැබුණා.

ඒ වගේම ප්‍රතිබල සම්පන්න ව්‍යක්ත, විශාරද පරිවේණාධිපතීන් වහන්සේලා කිහිප නමක් යටතේ කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පරිවේණාස්ථානයේ දී මූලික ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය උදා වුණා.

ප්‍රාචීන, ප්‍රාරම්භ විභාග විශිෂ්ට ලෙස සමත්වීමෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වුණා. එවකට පරිවේණාධිපති ව වැඩ සිටි අකුරැටියේ අමරවංශ නා හිමි, සහ ආචාර්යන් වහන්සේලා වන සද්ධාතිස්ස නා හිමි, හෑගොඩ ඛේමානන්ද නා හිමි, කලල්ඇල්ලේ සේඛර නා හිමි, බලංගොඩ සෝභිත නාහිමි, වෑයිහේනේ පඤ්ඤාලෝක නා හිමි, මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි, වැනි සාර්වභෞම වියත් ඇදුරු මඬුල්ලක් හමුවේ ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකිරීමට ලැබීමත් පූර්වෝපචිත කුසල ශක්තියක්. උන්වහන්සේලා බොහොම කැපවීමෙන් යුක්තව අපට ඉගැන්නුවා.

සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉතිහාසය, ත්‍රිපිටක ධර්මය, චන්දෝලංකාර යන විෂයයන් ඉතා හොඳින් ඉගෙන ගත් නිසා විද්‍යෝදය මධ්‍යම පන්තියේ පළමුවැනියාට තේරුණා.ප්‍රථම පන්ති විශිෂ්ට සාමාර්ථයක් සහිතව ස්‍යාමරාජ ත්‍යාගයෙන් අභිසෙස්් ලැබූ විගස අකුරැටියේ අමරවංශ නායක හාමුදුරුවන්ගෙන් ලැබුණ ආරාධනාව මත විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවය කිරීමේ භාග්‍ය හිමි වුණා. ස්වාමීන් වහන්සේලා සතුවිය යුතු විනයානුකූල පැවැත්ම අප තුළ පැවැතුණ නිසාත්, හොඳින් අධ්‍යාපනය ලබා ගත් නිසාත්, ආචාර්යයන් වහන්සේලා අපට බොහෝ කරුණාවක් දැක්වූවා.

ඒ වගේම සිංහල, පාලි භාෂා ශිෂ්‍ය සංගම්වල නිලතල දරමින් ක්‍රියාශීලී ව කටයුතු කළා. පාලි, අභිධර්ම විභාගයත්, ත්‍රිපිටකාචාර්ය උපාධියත්, රාජකීය පණ්ඩිත උපාධියත් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

මෙම කාල වකවානුවේ දී නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ 1983 වර්ෂයේ දී කෝට්ටේ කල්‍යාණී ශ්‍රී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ධුරන්ධර ව වැඩ සිටි ලබුගම ශ්‍රී ලංකානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේත්, බෙල්ලන ශ්‍රී ඤාණවිමල නා හිමියන්ගේත් උපාධ්‍යායත්වයෙන් දෙදියවල දේවසුමන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1983 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා ශීලයට පත් වුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය හදාරමින් රුසියන් භාෂා පාඨමාලාව හදාරන අතරතුර මොස්කව් පුෂ්කින් අධ්‍යාපන ආයතනයක මාස 10ක කාල පරිච්ඡේදයක් රුසියන් භාෂා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලැබුණා.

එම කාලය තුළ කළුතර ධර්ම විජය පිරිවනේ ආචාර්යවරයකු සහ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව සමත් වුණ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට අයත් මාලිගාකන්ද ආයතනයේත් බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමේ භාග්‍ය ලැබුණා. ඒ අතරතුර කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා සමත් වීමත් සමඟ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන ගමන් එහි සහකාර පර්යේෂණ නිලධාරී වශයෙන් පත්වීමක් ලැබුවා. එම විශ්ව විද්‍යාලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ආධුනික කථිකාචාර්ය, කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භාෂා අධ්‍යයන පීඨාධිපති, ධූරවල කටයුතු කළ කාල පරිච්ඡේදයේ දී ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමට කටයුතු කළා. වර්තමානය වන විට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්යවරයා වශයෙන් ශාස්ත්‍රීය සේවයෙහි නියැළෙනවා.

භාෂා ශාස්ත්‍ර ප්‍රවීණ විද්වතකුගෙන් ඉටුවිය යුතු සුවිශේෂී සේවාවක් වන ග්‍රන්ථකරණය පිළිබඳ තොරතුරු සඳහන් කරමින්ම ඔබ වහන්සේගේ ජාතික, ආගමික, ශාසනික සේවය සිහිපත් කරනවා නම් හාමුදුරුවනේ,

දර්ශනපති උපාධි නිබන්ධනය කතෝප නිසදය ග්‍රන්ථය වශයෙන් ද, සාංඛ්‍ය දර්ශනය සහ බුදුදහම ග්‍රන්ථය ද සෞන්ධානන්ද මහා සංස්කෘත කාව්‍ය 5, 6 සර්ග දෙක සඳහා ව්‍යාඛ්‍යාවක් ද සැපයීමට කටයුතු කළා. විද්‍යෝදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය ඇතුළු ශාස්ත්‍රීය සඟරා සඳහා දීර්ඝකාලීන ව ශාස්ත්‍රීය ලිපි පළ කිරීමටත්, ලංකාවේ සංස්කෘත සෙල් ලිපි පිළිබඳව ශාස්ත්‍රීය ලිපි රචනා කිරීමටත් කටයුතු කළා.

ඒ වගේම වසර 150 ක් පැරැණි විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින්, විහාරාධිපති, හා කළුතර ධර්ම විජය පිරිවෙන් පරිවේණාධිපති වශයෙන් පොඩි හාමුදුරුවන් වහන්සේලාට ආදර්ශවත් බවක් ලබා දෙමින්, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ කර්ම වාගාචාර්ය වගේම එම සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙනුත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙනවා.

අනාගත සසුන සුරැකීමෙහිලා ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපනික ක්‍රමය පිළිබඳව ඔබ වහන්සේ දරන ආකල්පය පැහැදිලි කරන්න හාමුදුරුවනේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති වශයෙනුත්, 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය සේවයෙන් ලබා ගත් අත්දැකීම් අනුවත් , පිරිවෙනක පරිවෙණාධිපතීන් වහන්සේ වශයෙන්, භික්ෂු අධ්‍යාපනය සකස්විය යුතු ආකාරය පිළිබඳව කල්පනා කරන විට භික්ෂු අධ්‍යාපනය මීට වඩා සකස්විය යුතු බව අපට වැටහුණ කරුණක්. විශ්ව විද්‍යාල ආරම්භ කළත්, විවිධ පාඨමාලා පවත්වා ගෙන ගියත්, අපි අපේක්ෂා කරන අරමුණුවලට ළඟාවීමේ හැකියාව අඩුයි. අත්‍යවශ්‍ය විෂයයන් සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය හා පිළිගැනීම අඩුවෙලා තිබෙනවා. රැකියාවක් අපේක්ෂාවෙන් අධ්‍යාපනය ලැබීම එයට හේතුවක්. අතීතයේ මහා පඬිවරු බිහිවුණේ රැකියා අපේක්ෂාවකින් තොරව, අඩු පහසුකම් යටතේ වුවත් බොහොම කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළ නිසයි. ඔවුන්ගේ එකම අපේක්ෂාව දැනුම පමණයි. එදා පඬිවරු සහ අද පඬිවරු අතර පවතින වෙනස එයයි.

භික්ෂූන් වහන්සේලා භාවනාවට, ප්‍රතිපත්ති පූජාවට යොමු කරන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. ශිෂ්‍යයන් වැඩි වශයෙන් ලෞකික පැත්තට බරවෙන විෂයයන් ඉල්ලුම් කිරීම මහත් ව්‍යසනයක්. ප්‍රාචීන අධ්‍යාපනය පැත්තට යොමුවන පිරිස අඩුයි. වර්තමානය වන විට අන්තර්ජාල පහසුකම්වලට ඇබ්බැහිවීමෙන් තමන්ගේ අධ්‍යාපනය තමා විසින්ම අවහිරකර ගැනීමක් පෙනෙන්න තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය තුළත් එම තත්ත්වය පවතිනවා. පැවිදිවෙන පිරිසක් අඩු නිසා විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා අඩුවීමත් දකින්න පුළුවන්.