Print this Article


සැප ලබන දුක් විඳින අසුර අපාය

සැප ලබන දුක් විඳින අසුර අපාය

කාම ලෝක එකොළහක්, ඒ අතර දිව්‍ය ලෝක හයක්, අපාය හතරක් සහ එක් මිනිස් ලොවක් ඇත. අපායන් අතර ද තිරිසන්, ප්‍රේත, අසුර, නරක හැටියට අපාය වර්ගවේ.

මේ අපායන් අතරින් අසුර යනු එක් අපායකි. එය එසේ සඳහන් කළ ද මෙහිදී සංශෝධනය විය යුතු කාරණය වන්නේ අසුර අපායක් වුව ද එහි දිව්‍යමය ස්වභාවයක් ද නැත්තේ නොවේ. එය ඉතාම සියුම් ව තේරුම්ගත යුතු ය. මෙම ලිපියේ අරමුණ ද එම ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීමයි.

අසුරයන් මිනිසුන්ට වඩා සැප විඳින පිරිසකි. එහෙත් ඔවුන්ගේ සැපය, දෙවියන්ට වඩා අඩු ය. අසුරයන් දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන පිරිසකි. එමෙන්ම අපායේ ඉන්න රාක්ෂයන්ට වඩා මේ පිරිස වෙනස් ය. ධර්මයට අනුව අසුර රාක්ෂයන් පහක් පිළිබඳ සඳහන් වේ. මෙයින් කොටසක් සැප විඳින අතර තවත් කොටසක් දුක් අනුභව කරයි. බොහෝ සැප සම්පත් විඳින අසුරයන් වන්නේ දේව අසුර, විනිපාත අසුර , මාණික අසුර පිරිස් ය. දුක්විඳින පිරිස ජීවත් වන්නේ ලෝකෝත්තරික හා ප්‍රේත අසුර ලෝක තුළ ය. අසුර ලෝකයෙහි බොහෝ සැප විඳින අසුරයන් සිතනුයේ තමන් දිව්‍ය ලෝකයේ සිටින බව ය. අසුර ලෝකයේ දී දිව්‍ය ලෝකයට කල්ප වෘක්ෂයක් සේ පරසතු මල් ගසක් ඇති අතර, අසුරයන් තමන් අසුර ලෝකයෙහි බව දැනගන්නේ මේ ගසෙහි මල් පිපීමේ දී ය.

දේව අසුර වඩාත් සශ්‍රීක පිරිසකි. දෙවියන් හා සමාන ව සැප විඳින කොටස මේ අසුර කොටස ය. යමරජු සහ යමපල්ලන් ද අසුර කොටසකි. විනිපාත අසුරයන් වන මොවුන් වඩා බලසම්පන්න පිරිසකි. විමානයන් සකසා ගෙන පවතින අසුරයන් වේමාණික අසුරයන් ලෙස විස්තර වේ. භූමාටු දෙවියන් සේ තමන්ම විමානයන් සකසා මොවුන් පවතී. සක්‍රයාගේ බිරිඳ වේමාණික අසුර දුවකි. එය රසවත් කතාවකි.

ස්වයංවර මංගල්‍ය දිනක දී ශක්‍රයාද අසුරයකු සේ හැඳ පැළඳ එයට සහභාගී විය. මෙහිදී එම අසුර දුව තමන්ට සුදුසු සහකරු ලෙස තෝරා ගත්තේ අසුරයකු ලෙස පෙනී සිටි සක්‍රයා ය. මෙතැනදී අසුරයන් නැවත සුරයන් සමඟ වෛර බැඳගත් බව දේව කතාවෙහි සඳහන් ය.

බොහෝ දුක් පෙනෙන අසුර අපායක් වන්නේ ලෝකාන්තරික අසුර අනුයයි. මෙය පිහිටා ඇතයි දැක්වෙන්නේ නරකය ප්‍රේත ලොකය, තිරිසන් ලෝකය, අතරතුර ය. අසුර ලෝකයන් අතර බොහෝ දුක් ඇත්තේ ප්‍රේත අසුර ලෝකය තුළ ය.මොවුන් කාලද්ජීත ප්‍රේත හා සමාන ය. මහා විශාල ශරීර ඇති මුත් ඉදිකටු සිදුරක් හා සමාන මුඛයකි. එහෙයින් තම කුස හෝ පුරවා ගැනීමට නොහැකි ව මහත් පීඩාවට පත්ව පැවතීම මොවුන්ගේ ස්වභාවයයි. සැබෑවට ම අපාය යන්නට නියම අරුත සැපයෙන්නේ ප්‍රේත අසුර ලෝකය තුළ ය. සැප හෝ දුක වින්දනය කළ ද මොවුන්ගේ ලෝකය අපායක් ලෙස දක්වන්නේ ප්‍රධාන හේතුවක් සහිතව ය. එනම් අසුරයන්ගෙන් කොටසක් නිරයෙහි බලවත් අතර, අනෙක් කොටස අපායෙහි බලවත් ය. එමෙන් ම අසුරයන්ගේ ස්වභාවය වඩාත් හොඳින් තේරුම් ගත හැකි ප්‍රධානතම සූත්‍ර දේශනාව සුභාෂිත ජය සූත්‍රය යි. එහිදී සුරයන් සහ අසුරයන් අතර මෙවැනි සංවාදයක් ඇතිවිය.

සුරයන් සහ අසුරයන් සුභාෂිතයට ජය වේවා ජයවේවා කියමින් පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. එහෙත් කිසිවකු සුභාෂිතය නොදත්හ. මෙහිදී සක්‍රයා වේපවිත්ත අසුරින්දාට සඳහන් කළේ සුභාෂිතය යන්න පැහැදිලි කරන ලෙසයි. ඔහු එහිදී සඳහන් කළේ අඥාන පුද්ගලයාට දඬුවම් කළ යුතු ය. එසේ නොමැති ව ඔහු දමනය කළ නොහැකි බවයි.

මෙහිදී අසුරයන් අත්පුඩි ගසමින් පී‍්‍රති ඝෝෂා පැවැත් වූහ. සුරයන් නිශ්ශබ්දවූහ.

ශක්‍රයා ඉන් අනතුරුව සඳහන් කළේ සතුරා කිපී කෝපයෙන් සිටින විට තමන් නිවී සිටිය යුතු බවයි. මෙහිදී අසුරයන් අත්පුඩි ගසමින් පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. සුරයන් නිශ්ශබ්ද වූහ. සක්‍රයා ඉන් අනතුරුව සඳහන් කළේ සතුරා කිපී කෝපයෙන් සිටින විට තමන් නිවී සිටිය යුතු බවයි. මෙහිදී සුරයන් අත් පුඩි ගැසූහ. අසුරයන් නිශ්ශබ්ද වූහ. නැවත වේපචිත්ත සඳහන් කළේ ඉවසීම දෝෂයක් බවත් එය නිවට කමක් බවත් එය නොසුදුසු බවත් ය.

නැවත අසුරයන් සතුටු වූහ. සුරයන් නිශ්ශබ්ද විය. ශක්‍රයා නැවත සඳහන් කළේ ඉවසීම යහපත් බවත් නැවත නැවත ඉවසිය යුතු බවත් ය.

මෙහිදී සුරයන් පී‍්‍රති ඝෝෂා පැවැත් වූහ. මේ තුළින් තේරුම් ගත යුත්තේ අසුරයන් දඬුවම, හිංසාව, පීඩනය අනෙකා පෙළීම තුළින් තම ආධිපත්‍යය තහවුරු කර ගන්නා පිරිසක් බව ය. සුරයන් එසේ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරනු ලබයි. අසුර ලෝකය ඇතැම්විට සැප සම්පත් ලැබුණ ද යා යුතු තැනක් ලෙස කිසිවකු ප්‍රාර්ථනා නොකරන් නේ ද එහෙයිනි. දෙව් මිනිස් සැප කෙළවර නිවන් සැප පතනවා මිස දෙව් අසුර කියා පතන්නේ නැත. එක් පැත්තකින් අසුර ලෝකය අපායක් ලෙස අර්ථ ගන්වන්නේ මේ නිසාම ය. එමෙන් ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් නියත අපාගත වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා මිස සුගතිගාමීවීමට අවස්ථාව නොලැබේ.

සුභාෂිත ජය සූත්‍රයේ දී අසුර හැසිරීම මීට කදිම නිදසුනකි. මෙය වඩාත් හොඳින් තේරුම් කර ගත හැකි අවස්ථාවක් සෙන් දහමෙහි දක්වා ඇත.

එක් සෙන් ගුරුවරයකු සමීපයට පැමිණෙන යුද්ධ සෙන්පතියෙක් සෙන් ආචාර්යවරයාගෙන් විමසන්නේ අපාය සහ දිව්‍ය ලෝකය පහදා දෙන ලෙසයි. එහිදී ආචාර්යවරයා එය අවඥාවට ලක් කිරීමේ දී කේන්ති ගිය සෙන්පතියා වැරයෙන් කඩුව එසවීය. එහිදී සෙන් ආචාර්යවරයා සඳහන් කළේ ඔන්න අපායේ දොර විවෘත වුණා, යනුවෙනි.

එහිදී සෙන්පතියා නැවත් කඩුව තම කොපුව තුළට දමාගත්තේ ය. ඉන් පසු ආචාර්යවරයා සඳහන් කළේ ‘ඔන්න දිව්‍ය ලෝකයෙහි දොර විවෘත වුණා යනුවෙනි. මෙහිදී ක්‍රියාකාරකම් මත අපාය සහ දිව්‍ය ලෝකගත වීම තීරණය වන බව පැහැදිලි ය. ඒ අරුතින් අසුර ලෝකය අපායකි. එමෙන්ම දෙවියන් තෙරුවන් සරණ යන මූත් අසුරයන් එසේ නොවේ. පහාරාද වැනි අසුරයන් පිළිබඳ සඳහන් වුව ද බොහෝ අසුරයන් අයහපත් ක්‍රියාකාරකම් තුළින් තම බලය පෙන්වීම සාමාන්‍ය තත්ත්වයකි. මන්ද පිරිත එයට තවත් උදාහරණයකි. රාහු නම් අසුරින්දය විසින් චන්දිම නම් දේව පුත්‍රයා ගිලීමට පැමිණි අවස්ථා ඉහත කරුණ තවත් සනාථ කර ගත හැකි ය. මෙහිදී චන්දිම දේව පුත්‍රයා බුදුන් සරණගිය බැවින් රාහුට ගිලීමට නොහැකි විය. මෙම කාරණා මත අසුර ලෝකය කුමනාකාරද යන්න තේරුම් ගත හැකි ය.