Print this Article


තමන්ට පහනක් දල්වා ගත නොහැකි නම් අනුන්ගේ පහනෙන් හෝ එළිය ලබා ගන්න

අංගුත්තර නිකායේ වච්ඡගොත්ත සූත්‍රය ඇසුරිනි

තමන්ට පහනක් දල්වා ගත නොහැකි නම් අනුන්ගේ පහනෙන් හෝ එළිය ලබා ගන්න

දිනක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි වච්ඡගොත්ත නම් වූ පරිබ්‍රාජක බුදුන් වහන්සේට වැඳ මෙසේ කීවේ ය. ”

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ දේශනා කරන්නේ යැයි මට දැන ගන්නට ලැබුණි. ඒ කෙසේද යත්, මට ම (බුදුන් වහන්සේට ම) දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේ ම (බුදුන් වහන්සේගේ ම) ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මට ම (බුදුන් වහන්සේටම) දෙන ලද දෙය මහත්වූ පල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම (බුදුන් වහන්සේගේ ම) ශ්‍රාවකයන්ට දෙන ලද දෙය මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේ ය” යනුවෙනි.

මෙසේ පැවසූ වච්ඡගොත්ත පරිබ්‍රාජක තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය. බුදුන් වහන්ස, ඔවුහු ඔබ වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙත් ද, එසේ නොවේ නම් ඔවුන් බුදුරජාණන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා කරද්ද, ඔබ වහන්සේ විසින් කියන ලද්දක් ම කියත් ද, හේතු සහිත ව එසේ කියන ලද්දක් දැයි ආදී වශයෙන් අපි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෝ වෙමු. තවද, අපි ඔබ වහන්සේට දොස් කියනු දකීමට නො කැමැත්තෝ වෙමු” වශයෙනි. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවැන්නක් උන්වහන්සේ සඳහන් කොට නොමැති බවය. එය අසත්‍ය බවද බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජකයාට සඳහන් කළහ.

එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිසිවකු විසින්, කිසිවකුට දෙනු ලබන දානයක් කිසිසේත් ම නො වැළැක්විය යුතු බවයි. එය එසේ වළකාලන්නේ නම් ඒ වළක්වාලන්නා විසින් තිදෙනෙකුට හානි කරන බව හා ඔහු මං පහරන සොරකු වැනි බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඒ තිදෙනා නම් මෙසේ ය.

දෙනු ලබන දායකයාගේ පිනට අනතුරු කරන්නෙක් වෙයි

ප්‍රතිග්‍රාහකයන්ගේ (ලබන්නන්ගේ) ලාභයට (ලැබීමට) අනතුරු කරන්නෙක් වෙයි.

පළමුකොටම තමා නසන ලද්දෙක්, විනාශ කරන ලද්දෙක් වෙයි.

ඒ අනුව කිසිවකු විසින් කිසිවකුට දෙනු ලබන දෙයක් වචනයකිනුදු වළක්වාලීමට කිසිවකුට හැකියාවක් නොමැත. එසේ කරන්නේ නම් ඔහු තමාටත් අනුන්ටත් විශාල හානියක් සිදු කරයි. ‘බුදුරජාණන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයනට පමණක් ම දිය යුතු ය’ යන්නක් බුදු දහමේ නැත. තමන්ට යමෙකු කෙරෙහි දීමේ සිතක් පහළ වූ කල ඔහු කෙරෙහි දන් දීම කළ හැකි ය. සැමවිටම,

තවෙකකුට යමක් ලැබෙනවිට එය දැක සිතෙහි සතුට උපදවා ගැනීමෙහිලා සිත සකසා ගත යුතු ය. එයයි බුද්ධ දේශනාව.

තවද, බුදුරජාණන් වහන්සේ මෙසේ දෙසූහ. එනම් අසූචි පිරි වලකට හෝ යම් වලක යම් බදු ප්‍රාණීහු වෙත් ද, ඒ සත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, භාජන සේදූ වතුර හෝ මළ සේදූ වතුරක් හෝ දමත් ද, ඒ හේතුකොට ගෙන ද පින් සිදුවන බවත්, එබැවින් මිනිසකුට දුන් කල්හි පින් සිදුවීම පිළිබඳව අමුතුවෙන් සඳහන් නොකළ යුතු බවත් ය.

පින පිළිබඳව එසේ දෙසූ බුදුරජාණන් වහන්සේ දානයක වැඩි ආනිසංසයක් ලැබෙන ආකාරය පිළිබඳ ව දෙසූහ. එනම් සිල්වතුන් විෂයයෙහි දෙන දානය ආනිසංස වැඩි බවයි. දුශ්ශීලයකුට දෙන දානයෙහි ද පිනක් සිදුවන අතර, සිල්වතුන් විෂයයෙහි දීමෙන් පිනෙහි වැඩි බවක් වේ. ඒ අනුව දුශ්ශීලයන්ට කිසිවක් නොදිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. මෙහිදී සැලකිය යුතු කාරණාව දියයුතු හෝ නොදිය යුතු පුද්ගලයින් නොව ආනිසංසයේ විපුල බවයි.

තවද, ජාති, ජරා හා මරණ ආදියෙන් අත්මිදුණා වූ, කෙලෙස් දුරුකොට නිවනට පැමිණියා වූ, රහතන් වහන්සේලාට දෙන ලද්ද විපුල ආනිසංසයක් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ තුළින් පෙන්වා දෙන්නේ සත්පුරුෂයන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිල්වතුන් කෙරෙහි දන් දෙන්නේ ද සුගතිගාමී වන්නා සේ ම නිවනට ද පැමිණෙන බවයි.

මේ ආකාරයෙන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දානයෙහි මහත්ඵලතාවය පිළිබඳව දේශනා කළහ. ඒ අනුව ආහාර ගෙන අවසන් වූ පසුව තම පිඟාන වුව ද සෝදන කල ‘මෙය ද සත්වයකුට ආහාරයක් ම වේවා’ යනුවෙන් කල්පනා කළ යුතු ය. භික්ෂූන් වහන්සේලා දන් වැළඳීමට පෙර තමන් වළඳන ආහාරයෙන් කොටසක් සත්වයින් වෙනුවෙන් වෙන් කරන ආකාරය ඔබ දැක ඇත. එය තමන් විසින් අනුභව කරනු ලබන ආහාරයෙන් පවා දානමය කුසලයක් සලසා ගත හැකි බවට වන පූර්වාදර්ශයකි. බෝසතාණන් වහන්සේ පවා ආහාර ගන්නා විට පිඟානක කෙළවරක සිට පිළිවෙලින් ආහාර ගැනීම සිදුකරනුයේ බඩගින්නෙන් පෙළෙන්නකු තමන් වෙත පැමිණියහොත් එය වුව ද පිරිනැමීමේ කුසල චේතනාවෙනි. ඉතිවුත්තක පාලියෙහි බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද කාරණයක් ද මෙහිලා දැක්වීම උචිත වේ.

“මහණෙනි, දානයෙහි ආනිසංස මා තරම් දන්නා අයෙක් වේ නම්, හේ අවසන් බත් පිඩෙන් පවා කොටසක් දන් දී අනුභව කරන්නෙක් ම වන්නේ ය”. එබැවින් සසර දුකට ප්‍රධාන හේතුව වන තෘෂ්ණාව දුරලීමෙහිලා වෙහෙසෙන්නකුට දානය තරම් පුරුදු කළ හැකි වටිනා දෙයක් නොමැති තරම් ය.

සසර බිය දැක සැමවිටම අතහැරීම පුරුදු කළ යුතු ම ය. ඒ සඳහා කාලරාමුවක් සුබ වෙලාවක්, සුබ නැකතක් තිබිය යුතු නැත. ඔබට යමක් දන්දීමට සිත් පහළ වන මොහොතේ දී ම එය සිදු කළ යුතු ය.

තම ඥාතියෙකු තවත් අයෙකුට යමක් දෙනු දුටු කල, ”ඔවුන්ට විතරයි අපට දෙන්නෙ නෑනේ” වැනි අසත්පුරුෂ ප්‍රකාශනයන් සිදු නොකළ යුතුය. ”සාධු සාධු අනුමෝදාමි” යනුවෙන් ”මම ද ඒ කෙරෙහි සතුටු වෙමි, මම ද ඒ පින අනුමෝදන් වෙමි” යනුවෙන් කල්පනා කිරීමට තරම් සත්පුරුෂයකු විය යුතු ය.

චේතනාවෙන් වුව ද අන් අයකුට ලැබෙන්නක් වළක්වාලීම නොකළ යුතු ය. ඒ කෙරෙහි ඊර්ෂ්‍යා නොකළ යුතු ය. අනුන්ට ලැබීමට ඇති දෙයක් තමන් විසින් අසාධාරණ ලෙස කඩාවඩා ගැනුමට උත්සුක නොවිය යුතු ය. තවකෙකුගේ දෙයක් අසාධාරණ ලෙස තමන්ට වුව ද ලැබෙන්නේ නම්, එය ද ප්‍රතික්ෂේප කිරීමට තරම් තමන් ධාර්මික විය යුතු ය.

තව ද, හැකි සෑමවිට ම යමක් දන් දීමට පුරුදු විය යුත්තේ ඒ සඳහා ජාති, ආගම, කුල භේදයන් කිසිවක් සැලකිල්ලට නොගනිමිනි. බඩගින්නට, අසරණකමට ඒ කිසිදු භේදයක් නොවේ. එබැවින් එසේ කටයුතු කරන්නා සේ ම සිල්වත්, ගුණවත් උතුමන් කෙරෙහි ද ශ්‍රද්ධාවෙන් දන් දී නිවන් මඟ වඩා ගැනුමට උත්සුක විය යුතු ය. අප ද සැබෑ නුවණැත්තන්, බෞද්ධ ශ්‍රාවකයන් වන්නේ නම් එසේ කටයුතු කළ යුතු ය.