Print this Article


සීලයේ සැබෑ අර්ථය දැන සිල්වත් වන්න

සීලයේ සැබෑ අර්ථය දැන සිල්වත් වන්න

අටුවාව තුළ සීලය විග්‍රහ කර තිබෙන්නේ “කාය වාචානං සමොධානං සීලං” වශයෙනි. කායික සංවරයත් , වාචික සංවරයත් සීලය ලෙස මෙහි අර්ථකථනය කොට තිබේ. එහෙත් කුමන අදහසකින් මෙය ඉදිරිපත් කළේ ද යන්න සලකා බැලීම වැදගත් වේ.

කයෙහි සංවරය යනු කය පාලනය කිරීම හෝ ක්‍රමාණුකූල ව හසුරුවා ගැනීම නම් සිරකරුවෝ ද සීලවන්තයෝ වෙති. වචනයේ සංවරය වචනය පාලනය කිරිම නම් ගොළුවෝ උසස් ම සීලවන්තයෝ වෙති. එහෙත් බුදු දහම මෙයින් පෙන්වා දෙන්නේ කය - වචන දෙකෙහි අමානුෂික පාලනයක් නොව සතියෙහි ඇති වැදගත්කම යි. එනිසා සීලය විග්‍රහ කිරීමේ දී එහි ප්‍රධාන අර්ථය ගත යුත්තේ හිරි- ඔතප් ධර්ම නිසා කය වචන දෙක හික්මවීම සීලය වශයෙනි. මෙහි මධ්‍යස්ථ බවක් පෙන්විය නොහැකි අතර ප්‍රධානත්වය ධර්මාර්ථ වශයෙන් ඉස්මතු වේ.

සැප විඳීමෙහි මධ්‍යම ප්‍රතිපදාව කුමක්දැ’යි සිතුවහොත් එහි මධ්‍යම ප්‍රමාණයක් නැත. නිවාපසූත්‍රයෙහි මුවා සහ උගුල උපමාවේ දී මීට කදිම නිදසුනක් සපයන්නේ උගුල මත නිදා සිටින මුවා වැද්දා එන විට එයින් ඉවත්ව නොපැටලී පැනයාම දැක්වීමෙනි. සැපෙහි අවමයක් හෝ උපරිමයක් බුදු දහම නො දක්වන අතර, මුවාට උගුල මෙන් සැපත තුළ ඇති දුක ද දැන ගැනීමත් එහි, අනිත්‍යතාව හඳුනා ගැනීමත් වැදගත් බව පෙන්වා දෙනු ලැබේ.

මැදුම් පිළිවෙත අංග අටකින් යුතු ප්‍රතිපදාවකි.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යනුවෙනි.

මෙම ප්‍රතිපදාව ආර්ය මාර්ගයට පිවිසෙන පුද්ගලයා ක්‍රමානුකූල ව විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වූවකු බවට පත්වන පිළිවෙල පැහැදිලි කරයි. සෑම පුද්ගලයකු තුළ ම දැකිය හැකි පොදු ලක්ෂණ වශයෙන් මේවා හඳුනාගත හැකි අතර, එහි කූමානුකුල සංවර්ධනයක් මෙම ප්‍රතිපදාව තුළින් ඇති කරනු ලැබේ. ආර්ය පුද්ගලයකු බවට පත්වීමත් සමඟ ඔහුගේ ඒකායන අපේක්ෂාව වන්නේ බුදු දහමේ පරම නිෂ්ඨාව වන නිවන අවබෝධ කර ගැනීමයි.

ඒ සඳහා මෙම අෂ්ටාංග පුහුණු කිරීමේ වැදගත්කම මධ්‍යම ප්‍රතිපදාව තුළින් පෙන්වා දේ. වචනාර්ථ වශයෙන් මෙම අංගවල ලිහිල් අර්ථයක් පෙන්වු ව ද ධර්මාර්ථ වශයෙන් පෙන්වන අර්ථයට ගෙන මැදුම් පිළිවෙත පුහුණු කිරීමෙන් බුදුු දහම පෙන්වාදෙන ආර්ය භාවයට පත්විය හැකි බව මෙම අංග විශ්ලේෂණය කොට බැලීමෙන් තහවුරු කර ගත හැකි ය.

එසේ ම, මෙම මාර්ග අට ත්‍රිශික්ෂාවට බෙදනු ලැබේ. නිවන් මඟට අදාළ පියවර තුනක් ලෙස සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව බුදු සමයෙහි පෙන්වා ඇත.

මධ්‍යම ප්‍රතිපදාවෙහි ප්‍රඥා ශික්ෂාව මුලට යෙදී ඇති බව එය අධ්‍යයනය කිරිමෙන් පැහැදිලි වේ. සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංගද්වය ප්‍රඥා ශික්ෂාවට අදාළ වන අතර, ප්‍රඥාවන්තයකුට හැර සෙසු පුද්ගලයකුට මෙම ප්‍රතිපදාව පූර්ණය කළ නොහැකි නිසා එකී අංග මුලින් දක්වා තිබේ.

එසේම, සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව යන අංගත්‍රය සීල ශික්ෂාවටත්, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන අංගත්‍රය සමාධි ශික්ෂාවටත් ඇතුළත් වේ. එසේ වුවත් මෙම ප්‍රතිපදාව එකට බැඳුණු එකක් මිස වෙන ම පුහුණු කළ යුතු නොවේ. මිනිසාගේ සදාචාරාත්මක දියුණුව පිළිබඳ ප්‍රඥාවෙන් දකින පුද්ගලයා කායික ව , වාචසික ව හා මානසික ව ද ඇති කර ගන්නා යහපැවැත්ම මේ ප්‍රතිපදාවෙහි වර්ධනය යි.

මීට අදාළ එක් අංගයක් බැහැර වූ විට සෙසු අංගයන්හි පිරිහීම ද සිදුවේ. එ නිසා මධ්‍යම ප්‍රතිපදාව අන්‍යොන්‍ය සබඳතාවයකින් යුතු ප්‍රතිපදාවක් ලෙස හැඳින්විය හැක. චතුරාර්ය සත්‍යය තුළ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා යැයි මෙම මැදුම් පිළිවෙත විවරණය කොට තිබේ. නිර්වාණාවබෝධය සඳහා වන මාර්ගප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව යි. මෙම ප්‍රතිපදාවෙහි දියුණුවත් සමඟ සම්මා ඤාණයත්, ඊට සමගාමීව සම්මා විමුක්තියත් මැදුම් පිළිවෙත පුහුණු කරන ආර්ය පුද්ගලයාට ලැබිය හැකි ය. එසේ නම් මැදුම් පිළිවෙතෙහි ගමන් කොට උතුම් වූ නිර්වාණාවබෝධය සාධනය කිරීමෙහි ලා වෙර වීරිය වැඩිය යුතු ය.