Print this Article


රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ රැකවරණය ලබන ඓතිහාසික සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය

රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ රැකවරණය ලබන

ඓතිහාසික සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වරාපිටිය නම් වූ සුන්දර, හරිත පරිසරයක පිහිටි සිත්තම් ගල්ලෙන ‍ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ 54 වැනි ඇසළ මහා පූජෝත්සවය පසුගිය ඔක්තෝම්බර් මස 16 වැනි දින සිට 21 වැනි දින දක්වා පැවැත්විණි.

අක්කර 12000 ක වන ගහණයකින් යුත් මනස්කාන්ත කඳු පේළියක නැඟෙනහිර බෑවුමේ පාමුල පිහිටි මෙම විහාරස්ථානයට සහ අවට ගම්මානවලට රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ සහ කතරගම දෙවිඳුන්ගේ රැකවරණය ලැබෙන බැවින්, පුංචි කතරගම ලෙස මෙම විහාරස්ථානය හැඳින්වීමට ද ජනතාව පුරුදු ව සිටිති.

මෙම විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම දුටුගැමුණු රජ දවස දක්වා පවතින බව විහාරස්ථ සාධක සහ ජනශ්‍රැති ව්‍යවහාරයන්ගෙන් හෙළි වේ.දුටුගැමුණු රජතුමා සොළී ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගෙන එක්සත් කිරීමට පෙර,තම සහෝදර සද්ධාතිස්ස කුමරුට ,රට ආහාරයෙන් ස්වයං පෝෂිත කිරීමට භාර කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අතර වරාපිටිය ගමට පැමිණ ඇති දුටුගැමුණු කුමාරයා ,දර්ශනීය වන පරිසරයත්,පිහිටි ගල්ලෙන් කීපයත් දැක විහාරයක් කරවීමට කටයුතු කර වූ බවට ද ජනප්‍රවාදයක් විහාරස්ථ ව පවතී.

මාතර සිට පැමිණෙන අයකුට වලස්මුල්ල මිද්දෙණිය මාර්ගයේ කිරමට පැමිණ, ඌරුබොක්ක මාර්ගයේ කිලෝ මීටර් 6 ක් පැමිණි පසු මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය. මාවරල සිට කිලෝමීටර් 8 ක දුරකින් ද, ඌරුබොක්ක සිට කිලෝ මීටර් 9 ක දුරකින් ද මෙම විහාරස්ථානය පිහිටා ඇත. දෙයියන්දර සිට හඳුගල හරහා ද මෙම විහාරස්ථානයට ළඟා විය හැකි අතර, සතර දිසාවකින් ම ගමන් පහසුකම් ඇති විහාරස්ථානයකි සිත්තම්ගල්ලෙන පූජනීය පුණ්‍ය භූමිය.

පළමුවන විජයබා රජු විසින් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කර වැව් අමුණු සෑදීමේ දී මෙම විහාරස්ථානය ද ප්‍රතිසංස්කරණය කර ඇති බවට විහාරස්ථ පින් පත්‍ර සහ ජනප්‍රවාදයන් සාක්ෂි ලෙස පවතී. තිත්ලෙන නමින් ද මෙම විහාරය හඳුන්වා ඇත. ඒ,තිත් සහිත කොටියකු මෙම විහාරයේ ගල් ලෙනක ජීවත් ව සිටි බවට ජනකතාවක් ද ඇති හෙයිනි. ගල්වල සිත්තම් ඇඳ තිබීම නිසා සිත්තම් ගල්ලෙන ලෙස නම් විය.

ක්‍රිස්තු පූර්ව 42 වැන්නෙහි වළගම්බා රජු ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ සටන්වලින් පැරදී සේනා සංවිධානය කිරීමට වසර 14 ක් රුහුණු පුරවරයෙහි ජීවත්වී ඇත.

විහාරස්ථානයේ ඉහළ විහාරයේ දහඅට රියන් සැතපෙන බුදුපිළිම වහන්සේ නමක් ද,රජ්ජුරුබණ්ඩාර දෙවියන් ඇතුලු සතර මහා දේවාල ද පිහිටා තිබේ. ඉපැරැණි බෝධීන් වහන්සේ ද විහාර ගෙය ආසන්නයේ පුද පූජා ලබමින් සිටින අතර ,ගල මත ඉදිකර ඇති චෙත්‍ය සහ කිසිදා දිය නොසිඳෙන පැන් පොකුණ ද පිහිටා තිබේ. ඉන්පසු පහළ විහාරයට මීටර් 100 ක පමණ දුරක් ඇති අතර එම ස්ථානය ආසන්නයේ ගල් ලෙනක අපාය මුර්තිමත් කර තිබේ. පහළ විහාරයේ ද දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සමඟ දෑගසව් හිමිවරුන්ගේත්,සත්සතියේත් ප්‍රතිමා මූර්තිමත් කර තිබේ.

මෙම පින්බිම දිවයිනේ නන් දෙසින් පැමිණෙන බෞද්ධයන්ගෙන් මෙන් ම, අන්‍ය ආගමික බැතිමතුන්ගේත්, දෙවියන්ගේ පිහිටාධාර ඉල්ලා පැමිණන ජනතාවගේත් ගෞරවාදරයටත්, වන්දනීයත්වයටත් පත්ව ඇත. කොරෝනා වසංගත තත්වය සමඟ අදවන විට මෙම විහාරස්ථානයේ විහාර මන්දිර පාළුවට ගොස් තිබේ. රජ්ජුරු බණ්ඩාර දෙවියන් ඇතුළු සතරවරම් දෙවියන්ගේ දේවාශිර්වාද ලබා ගැනීමට යන එන අය අදවන විට සීමා වීම ඊට හේතුව බව විහාරාධිකාරී කිරම ගුණරතන හිමියෝ පැවසූහ.

වැඩිදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ සඳහන් කළේ,“මෙම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ සිරස,ළය මඩල නිදන් මංකොල්ලකරුවන් විසින් දෙවරක් විනාශයට පත් කර ඇති බව යි. එමෙන් ම චෛත්‍යය ද නිදන් සොරුන්ගේ ග්‍රහණයට අසුව ඇති බව යි. විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක සේවයක අවශ්‍යතාවය ඇති බව ද උන්වහන්සේ සඳහන් කරති.