Print this Article


දරු සෙනෙහසක මහිමය පෙන්වූ අත්හැරීම

දරු සෙනෙහසක මහිමය පෙන්වූ අත්හැරීම

දිනක් දුප්පත් එක් මවක් තම බිළිඳා ඇකයෙහි හොවාගෙන දුර ගමනක් පිටත් වුණා. ඇය ගමන් වෙහෙසින් පීඩා වින්දා. කුසගින්න, තිබහ ආදියෙන් පෙළුණා. නිවස බොහෝ දුර නිසා දරුවා නහවා ඇයත් පැන් සනහාගෙන නැවතත් ගමන පිටත් වීමට තීරණය කළා.

මඟ දෙපස ඇළක්, දොළක් හෝ ගංගාවක් බලමින් යන ඇයට එක් විශාල මන්දිරයක් අසල පස් පියුමින් අලංකාර වුණු පිරිසුදු දියෙන් පිරුණු පොකුණක් දකින්න ලැබුණා. ඒ මව බොහෝ සතුටින් පිරී ගියා. පළමුව කුඩා දරුවා නහවා තෙත පිසදමා අලුත් ඇඳුමක් අන්දවා රෙදි කඩක් අතුරා එහි හිදුවාලූවා. අනතුරුව ඒ මවත් ඉස් හෝදා නාගන්නට පොකුණට බැස්සා. කුඩා බිළිඳා පිරිපුන් සිරුරකින් පමණක් නොව මන වඩන රූපයකින් ද යුක්ත ව සිටියා. රෙදි කඩ මත්තෙහි ඒ මේ අත දුවමින් සෙල්ලම් කරන්නට ද පටන් ගත්තා. මේ දෙස බලා සිටි එක් යක්ෂණියක් මිනිස් කාන්තාවකගේ රූපයක් මවාගෙන කුඩා බිළිඳා සමීපයට පැමිණියා. පැන් නහමින් සිටි මව අමතා මෙසේ ද විමසුවා.

‘අම්මේ, මේ දරුවා හරිම ලස්සනයි. මෙයා ඔබගේ ම දරුවෙක් ද? ". ඒ මව කාරුණික හදවතින් යුක්ත වූ තැනැත්තියක් නිසා ඉතා ළෙන්ගතුව ඇය අමතා ‘‘ඔව් අක්කේ මේ මගේ දරුවා. එයාව මුලින් ම නහවලා තමයි ඔතන තියලා තියෙන්නේ . මම ටිකක් නාගෙන එනකම්‘ යැයි පිළිතුරු දුන්නා. ක්‍රමයෙන් දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැඟුණා. අවසානයේ මිනිස් වෙස් ගත් ගැහැනිය ඒ මව අමතා මෙසේ කියා සිටියා. ‘‘අම්මේ, මේ දරුවට බඩගිනියි වගේ , මටත් පුංචි දරු පැටියෙක් ඉන්නවා. මමත් මේ බැහැරක් යන ගමන් දරුවා දැකලයි නැවතුණේ, අකමැති නැත්නම් මම දරුවට කිරි ටිකක් පොවන්නද?යි විමසුවා. දරුවාගේ මව මව් ගුණයෙන් හා කරුණාව පිරුණු හදවතින් යුතු නිසා ඇය

‘‘හොඳයි, අක්කේ පුළුවන්නම් ගොඩක් හොඳයිනේ” යි පිළිතුරු දුන්නා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඇය මව බලා සිටින තෙක් කිරි පොවා ඇය නැවතත් නෑමට පටන් ගත් විටම දරුවා වඩාගෙන පලා යන්නට පටන් ගත්තා. මව තමන්ගේ දරුවා අරගෙන යන බව දුටුවා. මහත් හඬින් කෑ ගසමින් දියරෙදි වහා මාරු කර ගෙන ඇය පසු පස දුවන්න පටන් ගත්තා. බොහෝ වෙහෙසක් ගෙන ඇය සමීපයට ළං වී මෙහෙම කිව්වා ‘‘තොප මගේ දරුවා අරගෙන කොහෙද යන්නේ? යි ඇසුවා.

එවිට මිනිස් වෙසින් පෙනී සිටින

යක්ෂණිය බියක් සැකක් නැතිව ‘‘මේ මගේ දරුවා, තොපගේ පුතෙක් මෙහි නැතැ”යි පිළිතුරු දුන්නා. මව එයින් මහත් වේදනාවට පත් වුණා. දරුවා ඉල්ලමින් කලහ කරන්න පටන් ගත්තා.

මේ කෝලාහලය නිසා ම අසල් වැසියන් ඔවුන් දෙදෙනා සමීපයට රැස් වී ඔවුන්ගේ කලහය දිහා බලමින් ගැටලුව විසඳීමට උත්සාහ කළා. එහෙත් එය කිරීමට කිසිවකුටත් නො හැකි වුණා. මේ කෝලාහල ශබ්දය අසල පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි සත් වයසැති පුංචි කුමාරයකුට ඇහුණා. ඒ මොහොතෙහි ම සෙල්ලම් කිරීම නවතා දමා තම යහළුවන් සමඟ එතැනට පැමිණ ප්‍රශ්නය කුමක් දැයි ඔවුන්ගෙන් අසා දැනගෙන මෙහෙම කිව්වා.

‘‘හොඳයි මෙතැන ගැටලුවක් තියන බව හොඳින් ම වැටහෙනවා. මට පුළුවන් මෙය විසඳා දෙන්න. හැබැයි දෙන්නම පොරොන්දු වෙන්න ඕන මම දෙන තීන්දුව පිළිගන්නවා කියා”යි පවසා සිටියා. දෙදෙනා ම එයට එකඟ වුණා. සත් හැවිරිදි පුංචි කුමාරයා පළමුව කළේ බිම දිගු ඉරක් ඇඳීමයි. අනතුරුව උපදෙස් දෙමින් ‘‘දැන් දරුවා මේ ඉර මැදින් තියන්න”යි කිව්වා. දරුවා ඉර මැදින් තැබුවාට පසු නැවතත් උපදෙස් දෙමින් බොරු මවට දෑත් අල්ලා ගැනීමටත්, ඇත්ත මවට පා දෙක අල්ලා ගැනීමටත් පවසා

‘‘ දැන් දෙන්නා ම මේ දරුවා අදින්න, යම් කෙනෙක් දරුවා ඇදගෙන අයිති කර ගතහොත් ඇයටයි දරුවා හිමි වන්නේ” යැයි කිව්වා. යක්ෂණිය දෑත්වලින් අල්ලා අදින්න පටන් ගත්තා. මවත් දරු සෙනෙහස නිසාම දරුවා ලබා ගැනීමේ අරමුණින් දරුවා ඇද ගැනීමට පටන් ගත්තා. දෙදෙනා දෙපැත්තට අදින විට වේදනාවට පත් බිළිඳා මහත් හඬින් හඬන්න පටන් ගත්තා. මවට එය ඉවසා ගත නො හැකි තැන දරුවා අත්හැර දමා පැත්තකට වී ළය පැලුණු කලක මෙන් හඬන්නට පටන් ගත්තා.

මෙම සිදුවීමෙන් පසු පුංචි කුමාරයා පැමිණ සිටි පිරිස අමතා

‘‘දරුවා කෙරෙහි ළය මොළොක් වී දරු දුක ඇතිවන්නේ වැදූ මවට ද? නැත්නම් නො වැදූ නැතැත්තියගේ ළයටද?”යි විමසා සිටියා.

බොහෝ දෙනා පිළිතුරු දෙමින් පවසා සිටියේ දරුවන් වැදූ තැනැත්තියට ම බොහෝ සෙයින් දරු දුක ඇති වන බවයි. ඉන්පසු පුංචි කුමාරයා පැමිණ සිටි පිරිස නැවතත් අමතා

‘‘මේ දරුවා වඩාගෙන සිටින තැනැත්තිය සැබෑ මෑණියන් ද? නැතහොත් දරුවා හැර දමා දුකින් පෙ‍ළෙන තැනැත්තිය මව ද?”යි විමසා සිටියා.

දරුවා හැරපියා හඬමින් සිටින තැනැත්තිය සැබෑ මව යැයි හැම දෙනාම පිළිතුරු දුන්නා. එවිට පැමිණ සිටි පිරිසත්, දරුවාගේ මවත් අමතා පුංචි කුමාරයා ‘‘තොප සියලු දෙනා මේ දරුවා සොරා ගත් සෙර අඳුනන්නේ ද?”යි විමසා සිටියා. හැමෝම ‘‘කුමරුනි, අපි නො දනිමු”යි පිළිතුරු දුන්නා. එකල්හි ඇයගේ ඇස් ඔලිඳ ඇට මෙන් රත් පැහැයක් ගෙන ඇති නිසාත්, ඇස් පිල්ලම් නො ගසන නිසාත්, ශරීර සෙවණැල්ලක් නොමැති නිසාත්, කිසිකෙනකු කෙරෙහි බියක්, සැකයක් සහ දයාවක් නොමැති නිසාත් මැය යක්ෂණියක් යැයි පිරිසට හඳුන්වා දුන්නා. අනතුරුව ඇය අමතා ‘‘තොප කවර තැනැත්තියක් ද?”යි විමසා සිටියා. එවිට ඇය කුමාරයා අමතා‘‘ස්වාමිනි, මම යකින්නක්මි යි පිළිතුරු දුන්නා. ‘‘කුමක් නිසා දරුවා සොරා ගත්තේ ද?”යි විමසූ විට ආහාරය පිණිස යැයි උත්තර දුන්නා. එවිට ඒ යක්ෂණිය අමතා

‘‘නුවණ නැති තැනැත්තිය, පෙර ආත්මවල කළ අකුසල් නිසා යකින්නක වී උපත ලබා සිටිය දීත් තවත් අකුසල් රැස් කර ගන්නේ ද?”යි අවවාද කොට පන්සිල් පිහිටුවා අවවාද කොට පිටත් කළා. කුමාරයා සමීපයට පැමිණි මව ‘‘ඔබ වහන්සේ බොහෝ කලක් සුව සේ ජීවත් වුව මැනව‘යි ආශිර්වාද කර දරුවා රැගෙන නිවස බලා පිටත් වුණා. ප්‍රශ්නය විසඳූ කුමාරයා මහෞෂධ පණ්ඩිතයෝ ය. සත් වයසැති සමයේ විසඳූ ප්‍රශ්නවලින් පුත්‍ර ප්‍රශ්නය විසාඳාලූයේ ඉහත ආකාරයෙනි.

මව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් සහ උගත් යැයි හෝ තනතුරින් උසස් යැයි හෝ ධනය ආදී මානයෙන් පිරුණු පිරිස් හෝ වුව මෙයින් ඉගෙන ගත යුතු කාරණයක් වෙයි. එනම් තමන්ට පහළ කවර ස්ථානයක කවරෙක් සිටියත්, වයසින් බාල වුවත් ප්‍රඥාගෝචර ලෙස ප්‍රශ්න විසඳන්නේ නම්, යමක් හොදින් පාලනය කරන්නේ නම්, දෙලොවට යහපතක් වන්නේ නම් එය අනුමත කළ යුතු ය. එය ක්‍රියාවට නැඟිය යුතු ය. එයින් තමාටත්, සමාජයටත්, රටටත්, ලෝකයටත්, යහපතක් ම වේ. අයහපතක් කිසිදු අයුරකින් සිදු නොවේ.එබැවින් කුඩා දරුවන්ගේ ගැටලු අවස්ථා ඔවුන්ට ම විසඳා ගැනීමට ඉඩ සැලසීම ද ප්‍රඥාවන්ත දරුවන් බිහි කර ගැනීමට හේතු වේ. අධීක්ෂණය කරමින් දරුවන්ගේ ප්‍රඥාවට ඉඩ දෙන්න.