Print this Article


පහන් සිතක කවි

අප කළ පින් – පව්

අපෙ මව්පියො අපට ලැබුණෙ
අප කළ පින් පව් අනුව ය
සැමියා – බිරිඳ අපට ලැබුණෙ
අප කළ පින් පව් අනුව ය

අපෙ දරුවන් අපට ලැබුණෙ
අප කළ පින් පව් අනුව ය
අප කරනා පින් පව් රැස
අප ම රැගෙන යා යුතු ම ය

දුප්පත් – පොහොසත් වූයේ
අප කළ පින් පව් අනුව ය
රෝගි – නිරෝගී වූයේ
අප කළ පින් පව් අනුව ය

උපත – විපත දෙකට ම
පින – පව එක සේ බලවත් ම ය
එ නිසා අප පින් කරමින්
දිවි ගෙවීම වැදගත් ම ය

ඉපදෙන විට කිසිම දෙයක් – අප නෑ අරගෙන ආවේ
මැරෙනා විට කිසිම දෙයක් – අප නෑ අරගෙන යන්නේ
නමුත් අපට නොපෙනෙන – යම් කිසිවක් අප ගෙන යන්නේ
අප කරනා පින් පව් බව – දැන්වත් වටහා ගන්නේ


සැනසුම

මුළු තුන් ලොවට තිලකය විය සමිඳු මඟ
විහිදෙයි දහම් රුස් නිරතුරු දහම් මඟ
දුක දුරු නිවා සනසන ලොව උතුම් මඟ
මල් අතුරා වඳිමු එක්කොට දෑත් යුග

පිද බුදුව පිරිනිවනට වඩින තුරූ
අප හට නොහැකි විය දැකුමට සමිඳු ගරූ
දෙසු ඒ දහම් හිරු සඳු ලොව තියෙන තුරූ
අපි පියනඟමු ඒ සම්බුදු මඟෙහි ගරූ

සසරට බිය නොවී බුදුබණ සිහි කරනා
ලෝ සත ලබති සැනසුම් සුව මහ කරුණා
නිවනින් නිවෙන්නට නිරතුරු වැර දරනා
සත්වග ලබති අර්හත්ඵල දුක නිවනා

සම්බුදු මඟුල සිහි කරනා වෙසක් දිනේ
විහඟුන් පවා මුමුණයි බුදු සමිඳු ගුණේ
දහසක් මල් පිපී හදවත් සුවඳ වුණේ
බුදු බණ අසා සැනසෙමු අපි දම් නිවනේ


පරසතු මලක් හමු විය මල් මිටි අතර

පුන් පොහො දිනක පින් සිතිවිලි අවදිකර
දෙදණින් වැඳ වැටී දෝතම මුදුන්කර
සැදැහෙන් පිරී බුදු හිමි ගුණ මෙනෙහි කර
මා ගියෙ වන්දනාවට ගැටඹේ වෙහෙර

මල් මිටියක් ගන්න මගෙනුත් මල් ගන්න
කියමින් අවදි කළ හඬ මල් විකුණන්න
පැහැබර මුහුණ ඇති පොඩි දරුවෙකි ඉන්න
මගෙ සිත දුර ගියා මෙත් කරුණා පිරුණ

සිප්සත ඉගෙන මිණිපහනක් වෙන්න ලොවේ
ඔබ මතු දිනෙත් මල් විකිණිය යුතු ම නොවේ
ගනු මැන සිතට කරනට බැරි දෙයක් නොවේ
මෙම ඔවදන මතු යහපත පිණිස ම වේ

මෙ ලෙසින් කියා හිස අත ගා කරුණාවෙන්
මල්මිටි දෙකක් ගත්තෙමි එම දරුවාගෙන්
මේ මල්මිට ගන්න අම්මේ මං ගානෙන්
කියමින් මල් මිටක් ගෙන දුන්නා මේසෙන්

මල්මිටි තුනට මිල ගෙව්වෙමි තුටු සිතිනී
මිල අය කළේ මල්මිටි දෙකකට පමණී
මගෙ ඔවදනට ගරු කර මට බැති සිතිනී
මා වෙත හිස නමා සතුටින් සිනාසුණී

තවමත් නොතේරෙන හරිහැටි හය හතර
අසරණ දිළිඳු මේ දරු පැටියා විතර
සුදනන් සෙවුම දුලබ ය මිනිසුන් අතර
පරසතු මලක් හමුවිය මල්මිටි අතර


අලුත් දවසකට

නව හිරු කිරණ අරුණෝදයෙ දිලෙන විට
පුබුදයි සිත් සතන් සැමටත් පළමු කොට
අවදිව නිතින් සොඳ සිතුවිලි පෙරටු කොට
පිවිතුරු ලෙසට සැරසෙමු නව දිනේ කට

ඉගිලෙන විටදි සියොතුන් තුරු ගොමු අස්සෙන්
ටික ටික කිරණ විහිදෙහි පෙරදිග පැත්තෙන්
මේ මොහොතෙවත් අවදිව නොකැළැල් චිත්තෙන්
සිටිතොත් කෙනෙක් පිරිපුන් වේවිය ඇත්තෙන්

මුහුණ කට දොවා පළමුව පිරිසුදු වී
තෙරුවන් නැමැද යහපත් සිතුවිලි හුරුවී
දෙපා නැමද මව්පියනගෙ එක්සිත් වී
ජාතිය ගැන සිතනු වැඩකර එඩිතර වී


නිවනෙහි දොර ඇරගන්න

මිනිසත් බව ලැබුණෙ පෙර පිනකට අපට
එහි ඵල ලබමු වඩවා කුසලය හනික
දුරු කර කෙලෙස් මළ ලද හැම මොහොතක ම
කෙටි කර ගමු සසර වඩලා නිවන් මඟ

මිනිසත් බව ලැබුණෙ සසරේ පින් බලයෙන්
සතුටුයි බුදු දහම ඇත තවමත් සවියෙන්
යුතුකම් ඉටු කරමු කාටත් ඇති සැටියෙන්
ඒ පින ඉතිරී වෙයි මතු භවයට වැඩියෙන්

පසිඳුරු පහස මං පෙන්වයි අපායට
මිනිසුන් නිති ඇලේ ඒ රුදු මුලාවට
බිඳලා බැඳ තබන පසිදුරු රැහැන් පට
වීරිය වඩමු අප සසරින් මිදෙන්නට