Print this Article


ප්‍රශ්නවලට හොඳම විසඳුමසොයා ගන්නේ මෙලෙසයි

ප්‍රශ්නවලට හොඳම විසඳුමසොයා ගන්නේ මෙලෙසයි

ජීවිතයේ මුහුණ දෙන අනේකවිධ ප්‍රශ්න නිසා අප බොහෝවිට පීඩා විඳීනවා. ඒ, ගැටලුවලට නිවැරැදි පිළිතුරක් සොයා ගැනීම අපහසු නිසයි. එහෙත් ශී‍්‍ර සද්ධර්මය තුළ සෑම ප්‍රශ්නයකට ම හොඳම විසඳුමක් තිබෙනවා.

නුවණැති පුද්ගලයාට ඒ විසඳුම් කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ තමාගේ ජීවිතය ධර්මය වෙනුවෙන් කැප කළොත් පමණ යි.

බුදුරජාණන් වහන්සේ එක් කාලයක කපු වනයක වැඩ සිටියා. එදා තරුණ තරුණියන් පිරිසක් විනෝද චාරිකාවකට ඒ කපු වනයට පැමිණියා. ඔවුන් විනෝද වෙමින් වනයේ සිරි නරඹමින් කාලය ගත කළා. එක් අවස්ථාවක මේ පිරිසෙන් එක් ගැහැණු ළමයෙක් වෙන්වුණා. අනෙක් සියලු දෙනා ආභරණ ගලවා දිය නාද්දී ඒ සියලු ආභරණ රැගෙන ඇය පලා ගියා. දියෙන් ගොඩට ආ ඒ තරුණයන් සිදු වූ දේ තේරුම් ගෙන ඇය සොයා ගියා. ඒ තරුණිය පසුපස ඔවුන් ලුහුබැන්දා. එවිට ඔවුන් දුටුවා භාග්‍යවතුන් වහන්සේ රුක් සෙවණක වැඩ හිඳිනවා. මේ වැඩ සිටින්නේ සතහට සෙත සලසන බුදුරජාණන් වහන්සේ බව මේ තරුණයන් දැන සිටියේ නැහැ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසා සිටියා

“ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේ දුටුවා ද මේ පැත්තෙන් කාන්තාවක් දිව යනවා”

“දරුවෙනි, වඩා වැදගත් වන්නේ බාහිර කෙනෙක් ගැන සොයන එක ද? නැතිනම් තමන් ගැන සොයන එක ද?

ඒ කුමාරවරුන්ට ඒ වචන ටික තේරුණා.

“ස්වාමිනි වඩාත් වැදගත් වන්නේ තම තමා ගැන සොයා ගැනීම යි. ස්වාමිනි අපි කැමැතියි අපි ගැන සොයන ආකාරය ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න. අපේ ප්‍රශ්න දකින්න. ස්වාමිනි, ඒ සඳහා අපට උදව් කරන සේක්වා” යි ඔවුන් ඉල්ලා සිටියා.

භාග්‍යවතුන් වහන්සේ තමන් ගැන සොයන අයට වැදගත් වන ධර්මය දේශනා කළා. ඒ තරුණයන් සියලු දෙනාට තමන් ගැන අවබෝධ කර ගන්න අවස්ථාව ලැබුණා.

එනිසා අපත් සිතිය යුතු වන්නේ අපි සියලු දෙනා සමඟ එකට ජීවත් වුණත් ජීවත් වීම සම්බන්ධයෙන් ගත්විට තමා තනි කෙනෙක්. මේ ලෝකයේ මහා ජනගහනයක් සමඟ යි අපි ජීවත් වෙන්නේ. එහෙත් ජීවිතය කියන දේ සම්බන්ධයෙන් එක් අයෙක් පමණ යි. කෝටියක් ප්‍රජාව අතර සිටිද්දී අපේ ජීවිතය පෞද්ගලික යි. හැම අර්බුදයක් ම, සෑම ප්‍රශ්නයක් ම, සෑම දුකක් ම, සැපක් ම අපට පෞද්ගලික යි. ඒ පෞද්ගලිකව අප වෙත එන ප්‍රශ්නය අපට පෙනෙන්නේ තම තමන් ගැන සොයන්න පටන් ගත්තොත් පමණ යි.

අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ එතුමාණන්ගේ ජීවිතය ගත කළ ආකාරය අප අසා තිබෙනවා. මහ බෝධිසත්වයන් දිනක් තමා රථාචාරියා සමඟ උයන්සිරි නැරඹීමට උයනට යමින් සිටියා. සිරි නරඹන්නට යන මහා බෝසතුන් වහන්සේට දකින්නට ලැබුණේ දිරා ගිය මිනිසෙක්. කායික ශක්තිය නැති දුර්වල, වැහිරීගිය, තව කෙනෙක් දකින්නට පි‍්‍රය නැති වෙව්ලන රූපයක්. බෝසතාණන් වහන්සේ රථය නවතා රථාචාර්යාගෙන් “ඒ කවුද” කියා විමසුවා.

“කුමාරයාණෙනි, ඒ වයසට ගිය කෙනෙක්.”

“රථාචාර්ය, ඔහු වගේ ම අපත් වයසට යනවා ද?”

“කුමාරයා‍ණෙනි, අපි හැමෝ ම වයසට යනවා”

“මමත් වයසට යන කෙනෙක් ද?”

“එසේය කුමාරයාණෙනි, ඔබත් වයසට යන කෙනෙක්”.

එවිට බෝසතාණන් වහන්සේ සිතන්නට ගත්තා. එසේනම් මමත් වයසට ගිහින් අසරණ වෙන කෙනෙක් ද? ලෙඩෙක් දකිනවිට හිතුවා මමත් ලෙඩ වෙලා අසරණ වෙන කෙනෙක්. මිය ගිය කෙනෙක් දුටු විට සිතුවා එසේනම් මමත් කවදා හරි මරණයට පත්වෙන ‍කෙනෙක් කියා.

අප දන්නවා තරුණ තරුණියන් ඉතාමත් සුන්දර ව සැරසිලා පී‍්‍රතියෙන් ජිවිතය ගත කරනවා. ඒක ජීවිතයේ එක් පැතිකඩක්. ඒ වගේම අපි දන්නවා තරුණ වය‍සේ දී ම තව කෙනෙක් දරුණු රෝගයකට ගොදුරු වෙලා අසරණ වෙනවා. ඒ ජීවිතයේ තවත් පැතිකඩක්. තමා ගැන හිතෙන කෙනකුට තේරෙනවා අනුන් ලෙඩ වෙනවා වගේ ම මගේ ජීවිතයත් ලෙඩ වෙනවා. එවිටයි ශී‍්‍ර සද්ධර්මයේ අවශ්‍යතාව වැටහෙන්නේ. බාහිර අයගෙන් බාහිර දේ ගැන මේ ලෝකයේ පවතින දේ ගැන සෙව්වාට, අපට මොකටද ධර්මයක් කියා සිතුවාට, අපට බුදු බණ ඕනෑම ද කියා කතා වුණාට, කල්‍යාණ මිතුරු ඇසුරක් ඕනෑම ද? කියා සිතුවාට ජීවිතයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ බොහෝ ම ධනවත් සිටුපවුල්වල තරුණ කාන්තාවෝ පිරිසක් විනෝද චාරිකාවක් යාමට කතබහ කර ගත්තා. යොදාගත් දිනයේ විනෝද වීමට පිටත් වුණා. මඟදී ඔවුන්ට විශාඛා උපාසිකාව මුණ ගැසුණා. විශාඛා මහා උපාසිකාව කියූවිට ඔබට සිතේවි කොණ්ඩය සුදු වූ, උතුරු සළුවක් කරේ දා ගත්, වයසට ගිය, හැරමිටිය ගසමින් විහාරයට යන උපාසිකාවක් කියලා. එසේ නොවේ. ඇය ඉතා ධනවත් සිටු පවුලක ඉතා සුන්දර රූපයක් තිබුණ තරුණ කාන්තාවක්. ඇයට උපාසිකා කිව්වේ ඇය තෙරුවන් සරණ ගිය නිස යි. ඒ වගේ ම ඇය මහා ආනුභාවසම්පන්න යි.

විශාඛා මේ කාන්තාවන්ගේ රථය නැවැත්වූවා.

“මිතුරියනි, ඔබලා කොහිද මේ යන්නේ”

“අපි හැම දෙනාම සතුටු වෙන්න විනෝද ගමනක් යනවා”

“ඔබලාට ඒ සඳහා හොඳම සැවැත්නුවර ජේතවනාරාම ය යි. අපි යමු ජේතවනාරාමයට” කියා විශාඛා යෝජනා කළා. අර කාන්තාවන්ට බැරිවුණා ඇයගේ වචනය ප්‍රතික්ෂේප කරන්න. අකමැති වුවත් නැවත හැරී ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමය හරි ලස්සන යි. එහි සිරි නරඹා අවසා‍නයේ දී විශාඛා කියනවා “අපි පිටත්වීමට පෙර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ පදයක් අහලම යමු. ඔබලා බණ මඬුවේ සිටින්න. මම භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කර එන්නම්” කියා විශාඛා පිටත් වුණා. අර පිරිසේ එක් කාන්තාවක් කිව්වා

“අපට මොකටද ධර්මය. අපි ආවේ සතුටුවීමට මිසක් ධර්මයක් සොයාගෙන නොවේ”. සියලු ස්තී‍්‍රන් එය අනුමත කළා. “ධර්මයක් අපට වැඩක් නැහැ අපට මුදල් තිබෙනවා. සමාජත්ත්වයක් තිබෙනවා. අපි තරුණ යි. ලස්සන යි. අපි ව හැම කෙනෙක් ම පිළිගන්නවා. අපට මොකටද ධර්මයක්.”

එවිට තව කාන්තාවක් කිව්වා “අපි ආවේ විනෝද වෙන්න. එනිසා අපි ගෙන ආ මත්පැන් බී විනෝද වෙමු” කියා සැවැත්නුවර ‍ජේතවනාරාමයේ දී ඒ කාන්තාවෝ මත්පැන් පානය කළා. මත් වුණා. මත් වී සිටිද්දී භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ දහම් දෙසීමට සූදානම් වෙද්දී මේ කාන්තාවෝ විකාර කරමින් කෑ ගසන්නට, සිනාසෙන්නට පටන් ගත්තා. මහා කාරුණිකයන් වහන්සේ තමන් වහන්සේගේ සෘද්ධියෙන් ඝණ අඳුරක් මැව්වා. ඒ අන්ධකාරය කෙ තරම් ද කියනවානම්ළඟ සිටින පුද්ගලයාට ළඟ සිටින පුද්ගලයා නොපෙනෙන තරම් තද අන්ධකාරයක් වුණා. අඳුර පැමිණි විගස ඔවුන් තනි වුණා. තනි වූ ගමන් ප්‍රශ්න පෞද්ගලික වුණා. දැන් ඒ කාන්තාවන් අපි, අපි කියා සොයන්නේ නැහැ. දැන් තමා ගැනයි සොයන්නේ ඔවුන් කො තරම් බියට පත් වුණා ද කිව්වොත් ඔවුන්ගේ මත් ස්වභාවය නැතිවුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා

“කොක් හඬලමින් සිනාසිසී මොනවාද මේ සොයන දේ. සන්තෝෂයක් කියලා පිරිසක් සමඟ එකතු වෙලා කුමක් පස්සේ ද යන්නේ? වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, පි‍්‍රය කරන අය අහිමිවීම ආදි ගිනි ගොඩක් ජීවිතයේ තිබෙද්දී රාග, ද්වේෂ, මෝහයෙන් බැට කද්දී , ගින්දරෙන් දැවි දැවී අන්ධකාරයක් තුළ බැසගෙන මොනවාද සොයන්නේ? අඳුරේ සිටින ඔබ පහනක් සොයන්නේ නැද්ද?”

කාන්තාවන්ට මෙය හොඳීන් තේරුණා. තමාගේ ජීවිතයට එළියක් අවශ්‍ය බව ඔවුන් සිතුවා. ඔවුන්ට අවශ්‍ය ආලෝකය බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා.

එනිසා ඔබත් තමාගේ ප්‍රශ්නය හඳුනා ගන්න. තමන්ට ඇයි ධර්මය අවශ්‍ය යැයි කියා සිතන්න. එවිට ඔබට තමාගේ ප්‍රශ්නයට විසඳුමක්, සැනසීමක්, ලබා දෙන බුදුරදුන්ගේ උතුම් සද්ධර්මය මුණ ගැසේවි.