Print this Article


භික්ෂූන් වහන්සේ සුපේශල ශික්ෂාකාමී ගුණයෙන් පරිපූර්ණ විය යුතු යි

භික්ෂූන් වහන්සේ සුපේශල ශික්ෂාකාමී ගුණයෙන් පරිපූර්ණ විය යුතු යි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ භාෂා අධ්‍යනාංශ ප්‍රධාන කොබෙයිගනේ මීගස්වැව ඉහළගම ජයන්ති පියරතනාරාමාධිපති කුරුණෑගල මහ දිශාවේ උප ප්‍රධාන සංඝ නායක මහාචාර්ය අලහේනේගම සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී යතින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ ශාසන දායාදය ලබාගත් ආකාරය සිහිපත් කරමින් ම සාකච්ඡාව ආරම්භ කරමු අපේ නායක හාමුදුරුවනේ,

මා අද මේ තත්ත්වයට පැමිණ සිටින්නේ හැදූ වැඩූ මව්පියන්, සසුන්ගත කළ ගුරු දෙවියන් , ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ ගිහිපැවිදි ආචාර්යවරුන් වගේම නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ දායක පින්වතුන් ඇතුළු කළණ මිතුරු පිරිසකගේ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අලහේනේගම නම් වු සුන්දර ග්‍රාමවරයක වර්ෂ 1952 ක් වූ ඔක්තෝම්බර් මස 17 වැනි දින ජන්මලාභය ලැබුවා. තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචිරාළ පියතුමා සහ අධිකාරී මුදියන්සේලාගේ පොඩි මැණිකේ යන සදාදරණීය මව්පියන් බොහොම ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සැදැහැවතුන් දෙපළක් බවත් ප්‍රකාශ කළ යුතුයි. අලහේනේගම රජයේ පාසල තුළ අකුරු කළ පුංචි ළමා වියේදී සිටම ගමේ විහාරස්ථානය ඉතා සමීපව ඇසුරු කළා.

අලහේනේගම විහාරස්ථාන ළමා සමාජයේ පුංචි ධර්ම කතා පවත්වමින් ක්‍රියාශීලී දරුවකු වශයෙන් කටයුතු කිරීම නිසා එයට පැහැදුණු ලොකු හාමුදුරුවන් මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව මාව විහාරස්ථානයට කැඳවාගෙන ගොස් කවි කතා බණ දහම් කියාදෙමින් විහාරස්ථානයේ සිට පාසල් යැවීමට කටයුතු කළා. මා තුළ පැවැති දින චර්යාවට හා කල්කිරියාවට පැහැදුණු ලොකු හාමුදුරුවන් සසුන්ගත වීමට අවශ්‍ය ධර්ම කරුණු කියා දෙමින් වත්පිළිවෙත් පුරුදු පුහුණු කළා. 1967 වර්ෂයේ ජූනි මස 27 වැනි දින මීගස්වැව ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්වැව අභිනවාරාමය සහ සුනන්දපුර මීගස්වැව පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති වේපත්තංගේ ශ්‍රී පියරතන ගුරුදේව මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා ලෙස ශාසනික දායාදය ලබා ගත්තා. නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ පැවිදි දිවියට ආචාර්ය වූ විහාරාධිපති ගෞරවාර්හ වේපත්තංගේ ශ්‍රී පියරතන මහා ස්වාමීන්ද්‍රයන්ගේම ආචාර්යත්වයෙන් 1972 වර්ෂයේ ජූනි මස 14 වැනි දින මහා විහාරයීය ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උතුම් උපසම්පදා සීලයෙහි පිහිටියා.

‍ ඔබ වහන්සේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළ ආකාරයත්, ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි නියැළීමත් පිළිබඳ තොරතුරු කෙටියෙන් සඳහන් කරනවා නම්, නායක හාමුදුරුවනේ,

ගරු සම්භාවිත කීර්තිමත් යතිවරයකු වූ පණ්ඩිතාචාර්ය හක්ගමුවේ ශ්‍රී රතනාලංකාර තෙරපාණන් වහන්සේ එකල පිරිවෙන්පති පදවිය දැරූ කොබෙයිගනේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ සද්ධර්මෝදය පිරිවෙනින් මුලික පැවිදි අධ්‍යාපනය සපුරාගනිද්දී පණ්ඩිතාචාර්ය ගරු සම්භාවිත ගැටදිවුල්වැවේ ශ්‍රී සෝමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද එම කටයුතු හොඳීන් අධීක්ෂණය කළා.

එම යතිවරයන් සෙවණේ ප්‍රාථමික,ප්‍රාචීන විභාග සමත් ව පාදෙණිය සඟ පරම්පරාවේ කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කටුමුල්ලේ ශ්‍රී සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුදැනුමෙන් හා මඟ දැක්වීමෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ම ශාඛාවක් වූ පන්නිපිටි‌යේ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් වුණා. එම විද්‍යා නිකේතනයේ එවකට වැඩ විසූ වියත්පත් ඇදුරුපාණන් වූ ගෞරවාර්හ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත, ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මා හිමි ආදී බහුශ්‍රැත මහ තෙරුන් වහන්සේලා වෙතින් ශබ්ද ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේ දුර්ලභ වාසනාව හිමි කර ගත් මම ප්‍රාචීන උසස් පෙළ, ප්‍රාචීන මධ්‍යම විභාග හොඳීන් සමත්ව 1976 වර්ෂයේ දී උසස් පෙළ සමත් විද්‍යාර්ථයකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

සිංහල පිළිබඳ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරතවෙමින් සිංහල සාහිත්‍ය සංගමයේ නිලතල දරමින් මුලික විෂයය අධ්‍යයනයට පරිබාහිරව රුසියන් භාෂා දෑඅවුරුදු පාඨමාලාව සමඟ අපරදිග භාෂාවන් අධ්‍යයනය කළා. සිංහල විෂය පිළිබඳ විශේෂවේදී ගෞරව සමාර්ථයක් සහිතව සමත්ව 1981 වර්ෂයේ දී සී. කේ ජයනායක ත්‍යාගයද ලබා ගත්තා. 1985 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, 1989 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකය,1987 වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ,2000 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී ආචාර්ය උපාධිය ලබා ගත්තා. 2000 වර්ෂයේ දී එංගලන්තයට වැඩම කොට ජාතික අධ්‍යාපන පීඨ පිළිබඳ කළමනාකරණ සහ පරිපාලන පාඨමාලාව, 2004 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යයන කාර්ය මණ්ඩල හා සංවර්ධන පාඨමාලාව ද හැදෑරුවා.

අනතුරුව 1981 වර්ෂයේ දී ධර්ම ශාස්ත්‍රීය සේවය ආරම්භ කරමින් නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරතන මහ පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් එම පරිවේණස්ථානය සමස්ත ශ්‍රී ලංකාවේ කීර්තිමත් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළා. 1991 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන විද්‍යාපීඨය යටතේ ක්‍රියාත්මක වන හැටන්, පතන, ශ්‍රීපාද අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු වශයෙන් අධ්‍යාපන සේවයෙහි ව්‍යාපෘත වූවා සේ ම 1992 වර්ෂයේ දී එම ආයතනයේ ම උප පීඨාධිපති තනතුරු හොබවමින් 2000 වර්ෂයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ පළමු ශ්‍රේණියට පත්වුණා.

වසර 11කට අධික කාලයක් විද්‍යාපීඨ ආචාර්යවරයකු වශයෙන් මහඟු ජාතික මෙහෙවරක් සලසාලමින් 2002 වර්ෂයේ දී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂූ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් විශ්ව විද්‍යාල සේවයට දායකවෙමින් 2009 වර්ෂය දක්වා ම සේවය කරමින් සිට කුසලතා මත ශ්‍රී ලංකා භික්ෂූ විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙස පත්වීම ලබා ගත්තා. ඒ අනුව වර්තමානය වන විට එම විශ්ව විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ භාග්‍ය ලබාගත්තා. 2002 වර්ෂයේ සිට 2017 දක්වාම එම තනතුරට බාහිරව අධ්‍යයන කටයුතු වගේම විවිධ තනතුරු දරමින් සේවය කරමින් 2003, 2004, 2005, 2007, 2008 යන වර්ෂවල වරින්වර වැඩබලන මහෝපාධ්‍යාය තනතුරෙහිද, රාජකාරී කිරීමට තරම් පරිණත වුණා. 1991 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා මහරගම ජාතික අධ්‍යාපන ආයතනය වගේ ම, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයකු ලෙස මා වෘත්තීය ජීවිතයේ කඩඉම් සලකුණු කළා.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සනාතන සභා සමාජිකයකු, පාලක සභා සාමාජිකයකු, කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් පාලක සභා සාමාජිකයකු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභා සාමාජිකයකු, පාලක සභා සාමාජිකයකු , ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සමාජිකයකු , නාත්තණ්ඩිය,කොබෙයිගනේ ශාසනාරක්ෂක බලමණ්ඩලයන්හි සාමාජිකයකු හා කොබෙයිගනේ සත්කෝරළයේ සියම් මහා නිකායේ සංඝ සභාවේ අනුශාසකත්වය දරමින් ජාතික ආගමික ශාසනික වශයෙන් විශාල මෙහෙවරක නිරතවෙනවා.

වියත් පඬිරුවනක් වශයෙන් ශාස්ත්‍රීය ලෝකයට දායාද කළ ග්‍රන්ථ පිළිබඳ කෙටි සඳහනක් කරන්න හාමුදුරුවනේ

වෙස්සන්තර ජාතක කාව්‍ය විචාරාත්මක සංශෝධනයක් ග්‍රන්ථය ඇතුළත්ව ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ සම්භාව්‍ය ශාස්ත්‍රීය ලේඛන අඛණ්ඩ ව වාර්ෂික ව පළකිරීමට කටයුතු කළා.

හේමමාලා රන්දුනු