Print this Article


පැරැණි පඬි පරපුරේ මිණිපහන රුහුණේ මහා යතිවරයාණෝ අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි

පැරැණි පඬි පරපුරේ මිණිපහන රුහුණේ මහා යතිවරයාණෝ

අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි

අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් අපවත්වී දෙසැම්බර් පළමු වැනි දිනට දස වසරක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දිනය එකදහස් නවසිය අනූ හතරේ ජුනි මස දහසය වැනි දා ය. පස්වරු යාමයේ මාතර බෝධිරාජ මණ්ඩපීය ධර්ම මන්දිරය රුහුණෙන් මෙන්ම දිවයිනේ නන් දෙසින් රැස් වූ ගිහි-පැවිදි වියතුත්ගෙන් පිරී පැවතිණ. පුරාවිදු සක්විති මහැදුරු කඹුරුපිටියේ වනරතන මහ නාහිමියෝ වියත් සබයේ මුලසුන බැබළවූ හ. මහැදුරු සුචරිත ගම්ලත් සූරීන් සබයේ මුල් දෙසුම ඇරඹූයේ මෙවැනි පිවිසුමක් ලබා ගනිමින් ය.

“අද දින ජන සම්මානිත වන්නා වූ අත්තුඩාවේ සිරි රාහුල අනුනාහිමියෝ මෙරට පැරැණි පඬි පරපුරේ අවසාන පුරුකෙහි එක් සංචරකයක් වෙති. පැරැණි ශාස්ත්‍ර සම්ප්‍රදායත්, එය අවිච්ඡින්නව පැවැත් වූ පඬි පරපුරත් මේ වනවිට වේගයෙන් අතුරුදහන් වන බව සංවේගයෙන් සඳහන් කළ යුතු ය.”

ඉහත අතීත මතකය අවදිවූයේ පසු කලෙක ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක පදවියට සේ ම රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට ද පත් වූ රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අප ගුරුදේවෝත්තම අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපතින් පන්සැත්තෑවසක් සපිරීම වෙනුවෙන් මාතර දී පැවැති උපහාර උළෙල පිළිබඳව යි.

මහැදුරු ගම්ලත් සූරීන් එදා පැරැණි පඬි පරපුරේ අවසාන පුරුකෙහි එක් සංචරකයක් ලෙස හැඳීන් වූ අප මහ නා හිමි වර්ෂ 2011 දෙසැම්බර් මස 01 වැනි දා අනපේක්‍ෂිත ලෙස අපවත් වූ බැව් සැල වූ මෙ රට ගිහි පැවිදි සකල සාධු ජනයා මහත් සේ කම්පනයට පත්වූයේ එය රෝහණ සංඝ සභාවට පමණක් නොව සම්බුද්ධ ශාසනයටත්, සිංහල භාෂා සාහිත්‍යාදියටත් සිදු වූ බලවත්ම පාඩුවක් වූ හෙයිනි.

රටත්, දැයත්, සමයත්, සාහිත්‍යයත් එකම ධනය කොටගත් අප මහ නාහිමි උපත ලැබුවේ වර්ෂ 1919 දෙසැම්බර් 19 වැනි දා ය. උන්වහන්සේ ගේ දෙමව්පියන් වීමට භාග්‍යය ලැබුවේ මාතර නිල්වලා ගඟ අසබඩ අත්තුඩාව නම් සුන්දර ගම් පියසෙහි විසූ ඩී.ජේ. හේවානාදුගල මහෝපාසක මහතා හා ඩී.ජේ.එම්. අබේසේකර මහෝපාසිකා මාතාව ය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා වර්ෂ 1924 ජනවාරි මස 06 වැනි දින පාලටුවේ ගුණරතන විදුහලට ඇතුළත් විය. වර්ෂ 1932 වෙසක් මස 20 වැනි දා මාතර අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වූයේ ඇටම්පල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි. දික්වැල්ලේ දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයාණෝ වූ හ.

වර්ෂ 1940 ජුනි මස 02 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයෙන් සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ අතර, එහි දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ චරිතාපදානය “සිරි සරණංකර සංඝරාජාපදානය” නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝ සභාවට ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමක් විය. මෙවැනි පාලි ගාථා ප්‍රබන්ධයක් කිරීම ගැන සංඝ සභාවේ ප්‍රසාදය පළ කරනු සඳහා ලේඛකාධිකාරී හැරමිටිගල ධීරානන්ද අනුනාහිමි කෙටි දෙසුමක් පවත්වා තිබේ. එහි දී සිංහල රජ කාලයේ නම් මෙම සමත්කමට ගම්වර ප්‍රදානයක් කරන බැව් පවසා ඇති අනුනාහිමි කාරක සංඝ සභාව වෙනුවෙන් අට පිරිකරක් පූජා කොට ඇත.

මහ නාහිමියන්ගේ ජීවිතය වඩාත් ආලෝකවත් කෙළේ සිරිලක පහළ වූ අග්‍රගණ්‍ය පඬිරුවනක් වූ මහාවංසයේ තෘතීය භාගය රචනා කළ අතිපූජ්‍ය යගිරල ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරට පත්වීමෙන් පසුව බව උන් වහන්සේ නිතර නිතර මහත් ගුරු බැතින් සඳහන් කර සිටිනු අපි අසා ඇත්තෙමු.

එසේම දිවයිනේ කොතැනක හෝ අලුත් පොතක්, පත්‍රයක් පළ වී නම් එහි පිටපතක් යගිරල නාහිමියන්ට නොපමාව ම ලැබිණි. මෙසේ පිරිවෙනේ ඉගෙන ගන්නා අවධියේ දී ම මේවා පරිශීලනය කිරීමට ලැබීමෙන් මහනාහිමියන් ගේ සිත භාෂා සාහිත්‍යාදිය කෙරෙහි ගැඹුරින් හැදෑරීමට නිතැතින් ම යොමු විණ. එම දැනුම අනුක්‍රමයෙන් දියුණු වී යත් ම එවක පුවත්පත් සඟරාදියට උන් වහන්සේ ගැදි-පැදි නිර්මාණ ඉදිරිපත් කළ හ. මුලින් ම කාව්‍ය නිර්මාණයක් පළවූයේ සෝමවීර චන්ද්‍රසිරි මහතාණන් ගේ සංස්කාරකත්වයෙන් නිකුත් වූ “සරසවි සඳරැස” පත්‍රයේ ය. පසුව සිංහල බෞද්ධයා, සිළුමිණ ආදී පුවත්පත්වලට උන් වහන්සේ නිතර නිතර ගැදි-පැදි නිර්මාණ යොමු කළ හ.

උන් වහන්සේ ගෝනගල සුධර්මාකර පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කලක් සේවාවෙහි නිරතව සිටියහ. වලස්ගල සිරි සරණංකර පිරිවෙන ආරම්භයේ සිට එය ලියාපදිංචි කිරීම දක්වා එහි පරිවේණාධිපති ලෙස ද කටයුතු කළ හ. රත්මලානේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු ඒ සඳහා තෝරාගත් ප්‍රථම කණ්ඩායමට ඇතුළත්ව දෙවසරක පුහුණුව නිමවීමෙන් පසුව ප්‍රවීණාචාර්ය සහතිකය ද ලබා ගත් හ. මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීමෙන් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

වර්ෂ 1959 දී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ශාස්ත්‍රවේදී උපාධියෙහි තත්ත්වය ලබා දී මහා විද්‍යාලවල ගුරු පත්වීම් ලබාදීමේ දී එහි ප්‍රථම කණ්ඩායමට අයත්ව රජයේ පාසල් ගුරු සේවාවට පිවිස අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයෙහිත්, මාතර ගොඩඋඩ මහා විද්‍යාලයෙහිත්, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙහිත් ගුරු සේවාවෙහි නිරතව සිටිය හ. රජයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ඇරඹූ මුල් කාලයේ ම එයට බැඳී කලක් එහි ග්‍රන්ථ සම්පාදනයෙහි යෙදී සිටිය හ.

මෙසේ ක්‍රියා කරන අතර කුඩා අවධියේ පටන් ම උන් වහන්සේ ඇරැඹි සාහිත්‍ය නිර්මාණකරණය අඛණ්ඩව ම පවත්වා ගෙන ගිය හ. එය මල්පල ගැන්වූයේ අඩසියයකට අධික වූ ධර්ම ශාස්ත්‍රීය, සිංහල සාහිත්‍ය හා කාව්‍ය ග්‍රන්ථ රාශියක් රචනා කිරීමෙනි.

භාෂා ශාස්ත්‍ර ප්‍රවීණ විද්වතකුගෙන් ඉටුවිය යුතු සුවිශේෂී සේවාවක් වන ග්‍රන්ථකරණය මහ නා හිමි ඉතා විශිෂ්ට ලෙස ඉටුකර ඇති බව මෙයින් පැහැදිලි ය. තව ද විචිත්‍ර ධර්ම දේශකයකු ලෙස ගුවන්විදුලි ආගමික වැඩ සටහන් යටතේ ධම්ම චින්තා, බෞද්ධ කතා, ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වූ හ. දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස ද දීර්ඝ කාලයක් ක්‍රියා කළ හ.

පැරැණි කවි සමයෙන් හා කොළඹ කවියෙන් ආභාසය ලැබූ මහනාහිමියෝ සිව්පද කවි මඟ අනුගමනය කළ හ. නිරුත්සාහයෙන් යොදන එළිවැටෙන් ද සාම්ප්‍රදායික ආකෘතියෙන් ද යුත් කවියේ කාව්‍යමය ගුණය සුරැකීමේ ශක්තිය නෛසර්ගික ව මෙන් මහ නාහිමි තුළ මනාව පිහිටා තිබූ බවත්, අර්ථ රසයට මෙන්ම ශබ්ද රසයට ද සමතැන්දීමට උන් වහන්සේ රුචි කළ බවත් , එකී විදග්ධ කාව්‍ය නිර්මාණ රස විඳීන්නකුට මනාව හැඟී යයි.

ලාංකේය සංදේශ කාව්‍ය අතර පැරැණිතම කෘතිය ලෙස සැලකෙන පොළොන්නරු යුගයේ රචිත පාලි පද්‍ය 62 කින් යුත් මානාවුලු සන්දේශය මහ නාහිමියෝ පද්‍ය 62 කින් යුත් සිංහල කාව්‍යයක් බවට පත් කළ හ.

පාලි පද්‍ය සමගම සිංහල පද්‍ය දැක්වීමෙන් එය පදානුගත පරිවර්තනයක් බවට පත්වුව ද පාලි පෙළ ඉවත් කරගත් විට සිංහලෙන් රචිත සන්දේශයක් සේ දැනෙන තරමට කාව්‍යමය ගුණයෙන් ද, සරල බවින් ද, සිත්ගන්නා ලක්‍ෂණ පෙන්නුම් කරයි.

මහ නා හිමියන් විසින් රචනා කරන ලද සෙසු කාව්‍ය ග්‍රන්ථ අතර “ගිරිහිස වනපෙත සහ මේකුළ” නමැති ථෙර ථෙරී ගාථා පරිවර්තනයත් ආචාර්ය නාගාර්ජුන පාදයන් ගේ සුහෘල්ලේඛාව සිංහලට නගමින් රචිත සුහද අස්නත්, පාලි තේලකටාහ ගාථා සිංහලට නැගූ “තෙල් කටාරමේ කවි” නමැති කාව්‍ය සංග්‍රහයත් වන අතර “බුදු හාමුදුරුවෝ” හා “මුනිගුණ මිහිර” නම් වූ ස්වාධීන භක්ති කාව්‍යයන් දෙකක් ද වෙයි.

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් පුර අටවක පෝදා (11) පත්‍රයේ පළවේ.