Print this Article


තෙරුවනට නින්දා ප්‍රශංසා කරන අය හමුවේ අප හැසිරිය යුතු හැටි

තෙරුවනට නින්දා ප්‍රශංසා කරන අය හමුවේ අප හැසිරිය යුතු හැටි

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වූ මේ ලෝකයෙහි ස්ථාවර වූ කිසිවක් නොමැති බව බුද්ධ දේශනාවෙහි නිරතුරු ව සඳහන් වේ. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප හා දුක යන මේ අටලෝ දහම සැමදෙනාට ම උරුම ය.

එය බුද්ධාදී රහත් උතුමන් වහන්සේලාට ද, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී උසස් සත්ත්වයන්ට ද, තිරිසන් සතුන් ආදීන්ට ද පොදු වූ ධර්මතාවකි. එහෙත් අප මෙකී අටලෝ දහමින් කිසිවිටෙකත් කම්පා නොවිය යුතු ය. අප විසින් සාමාන්‍යයෙන් සැපයකැයි සලකනු ලබන ලාභාදී ධර්මයන් කෙරෙහි ද, දුකකැයි සලකනු ලබන අලාභාදී ධර්මයන් කෙරෙහි ද සම සිතින් යුක්ත විය යුතු යැයි තථාගතයන් වහන්සේ දේශනා කළහ.

යම් සේ විසල් මහා පර්වතයක් සතර දිගින් හමන සුළඟින් කම්පා නොවී පවතියි ද එලෙස ම නුවණැති පුද්ගලයා නින්දා ප්‍රශංසාදියෙහි කම්පා නොවිය යුතු යැයි උන්වහන්සේ සැමවිට ම අවධාරණය කළහ.

අටලෝ දහම සියලු දෙනාහට එක සේ උරුම වූ බැවින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ද එය එලෙස ම පවතින බව අප නිරතුරු සිහි තබා ගත යුතු ය. අයෙක් තෙරුවන්ගේ ගුණ වර්ණනා කරන විට ඇතැමෙක් තෙරුවනට දොස් නැඟීම ස්වභාවික ය. එහෙත් බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනු ලබන නුවණැති ශ්‍රාවකයන් ලෙස ගිහි පැවිදි අප සැම මෙබඳු අවස්ථාවල දී නුවණැති ව කටයුතු කළ යුතු බව තථාගතයන් වහන්සේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙහි එන බ්‍රහ්මජාල සූත්‍රයෙහි දී මනාව දේශනා කොට තිබේ.

එක් සමයෙක බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා ද සමඟ රජගහනුවරටත් , නාලන්දාවටත් අතර වූ දිග් මඟෙහි වැඩම කරන විට ඒ මඟින් ම බුදුරදුන්ට පසුපසින් පැමිණෙන සුප්පිය නම් පරිබ්‍රාජකයා නොයෙක් ආකාරයෙන් තෙරුවන්ට දොස් නඟයි. ඔහුගේ අතවැසි වූ බ්‍රහ්මදත්ත මානවකයා නොයෙක් ආකාරයෙන් තෙරුවන්ගේ ගුණ වර්ණනා කරයි.

මේ දුටු භික්ෂූන් වහන්සේලා පසුව මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක එතැනට වැඩම කළ බුදුන් වහන්සේ තෙරුවන් කෙරෙහි එල්ලවන නින්දා ප්‍රශංසා පිළිබඳ ව කටයුතු කළ යුතු ආකාරය විස්තරාත්මක ව දේශනා කළහ.

එම දේශනාව අනුව යම් පුද්ගලයෙක් බුදුන් වහන්සේටත්, උන්වහන්සේගේ ධර්මයටත් , ශ්‍රාවක සංඝ රත්නයටත් දොස් නඟන විටදී අප කිසිසේත් කෝපයට පත් නොවිය යුතු ය. නො සතුටු නොවිය යුතු ය. සිතෙහි අමනාප බවක් ඇති නො කරගත යුතු යැයි උන්වහන්සේ දේශනා කළහ.

ඊට හේතුව නම් යම්හෙයකින් එලෙස තෙරුවනට දොස් නඟන පුද්ගලයා කෙරෙහි අප කිපෙන්නේ නම්, එය අපගේ ම ආධ්‍යාත්මීය ගුණ වර්ධනයට මහත් අනර්ථකාරී වන බැවිනි. එසේම එබඳු අවස්ථාවක අප සිතෙහි ක්‍රෝධය හටගත් විට එම තැනැත්තා විසින් කී දෙය සුභාෂිතයක් ද, එසේත් නැතහොත් දුර්භාෂිතයක් දැයි මනාව අවබෝධ කර ගැනීමට අපට හැකි නොවේ. එහෙයින් යමෙක් තෙරුවන් විෂයයෙහි දොස් නඟන විට මේ කරුණින් මෙය අසත්‍යයකි, අභූතයකි, මෙම දෝෂය බුද්ධාදී ත්‍රිවිධ රත්නයෙහි නොමැත ආදී වශයෙන් රත්නත්‍රය විෂයෙහි තමතමන් තුළ පවතින නිවැරැදි අවබෝධයට අනුව සලකා බලමින් නැති දොස් නැති සැටියෙන් ම ඉවත් කළ යුතු යැයි බුදුන් වහන්සේ අවධාරණය කළහ.

එසේම යම් පුද්ගලයෙක් බුදුන් වහන්සේගේත්, උන්වහන්සේගේ ධර්මරත්නයේත් ශ්‍රාවක සංඝ රත්නයේත් ගුණ වර්ණනා කරයි ද , එවිට ද අප විසින් ප්‍රීතිය නො ඉපදවිය යුතු බවත්, සොම්නස් නොවිය යුතු බවත් ප්‍රීතියෙන්, ඉපිල යාම නොකළ යුතු බවත් බුදුන් වහන්සේ වදාළහ. එය ද අපගේ ආධ්‍යාත්මික ගුණ වර්ධනයට අනර්ථකාරී වන බැවිනි. එසේම එබඳු අවස්ථාවන්හි දී පෙර සේ ම මේ කරුණින් මෙය සත්‍යය, මේ කරුණින් මෙය එලෙස ම පවතින්නකි. මෙය උතුම් වූ තෙරුවන්හි දක්නට ඇතැයි ආදී වශයෙන් රත්නත්‍රය විෂයයෙහි තමතමන් තුළ පවතින නිවැරැදි අවබෝධයට අනුව සලකා බලමින් ඇති ගුණ ඇති සැටියෙන් ම පිළිගත යුතු බව උන්වහන්සේ පෙන්වා දි තිබේ.

මේ අනුව යමෙක් තෙරුවන්ගේ දොස් පවසයි ද නැතහොත් තෙරුවන්ගේ ගුණ පවසයි ද එවිිට අප සිහි නුවණින් කටයුතු කළ යුතු ය. එලෙස දොස් නඟන්නා හෝ ගුණ වයන්නා හෝ සමඟ කිසිවිටෙකත් අප වාද විවාද නොකළ යුතු ය. ඔහු හා ක්‍රෝධයෙන් දබර වීමට යාමත්, එසේම ප්‍රීතියෙන් යුතුව ඔහු හා ගුණ වැණීමත් නොකළ යුතු ය. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව අප සැමවිට ම කටයුතු කළ යුත්තේ සිහිනුවණින් ය.

යමෙක් එලෙස දොස් නඟන විට අප තුළ තෙරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාවත්, මනා අවබෝධයත් සලකා එය නිවැරැදි නොවන බවත්, එම දොස්නැඟීම මුළාවක් බවත් අප විසින් ම අවබෝධයෙන් දත යුතුය. එය අන්‍යයන්ට ඒත්තු ගැන්වීමට වෙහෙස නොවිය යුතු ය. එසේම එලෙස දොස් නඟන්නන්ට විවිධ හිරිහැර කිරීමෙන් අකුසල රැස් නො කරගත යුතු ම ය.

තෙරුවන් කෙරෙහි එල්ලවන ප්‍රශංසා ගූණ වර්ණනා ආදිය ඉදිරියෙහිත් අප එසේ ම කටයුතු කළ යුතු ය. එනම් අපගේ දැනුම් පරිද්දෙන් මේ මේ ගුණයන් තෙරුවන් තුළ ඇතැයි පිළිගැනීම කළ යුතු ය. යම් හෙයකින් අප මෙලෙස කෝපයට හෝ ප්‍රීතියට පත්වන්නේ ද එවිට අපගේ සිත් තුළ විවිධ වූ අකුසල චෛතසිකයන් හටගෙන සිතෙහි සමාධිය හීන ව ගොස් එමඟින් නිවන් අවබෝධය පිණිස අප විසින් කළයුතු කටයුතු සඳහා බාධා ඇතිවිය හැකි ය.

එසේම අන්‍යයන් විසින් ස්වකීය මුළා බව හේතු කොට ගෙන සිදුකරනු ලබන මෙබඳු ක්‍රියාවන් නිසා අප කිසිවිටෙකත් අපගේ දෙලොව අභිවෘද්ධිය පමා නොකළ යුතු ය.

මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ දී උන්වහන්සේ තම ධර්මය ද පහුරකට උපමා කරමින් දේශනා කළේ ධර්මය හුදෙක් සසරින් එතෙර වීම පිණිස මිස වාදවිවාද කිරිම පිණිස හෝ දිවි රැක ගැනීම පිණිස හෝ භාවිත නොකළ යුතු බවයි.

මින් පැහැදිලි වන්නේ තථාගත වූ බුදුපියාණන් වහන්සේ කිසිවිටෙකත් නින්දා ප්‍රශංසා ආදිය කවරාකාරයකින්වත් අපේක්ෂා නොකළ බවයි. උන්වහන්සේ හුදෙක් සසර ජය ගැනීම ම අගය කොට සැලකූහ. අද වන විට තමතමන්ගේ විවිධ වූ ආගමික මතවාදයන් ලොව පුරා පැතිරවීම පිණිස විවිධ උපක්‍රම සොයන, එසේම ප්‍රශංසා ලැබීම පිණිස විවිධ අසත්‍ය මිථ්‍යා විශ්වාසයන් සමාජගත කිරීමට වෙර දරන්නන්ට මෙ මඟින් උන්වහන්සේ ලබා දී ඇත්තේ ඉතා වටිනා පණිවුඩයකි.

එබැවින් බුදුන් වහන්සේගේ අනුගාමික වූ නුවණැති ශ්‍රාවකයන් ලෙස අප කළ යුත්තේ අන්‍යයන්ගේ ගුණදොස් විවේචනය කිරීම හෝ ඒවා නිසා අප සිත් දූෂ්‍ය කරගැනීම හෝ එමඟින් අපගේ දෙලොව යහපත වළකාගැනීම හෝ නොව සසර ගමන කෙටි කර ගැනීම උදෙසා ලබන ලද මේ අති උතුම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙළා ගනිමින් ධර්මය කෙරෙහි සිත යෙදවීමයි.