නාගයන් උමඟින් ගිය
උමංගල ඕවාගිරි රාජමහා විහාරය
පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
බුලත්සිංහල සිරි ඤාණරතන හිමි
අතීතය ඉක්ම යන්නේ කඳුළ මෙන් ම සිනහව ද ඉතිරි කොට ය. මේ වෑයම කාලයේ වැලි කතරින්
මිහිදන් වෙමින් පවතින අතීතයකට පණ පෙවීමකට ය. ඒ මීට අවුරුදු දහස් ගණනකට පෙර පැවැති
අනුරාධපුර යුගයේ කාවන්තිස්ස රාජ්‍ය සමය (ක්‍රි. ව. 3 - 4) යි. මෙම අතීතාවලෝකන සටහනේ
ප්‍රධාන වන්නේ උමංගල ඕවාගිරි රාජමහා විහාරය යි. මාතර සිට හක්මනට ගොස් බෙලිඅත්ත පාරේ
කිලෝමීටර 4 කින් හමුවන ගංගොඩගම හන්දියෙන් කිලෝමීටර 1 1/2 ගිය තැන මෙම විහාරයට ළඟා
විය හැකි ය.
මෙම විහාරයට මෙම නාමයන් ලැබීම පිළිබඳ විවිධ මතිමතාන්තර ඇත. උමංගල විහාරයේ සිට
සැතපුම් හතක් පමණ දුරින් මුල්කිරිගල රාජමහා විහාරය පිහිට යි. මෙම විහාර දෙක සම්බන්ධ
කරන පර්වතය ඇතුළතින් සැතපුම් හතක් පමණ දිගින් යුත් උමං මාර්ගයක් ඇතැයි ජනප්‍රවාදයේ
පවති. දිනක් නාගයකු මුල්කිරිගල රාජමහා විහාරයේ සිට මෙම උමං මාර්ගයෙන් ගමන් කොට
ඕවාගිරි විහාරයෙන් මතු වූ බව ද සඳහන් වේ. මෙ නිසා උමංගල රාජමහා විහාරය යැයි
ප්‍රසිද්ධ වූ බව කියැවේ. එකල රජ කෙනෙක් මෙම මාර්ගයෙන් ගමන් කරන විට පිරිවර ජනයාගෙන්
‘අර පේන ස්ථානය කුමක් දැ’යි විමසූ විට ‘ඕවා ගිරි’ (ගිරි = කඳු) යැයි පිළිතුරු දුන්
බවත්, ඉන්පසු රජතුමා මෙම ස්ථානයේ ලෙන් විහාර තුනක් සමග පර්වතය මුදුනේ දාගැබක් ද තනා
මහා සංඝයාට පූජා කළ බවත් සඳහන් වේ.
මෙනිසා මෙම විහාරය උමංගල ඕවාගිරි නමින් ජනාදරයට පාත්‍ර වූ බව සඳහන් වේ. නුවර යුගයේ
ලියවුණු නම්පොතේ (ලාංකේය රාජමහා විහාර නාම ලේඛනයකි.) මෙම විහාරය ඕවාගිරි විහාරය
නමින් පෙන්වා ඇත.
මෙහි ලෙන් විහාර තුනක් දැක ගත හැකි ය.
එසේ ම මෙහි සැතපෙන, සමාධි සහ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් නමක් දැක ගත හැකි ය.
එසේ ම නුවර යුගයට අයත් චිත්‍ර ද දැකගත හැක. රහතන් වහන්සේලා, නවග්‍රහ මණ්ඩලය, සිරිපා
සටහන් හතරක්, දේව රූපාදිය ද මෙහි සටහන් කොට ඇත. නුවර යුගයේ දී මෙම ලෙන් විහාරය
ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙහි ඇති අනෙක් ලෙන් විහාරය ආරක්‍ෂිත හා කුඩා එකකි. මෙම
ලෙන් විහාරයෙන් මුලින් සඳහන් කළ උමගේ ද්වාරය පිහිටා ඇත. එම ද්වාරයේ නාගයකුගේ රුව
චිත්‍රණය කොට ඇත.
මෙම ලෙන් විහාරයට මදක් ඉහළින් අලුත්වැඩියා කරන ලද පැරැණි දාගැබක් පිහිටා ඇත.
සංඝාවාසයේ සිට ගල් පඩි 450ක් ගිය තැන මෙම සෑය පිහිටා ඇත. මෙය 267 - 276 යන කාලයේ රජ
කළ ජෙට්ඨතිස්ස රජු විසින් කරන ලද්දකැයි පිළිගැනේ.
මෙම ගඩොල්වලට සමාන ගඩොල් අභයගිරියෙන්, ලෝවාමහාපායෙන් හමු වී ඇත. මෙනිසා කඹුරුපිටියේ
වනරතන හිමිගේ නිගමනය වන්නේ මෙම සෑය ක්‍රි. ව. 2 - 5 ශතවර්ෂවලට අයත් බව යි.
මෙහි සංඝාවාස භූමියේ අත්තිවාරම් කිහිපයක් කඩා එහි ගඩොල් වෙනත් කටයුතුවලට නො ගත්තා
නම් තවත් බොහෝ තොරතුරු රැසක් දැන ගන්නට තිබිණි. කළුගල් සෑය නමින් මෙම සෑය
ප්‍රසිද්ධියට පත්ව ඇත. එසේ ම මෙහි තිබූ ගල් කණු කඩා පඩිපෙළට දමා ඇත. එය මහත් වූ
හානියක් බව ද අසතුටින් නමුදු සිහි කළ යුතු ය.
එසේ ම විස්මය උපදවන සුළු ආකාරයේ යෝධ ගල් බැම්මක් පෙර ඇත්තන් විසින් මෙහි නිර්මාණය
කොට ඇත. පොකුණු ආදියෙන් ද මෙම විහාරය සාලංකාර ය.
ඇතිවුණු සියල්ල නැති වෙන සනාතන න්‍යායට ඕවාගිරි විහාරය ද මුහුණ දී ඇත. කාලය නැමති
වධකයා මෙම විහාරය වල්වදින්නට ඉඩ සලසා සතුටු විය. පිරිහුණු සසුන අසරණ සරණ සරණංකර සංඝ
රාජයාණෝ ගොඩ ගත්හ. තත් ශිෂ්‍ය වූ වේහැල්ලේ ධම්මදින්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ
1753 දී මහණෝපසම්පදාව සඳහා මාතර දිසාවෙන් මහනුවර මල්වතු මහා විහාරයට වැඩිය
ගණින්නාන්සේලා ගණන විසිනවයකි. ඒ විසිනව දෙනා අතුරෙහි කෝන්ගස්තැන්නේ ධම්මපාල හිමි
උමංගල විහාරය, කුරුඹුරේ විහාරය, තිප්ල විහාරය, වැලිහිඳ විහාරය හා ලාල්පේ විහාරය යන
ස්ථානයන්හි අධිපතිත්වය දැරූහ. එතැන් සිට දෙණිපිටියේ ධම්මානන්ද, බඹරැන්දේ
බුද්ධරක්‍ඛිත, දෙමටපිටියේ ශ්‍රී සංඝරක්‍ඛිත, පහතරට සංඝනායක, බඹරැන්දේ ධම්මපාල,
කපුගම ඉන්‍දජෝති, ඌරාපොල ඉන්‍දජෝති, උයන්ගොඩ ධම්මරක්‍ඛිත හා පරවාහැර ධීරානන්ද යන මහ
ස්ථවිරයන් වහන්සේලා මෙම විහාරයේ පිළිවෙළින් අධිපතිත්වය දැරූහ.
වර්තමානයේ ශාස්ත්‍රවේදී යටගල පඤ්ඤාලෝකාභිධාන ගිරුවාපත්තුව ඇතුළු මාතර මහ දිසාවේ
ප්‍රධාන සංඝනායක මහා ස්වාමීන්ද්‍රයාණෝ මෙම විහාරයේ අධිපතිත්වය දරමින් මහත් වූ
ශාසනික සේවාවක් සිදු කරති.
ශිෂ්‍යයන් තුන්නමක් තනා ඇති උන්වහන්සේ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු කරති.
උන්වහන්සේගේ ප්‍රධානතම සේවාව නම් පෙර විහාර භාරක හිමිවරුන්ගේ රූ චිත්‍රණය කිරීම යි.
උන්වහන්සේට නිරෝගී චිර ජීවනය පතමි.
මෙහි ලා තොරතුරු හා සේයාරූ සැපයූ යටගල පඤ්ඤාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට මෙන් ම
කවිඳු අමරසිංහ සොහොයුරාට ද පුණ්‍යානුමෝදනා කරමි. |