ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ නිර්මාතෘ කඹුරුපිටියේ ශ්‍රී වනරතන මහා නා හිමි
ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව පිහිටුවා වදාළ පුරාවිද්‍යා
චක්‍රවර්ති සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන
ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනයධර ශාසනභාරධාරී මහා තෙර නමකි.
මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ
පාර්ශ්වය පිහිටුවා වදාළ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වත්මන් ගිහි
පැවිදි හැම දෙනාටම චරිතාදර්ශ සැපයූ මහා තෙරනමකි.
ක්‍රි.ව. 1911 ක් වූ නොවැම්බර් මස 27 වන දා මාතර දිසාවේ ගඟබඩ පත්තුවේ කඹුරුපිටියේ
දී උපත ලද මාහිමිපාණන් වහන්සේ උසස් පරපුරකට උරුමකම් කීහ. එවකට කඹුරුපිටිය සපුගොඩ
මගමුරේ පොළිස් මුලාදෑනි තනතුර හොබවමින් රජයේ සහ ප්‍රාදේශීය ජනතාවගේ ප්‍රසාදය සහ
ගෞරවය දිනා සිටි දොන් හෙන්ද්‍රික් කරුණානායක මහ රාළහාමි මැතිදුන්ටත්, දෝන
සිසිලියානා සෙනවිරත්න මැතිනියටත් දාව සහෝදර සහෝදරයින් හත්දෙනෙකුගෙන් යුතු පවුලේ
පස්වැනි දරුවා ලෙස උපත ලද මහ නාහිමිපාණෝ දොන් පේදිරිස් කරුණානායක නම් විය.
එකල නාරන්දෙණිය පිරිමි අග්‍රපාඨශාලාව නමින් හැඳින් වූ විද්‍යාලයට ඇතුළත්ව මූලික
අධ්‍යාපනය හැදෑරූ හ. මහානාහිමිපාණෝ ආගම දහම කෙරෙහි කුඩා අවධියේ පටන් ලැදියාවෙන්
කටයුතු කළ හ. තම මව්තුමිය සමග නිතර ධර්මශ්‍රවණය සඳහා හුරුව සිටිබැවින් තම සිත
නිරායාසයෙන් පැවිදි ජීවිතයක් ගත කිරීම කෙරෙහි ඇදී ගියේ ය. දෙමව්පියන්ගේ අවසරය
ලබාගත් පේදිරිස් කරුණානායක කුමරුවන් 1924 ජනවාරි මස 22 වැනි දා ඌරාපොල
මේධංකරාරාමාධිපති ව වැඩ විසූ අකුරුගොඩ රතනජෝති මාහිමිපාණන් වහන්සේ සමීපයෙහි පැවිදි
වීමට නතර වූ හ. පහතරට ශාසනික ප්‍රබෝධයේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් වූ
පෙතන්ගහවත්ත ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ පැවිදි වීමට ප්‍රථම මාස අටක් පමණ පැවිදි
ජීවිතයට අදාළ බණ දහම් ආදිය ප්‍රගුණ කිරීමෙන් අනතුරුව කඹුරුපිටිය විලේගොඩ පුරාණ මහා
විහාරයට කැඳවා ගොස් මහා උත්සවයක් පවත්වා 1924 සැප්තැම්බර් මස 10 වැනි දා අතිගරු
අකුරුගොඩ රතනජෝති මාහිමිපාණන් වහන්සේගේ අචාර්යත්වයෙන් කඹුරුපිටියේ වනරතන නමින්
පැවිදි බිමට ඇතුළත් වූ හ.
අනතුරුව මාතර කිතුලේවල ජයමහා විහාරාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ– කටුකුරුන්දේ ශ්‍රී
දේවානන්ද මාහිමියන් විසින් 1925 ඔක්තෝබර් මස 29 වැනිදා ආරම්භ කරන ලද ජයමහා පිරිවෙනේ
අත්පොත් තැබූ ප්‍රථම ශිෂ්‍යයා වීමට තරම් වාසනාව ලද වනරතන මාහිමිිපාණන් වහන්සේ ජයමහා
පරිවේණාධිපති ධුරය හෙබ වූ අතිගෞරවාර්හ– බඹරැන්දේ ශ්‍රී රතනජෝති මාහිමියන්ගෙන් අකුරු
කියවා පිරිවෙනට ඇතුළත් කරගත් පළමු ශිෂ්‍යයා බවට පත්කරගත් හ. 1935 දී ප්‍රාචීන
පණ්ඩිත ප්‍රාරම්භ විභාගය හා 1936 දී ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගයෙන් ගෞරව පන්ති
සාමාර්ථ සහිතව සමත් වූ වනරතන මාහිමිිපාණන් වහන්සේ 1940 දි එවකට ශ්‍රී ලංකා ප්‍රාචින
භාෂෝපකාර සමාගමේ නිර්දේශ අනුව සාංස්කෘත භාෂාව විශේෂ විෂය බවට පත් කරගනිමින් රාජකීය
පණ්ඩිත උපාධිය සමත් වූ හ. තත් උපාධි පරීක්‍ෂණය සදහා කෘතියක් රචනා කර ඉදිරිපත්
කිරීමට නිර්දේශ ව තිබූ හෙයින් “මාතර මානව වංශය” නමින් සුවිශේෂි ඉතිහාස ග්‍රන්ථයක්
ලියා ඉදිරිපත් කිරීම අප ඉතිහාසයේ විශාල හිඩසක් සම්පූර්ණ කිරීමකි.
1931 වර්ෂයේ දී මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී එවකට මල්වතු
අනුනායක පදවිය හොබවා වදාළ අතිගෞරවාර්හ– අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මානන්දාභිදාන
අනුනාහිමියන් උපාධ්‍යායව උපසම්පදා ශීලයෙහි පිහිටි මහ නාහිමිපාණන් වහන්සේ ස්වකීය
ගුරු භූමිය වූ ජයමහා පිරිවෙනේ ආචාර්ය වරයෙකු වශයෙන් ගුරු සේවයට එක් වූ හ. 1945
සපුගොඩ විද්‍යානිකේත පිරිවෙන් පරිවේණාධිපති ධුරයටද පත් වු මහනාහිමිපාණන් වහන්සේ
1950 වර්ෂයේ දී ස්වකීය ආචාර්යයන් වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් ඌරාපොල සිරි
රතනජෝති පිරිවෙන ආරම්භ කළ හ.
විද්‍යෝදය විද්‍යාලංකාර මහ පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමෙන් පසුව විද්‍යෝදය
විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය ආරම්භ කළ අතර 1963 ස්ථීර
කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද 1972 ජේ්‍්‍යෂ්ඨ කථිකාචාර්ය ධුරයකටද පත් වූ හ. විද්‍යෝදය
විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති, දර්ශනශූරී උපාධි 1966,
1978 වර්ෂ තුළ දී ලබා ගත් අතර දර්ශනසූරි උපාධි පර්යේෂණ නිබන්ධනයෙහි තේමාව වූයේ
ලක්දිව බුදුපිළිමයේ විකාශය යි. 1970 දී ලන්ඩනයට වැඩමවා ඉතිහාසය හා පුරාවිද්‍යාව
සම්බන්ධ විවිධ පර්යේෂණ සිදුකොට පුරාවිද්‍යා ජාත්‍යන්තර සම්මේලනවලට ද සහභාගී වූ හ.
පුරාවිද්‍යාව සම්බන්ධයෙන් හා සාසනික වශයෙන් විශාල කෘති රාශියක් ද රචනා කොට
ප්‍රකාශයට පත්කරමින් සාහිත්‍යයට ද විශාල සේවාවක් සිදුකළ මහනාහිමිපාණන් වහන්සේ
විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරු ව රුහුණේ ප්‍රාදේශීය
උපසම්පදාව පිහිටුවන්නට අපමණ වෙහෙසක් ගත් හ. උන්වහන්සේ බොහෝ බාධක මැද ප්‍රාදේශීය
උගත් වියත් බහුශ්‍රැත මහතෙරවරුන්ගේ පූර්ණ සහයෝගය ඇතිව මල්වතු පාර්ශ්වයෙන් වෙන්ව
1985 ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව පිහිටුවා වදාළ හ. 1986 වර්ෂයේ
දි රුහුණේ ප්‍රථම ප්‍රාදේශීය උපසම්පදාව රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ අතර තත් සංඝ
සභාවේ ප්‍රථම මහානායක ධුරය ලබන්නට තරම් වාසනාව උන්වහන්සේ ලැබූ හ.
මහානායක මාහිමිපාණන් වහන්සේ සෑම අවස්ථාවකම අනතිමානි ගුණයෙන් කටයුතු කළ හ. ගිහි
පැවිදි හැම දෙනකුගේ ම සිත් දිනාගෙන කටයුතු කරමින් බෝධිසත්ව චරිත ලක්‍ෂණ ප්‍රකට
කරමින් කටයුතු කළ හ. දත් සියලු ශබ්ද ශාස්ත්‍රයන් ශිෂ්‍යය හෙරණුන්ට උගන්වමින් ඔවුන්
ද යහපතෙහි යෙදවූ හ. ආරම්භ කරන ලද රතනජෝති පිරිවෙන මනා පරිපාලනයකින් යුතුව ගෙන යෑමට
අනුශාසනා සැපයූ හ.
උදාරතර පැවිදි දිවියේ අසූ හත් ්වසරක් පමණ ලෝක ශාසනික සේවයට ම කැපවෙමින් කටයුතු කළ
පුරාවිද්‍යා චක්‍රවර්ති සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ
ශ්‍රී වනරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ පැවිද දිවියක නිමාව
සනිටුහන් කරමින් 1998 වර්ෂයේ නොවැම්බර් මස 18 වන දා පෙරවරුවේ සතිසම්පඡඤ්ඤයෙන් යුතුව
කීර්තිශේෂභාවෝපගත වූ හ.
බැරගම ශ්‍රී රාහුල හිමි |