වණ්ණරොහ ජාතක කතාව
ඇසුරෙනි:
මේ ළමයා කියන කතාවේ
ඇත්තකුත් තියෙනවා
සුළඟ ගහ කොළ සමඟ කතා කරන හඬත්, කුරුල්ලන්ගේ කෑ කොස්සමත්, හැරුණු විට වනාන්තරය
පැවැතියේ නිශ්චලව ය. තුරු හිස් මතට වැටුණු හිරු රැස් පහළට ගලා ආවේ යම්තමිනි. මේ
නිසා වනාන්තරයේ දහවල ද රෑ මෙන් විය.
සිංහයකු, ව්‍යාඝ්‍රයකු, කොටියකු කවර මොහොතක හෝ සිය ගොදුර වශයෙන් තමන් තෝරා ගනු
ඇතියි සා, මුව, ගෝන වැනි තණ බුදින සත්තු සැකයෙන් පසු වූහ.
මේ වනාන්තරයේ විශාල නුග ගසෙක රුක් දෙවියෙක් වාසය කළේ ය. සතුන්ගේ හැසිරීම් නැරඹීමෙන්
ඒ දෙවියා බොහෝ දේ දැන ගත්තේ ය.
නිශ්චල වනාන්තරයේ කොළ රොඩු පොඩි වීමෙන් නැඟෙන සර බර හඬක් බලාපොරොත්තු වෙමින් දොළ
පාරක් අසල ව්‍යාඝ්‍රයකු සහ සිංහයකු රැක සිටිනු දිනපතා රුක් දෙවියා දුටුවේ ය.
සතුරකු ඇද්දැයි සෝදිසියේ දෙපස බලමින් මුවෙක් එයි. සතුන් යන එන අඩි පාර දෙපස රැක
සිටින ව්‍යාඝ්‍රයා සහ සිංහයා සර බර හඬින් ළඟ එන ආහාරය හඳුනා ගනිති. කට ළඟට ම එන
තුරු බලා සිටිති. මුවා ළං වෙයි. එක වරට ම ඌ මත හෙණ ගෙඩි දෙකක් පාත් වෙයි. මුව
විලාපය නැඟෙන්නේ වරක් පමණි. දෙවෙනි විලාපය නඟන්නට හරින කටින් පිටවන්නේ මුවා ගේ
අවසන් හුස්ම ය.
සිංහයා ව්‍යාඝ්‍රයාට ඉඩ දෙයි. ව්‍යාඝ්‍රයා සිංහයාට ඉඩ දෙයි. දෙදෙනා මාරුවෙන් මාරුවට
මුව මසින් සිය කුස පුරවා ගනිති. ඉන් පසු දෙදෙනා දොළට බැස දිය පානය කරති.
“ඔන්න ඔබේ මුවේ ලේ තැවරිලා” සිංහයා ව්‍යාඝ්‍රයාට කියයි.
“දැනුත් තියෙනවාදැ”යි මුව සෝදා ගැනීමෙන් පසු ව්‍යාඝ්‍රයා අසයි.
“දැන් නැහැ. මගෙ මුහුණේ කොහොමදැ”යි සිංහයා අසයි.
“ඔබේ මුහුණේ ලේ තැවරිලා නැහැ” ව්‍යාඝ්‍රයා කියයි.
දොළෙන් ගොඩට එන දෙදෙනා සිය ගුහාවට යති. යන අතර මඟ දී ද නොයෙක් දේ කතා කරති.
සිනාසෙති. මේ දෙදෙනා ගේ මිතුරුකම මුළු වනාන්තරයේ ම ප්‍රකට ය. රුක් දෙවියා ද ඔවුන්
දෙදෙනා දෙස බලා සතුටක් ලබයි.
රුක් දෙවියා මෙන් ම නරියෙක් ද මේ දෙදෙනාගේ මිතුරුකම සැලකිල්ලෙන් නැරඹුවේ ය. ඔවුන්
කන බොන හැටි යන එන හැටි බලා සිටියේ ය.
“දිනපතා ම ඒ දෙදෙනාට ලේ බේරෙන අලුත් ම මස්, මුව මස්, ගෝන මස්, ඌරු මස්. මා කන්නේ
මොනවාද? කුණු මස්, පණුවො හැදුණු කුණු මස්, ටිකක් කන කොට අපි‍්‍රයාවයි. ඒත් මොනවා
කරන්නද? මට පුළුවන්කම තියෙන්නෙ සාවෙක් අල්ලා ගන්න එක විතරයි. ඒකත් හරිම කලාතුරකින්.
හාවාට තියෙන්නෙ පුදුම කකුල් දෙකක් නේ. ඌත් එක්ක දුවන්න අශ්වයකුටත් බැහැ. කවුරු හරි
කාල ඉතිරි වෙච්ච කුණු මස් ටිකක් තමයි මට ලැබෙන්නෙ. චික් මොකට නරියෙක් වෙලා උපන්නද?
ඇඟ පත නැති වුණාට මට මොළේ තියෙනවනේ. මං ඒකෙන් වැඩක් ගන්න ඕන”.
නරියා සිතුවේ ය.
“හරි. මම කොහොම හරි මේ දෙන්න එක්ක යාළු වෙන්න ඕන.”
දිනක් සිංහයා සහ ව්‍යාඝ්‍රයා දඩයමේ ගොස් සිය ගුහාවට එනවිට නරියා ඔවුන් ඉදිරියට ගියේ
ය.
සිංහයාත් ව්‍යාඝ්‍රයාත් ඌ දෙස නොබලා ම ගමන් කළේ ය.
නරියා මඳක් උස් හඬින් “උතුමාණනි” යි ඔවුන් ඇමතුවේ ය.
මිතුරන් දෙදෙනාට ඒ ඇමතුම ඇසිණ.
“ඇයි?” සිංහයා ඇසී ය.
“ඇයි මොකද?” ව්‍යාඝ්‍රයා ද ඇසීය.
“උතුම් වු සිංහ රාජයාණනි, උතුම් වූ ව්‍යාඝ්‍ර රාජයාණනි, මම ඉතා දුප්පත් නරියෙක්මි.
ඔබතුමන්ලා මේ වනාන්තරයේ ගරු ගාම්භීර ලීලාවෙන් හැසිරෙනු මම නිතර දැක ඇත්තෙමි. දවසකට
එක සතකුට හැර තවත් සතකුට ඔබ තුමන්ලාගෙන් හිරිහැරයක් නැත. සෑම සතෙක් ම ඔබතුමන්ලාට
කැමති ය. මේ වනාන්තරයේ අති උත්තම වූ නායකයන් දෙදෙනා ඔබතුමන්ලා ය. සියලු වන සත්තු ඔබ
තුමන්ලාගේ යටත් වැසියෝ ය. මේ තරම් උතුම් වූ ඔබතුමන්ලාට සේවකයන් අවශ්‍ය ය. රජවරු,
නායකයෝ, පාලකයෝ, සේවකයන් තබා ගනිති. මා යෝජනා කරන්නේ ඔබතුමන්ලාට ද සේවකයන් අවශ්‍ය
බව ය.”
නරියා සිංහයාට සහ ව්‍යාඝ්‍රයාට වැඳ කීය. සිංහයාගේ මුව‘ගට සිනාවක් නැඟිණ.
“අපට සේවකයන් අවශ්‍ය නැහැ. අපේ වැඩ කර ගන්නෙ අපි ම නේ.” සිංහයා කී ය.
“ඔව් අපට සේවකයන් අවශ්‍ය නැහැ. අපි තනිව ම කෑම සොයා ගන්නව. තනිව ම නානවා. අපි
දෙදෙනා තනිව ම අපේ සියලු වැඩ කර ගන්නවා. කිසි වැඩක් කරන්න බැරි රජවරුන්ට නේ සේවකයන්
ඕන” ව්‍යාඝ්‍රයා කී ය.
“මට සමා වෙන්න ඕන මම මෙහෙම කියනවාට. ඔබතුමන්ලා ගේ අගය ඔබතුමන්ලාට තේරෙන්නේ නැහැ.
ඔබතුමාලා ඉන්න ගුහාව ශුද්ධ පවිත්‍ර කරගන්න එක. ගුහාව ඉදිරිපස වැලි තලාව අමදින එක
වගේ සුළු සුළු වැඩ වුණත් කොච්චර තියෙනව ද? ඔබ තුමන්ලාට ඒවා කරන්න මතක් වෙන්නෙ නැතිව
ඇති.”
ව්‍යාඝ්‍රයා සිංහයා දෙස බැලී ය.
“මේ ළමයා. කියන කතාවෙ ඇත්තකුත් තියෙනවා. අපට ඔය වගෙ වැඩ නම් කරන්න මතක් වෙන්නෙ
නැහැ. ඒත් ඉතින් කවුද අපට සේවය කරන්න එන්නෙ?” ව්‍යාඝ්‍රයා ඇසී ය.
නරියා නිහඬව සිංහයා දෙස බැලීය.
“ඒක තමයි මාත් කල්පනා කළේ. කවුද අපට සේවය කරන්න එන්නෙ? සිංහයා ද ඇසී ය.
නරියා වලිගය පසුපස දෙපා අතර රඳවා නිවට සිනාවක් මුහුණට නංවා ගත්තේ ය.
“සිංහ උතුමාණනි, ව්‍යාඝ්‍ර උතුමාණනි, වෙනත් කෙනකු සොයා ගන්නා තුරු ඔබතුමන්ලා ගේ
සේවකයා වශයෙන් වැඩ කිරීමට මා කැමතියි.”
සිංහයා ද ව්‍යාඝ්‍රයා ද “බොහොම හොඳයි බොහොම හොඳයි” කී හ.
නරියාට ගුහාවෙන් ඉඩක් වෙන් විය.
පසු දා උදෑසන පිබිදුණු සිංහයාට සහ ව්‍යාඝ්‍රයාට ගුහා දොරකඩ රටා සිටින සේ ඇමද තිබෙනු
පෙනිණ. ගුහාවේ සිට අඩි සියයක් පමණ දුරට කොළ රොඩු ඉවත් ව තිබිණ.
අපේ සේවකයා වැඩ පටන් අරගෙන “ව්‍යාඝ්‍රයා කී ය.
“ගුහාවත් අවටත් දැන් පිරිසුදුයි”. සිංහයා කී ය.
“අපි දඩයමේ යනකොට නරියාත් කැඳවාගෙන යමු”
නරියා ද සිංහයා සහ ව්‍යාඝ්‍රයා සමඟ වනාන්තරයේ සංචාරය කළේ ය.
වන සත්තු නරියාට ද ගරු බුහුමන් දක්වන්නට වූහ.
ලේ පෙරෙන මුව මස්, ගෝන මස්, ඌරු මස්, නරියාට දිනපතා ලැබිණ.
මුව පැටියකු මැරූ දවසක සිංහයා මස් ස්වල්පයක් අනුභව කොට ඉවත් විය.
“ඇයි?” ව්‍යාඝ්‍රයා ඇසී ය.
“මට ඇති අර නරියාටත් ඉතිරි කරන්න එපායැ.” සිංහයා කී ය.
ව්‍යාඝ්‍රයා ද අනුභව කළේ ස්වල්පයකි.
‘අලුත් ළපටි මුව මස්’ යි කියමින් නරියා කුස පුරවා ගත්තේ ය.
එදා සිංහයා සහ ව්‍යාඝ්‍රයා සිටියේ අඩක් පිරුණු කුසෙනි.
නරියා ගේ සිරුරේ ඇට කටු වැසිණ. සවි බල වැඩිණ.
“අපේ පරම්පරාවේ කිසිම කෙනෙකුට මෙහෙම සැප සම්පත් ලැබෙන්නෙ නැතුව ඇති.” නරියාට නිතර
සිතිණ.
“කැළේ සිටින ඕනෑම සතකු ගේ මස් ගැන මට කීමට පුළුවන්. මේ මස අසවල් සතාගෙයි කීමට මට
පිළිවන්. ඇත්තටම මම මොන සතාගෙ ද මස් නොකෑවෙ. ඇතුන් ගේ මොළ පවා මා අනුභව කරලා
තියෙනවා. හැම සතෙකු ගේ ම මස් කාලා තියෙනවා.”
නරියාට ආඩම්බරයක් ඇති විය.
“ඔන්න මට මතක් වුණා. මම නො කාපු මස් දෙවර්ගයක් තියෙනවා. හිතෙන කොටත් මොකක්ද වගෙයි.
ඒත් ඒ මස් හරි රහ ඇති. සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්.”
නරියා හිස ඔසවා බැලී ය. සිංහයා සහ ව්‍යාඝ්‍රයා එක තැන වැටී නිදති.
“සිංහයාගේ අත් දෙක, බෙල්ල, පපුව, බඩ, මස් පිරිලා. ආහ්! ව්‍යාඝ්‍රයාගේත් එහෙමයි. හොඳ
ශක්තිමත් මස් පිඬු . හරි රසට ඇති.”
නරියා ගුහාවෙන් එළියට බැස්සේ ය. ඌට හිසරදයක් දැනිණ.
“යම්කිසි ආශාවක් ඇතිවුණාම ඒක සන්සිඳෙන තුරු හිස රිදෙනවා. කොහොමද මම මේ හිසරදය සුවකර
ගන්නෙ. කල්පනා කරගනෙ යන කොට බේත ලැබෙයි. නැත්නම් මගෙ මොළේ මොකටද? හරි හරි ඔය ආවේ
හොඳ කල්පනාවක් හොඳ නුවණක් “
ඌ යළි ගුහාව තුළට ගියේ ය.
සිංහයා ගේ මුහුණේ මැස්සකු වසා සිටිනු පෙනිණ.
“මස් කන තරමට මැස්සන් වහන්නේ නැද්ද,පිළීගඳට මැස්සො එනවා. මං ඉන්න හන්දා හො ඳයි. මං
මුන්ට මැස්සකුගෙන්වත් කරදර වෙන්න දෙන්නෙ නැහැ” සිතූ නරියා කොළ අතු කෑල්ලක් ගෙන
සිංහයාගේ මුහුණ ඉදිරියෙන් වැනුවේ ය. සිංහයා පිබිදිණ. නරියා බියට පත්විය. මොහොතකට
පෙර මා සිතූ සිතිවිල්ල සිංහයාට දැනුණා ද? අනේ එහෙම වුණා නම් මා ඉතිරි කරන එකක්
නැහැ.”
“ඇයි බය වෙලා වගේ හොඳ වැඩක් නේ කළේ. මා නිදා ගන්න යන කොටත් ඔය මැස්සො මගේ වටේ
කැරකෙමින් සිටියා. දැන් ඉතින් මට ආයෙත් නිදා ගන්න බැහැ.”
සිංහයා කීය.
නරියා ගේ බිය පහ විය.
සිංහයා නැගිට්ටේ ය. ව්‍යාඝ්‍රයා දෙස බැලුවේ ය.
“ව්‍යාඝ්‍රයා නිදි. මා යනවා දොළට. අද හරිම රස්නෙයි. නුඹත් එනවාද?
නරියා ද සිංහයා සමඟ දොළට ගියේ ය.
මගදි ඌට අර නුවණ සිහි විය.
“ව්‍යාඝ්‍රයාත් නැති වෙලාව. සිංහ මස් ව්‍යාඝ්‍ර මස් කෑමේ උපාය ක්‍රියාත්මක කරන්න
හොඳ වෙලාව. මුන් දෙන්නා කොටවා උන් අතර යුද්ධයක් ඇතිකොට දෙදෙනා ම මැරුණු පසු මගෙ
ආශාව ඉටු වේවි. මම දැන්ම ම වැඩේ පටන් ගන්න ඕන.”
දොළ අද්දර දී නරියා සිංහයා ඇමතුවේ ය.
“ස්වාමීනි, කිව යුත්තක් තිබේ. මෙය කීම පමා කිරීම නුසුදුසුයි මට සිතෙනවා. ඔබතුමාට මහ
විපතක් ළඟ එන බව පෙනෙනවා.”
සිංහයා දොළට පනින්නට සැරසී යළි පා සතර ඉවුර මත රඳවා ගති.
“මොකක් ද විපත?”
“මෙය ඔබ වහන්සේ විශ්වාස කරයි ද කියලත් මට සැකයි. හිතන තරම් ව්‍යාඝ්‍රයා ඔබතුමාට
හිතවත් නැහැ.”
“ව්‍යාඝ්‍රයා තරම් හිතවත් කෙනෙක් මට නැහැ ඇයි නුඹ. එහෙම කියන්නෙ?”
“ස්වාමීනි, මා සමඟ තනිව සිටින හැම විට ම ඔහු කියන්නේ ඔබ වහන්සේ ගේ අගුණමයි.
රූපයෙන්වත් , වංශයෙන්වත් ඔය සිංහයා මට වඩා උසස් නැහැ. නමුත් නුඹ වඳින විට පළමුවෙන්
ම සිංහයාට වඳින්නේ ඇයි කියා ව්‍යාඝ්‍රයා මගෙන් ඇසුවා.”
සිංහයා සිනාසුණේ ය.
“ඔබතුමා සිනාසෙනව. ව්‍යාඝ්‍රයා හිතේ එකක් තියාගෙන තව එකක් කතා කරනවා. මේ ගැන කල්පනා
නො කළොත් ව්‍යාඝ්‍රයා අතින් ඔබතුමා මැරෙන්නත් පිළිවන්.”
“නුඹ කී දෙය ගැන මම කල්පනා කරනවා. වතුරට බැහැල ටික වේලාවක් ඉන්න ඇත්නම් හොඳයි. ඇඟ
ඇතුළේ ලොකු දැවිල්ලක් දැනෙනවා.”
නරියා ගුහාවට ගියේ ය.
“ඇඟ ඇතුළේ ලොකු දැවිල්ලක් දැනෙනවා'යි කීවේ මා කී දේ හොඳට හිතට වැදිලා තමයි. හිතට
බයක් ආවා ම ඇඟ ඇතුළෙ දැවිල්ලක් දැනෙනවා.”යි සිතමින් ගුහාවට ගිය නරියාට පිබිද සිටින
ව්‍යාඝ්‍රයා පෙනිණ.
“කෝ සිංහ උතුමා?”
“දොළට ගියා.”
ව්‍යාඝ්‍රයා තවත් බසක් නො නඟා දොළ දෙසට දිව ගියේ ය.
“අද හරිම රස්නෙ දවසක්.” කියමින් ඌ ද දොළට පැන්නේ ය. කරවටක් දියේ බැස සිටින සිංහයා
සහ ව්‍යාඝ්‍රයා අතර ගැටුමක් ඇති වන්නේදැයි නරියා පඳුරක් යට සැඟවී බලා සිටියේ ය.
දියේ ගිලෙන, මතුවන, පිහිනන විහිළු තහළු කරන, සිනාසෙන දෙදෙනකු මිස කලහයකට වැටෙන
දෙදනකු නරියා දුටුවේ නැත.
දින කීපයක් ගෙවිණ. නරියා සිතු දේ නො සිදුවිණ.
“හොඳ වේලාවක් බලා මා ව්‍යාඝ්‍රයාට කතා කරන්න ඕන.”
එදා සවස සිංහයා නිදා සිටිය දී ව්‍යාඝ්‍රයා අසල වූ ගල් කුළට නැඟ බැස යන හිරු දෙස බලා
සිටියේ ය.
නරියා ද ගල් කුළට නැඟුණේ ය.
“නුඹත් ආවාද? මෙතැනට හොඳට සුළං වදිනවා. ඇඟට සනීපයි. සිංහ උතුමාට නිදා ගන්නට හැර මා
ආවා.”
“ඔබතුමා සිංහ උතුමා කියා කීවාට ඔබතුමාට කවදාවත් එතුමා උතුමා කියා තිබෙනවාද?
ව්‍යාඝ්‍රයාගේ පෙනුම වෙනස් විය.
“එතුමාට මා ගරු කරනවා. එතුමා සිව්පාවුන් ගේ රජතුමා. නමුත් නිහතමානීව සියලු දෙනාට ම
එක සේ සලකනවා. මා එතුමාගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වන්නේ නැහැ.”
“සමාවන්න ඕනෑ මෙහෙම කියනවාට ඔබතුමා කොයි තරම් ගරු කළත් සිංහයා ඔබතුමා ගැන මා සමඟ
කියා ඇත්තේ නරක දේවල්මයි. ඔබතුමා පහත් වංශයක කෙනෙක්ලු. පහත් වංශයක කෙනෙක් එක්ක
ජීවත් වෙන එක සිංහ වංශෙ අයට මදි කමක්ලු. කාලයක් එකට සිටි නිසා දැන් කරන්න දෙයක්
නැතිලු. මට මතක නැහැ. තවත් නොයෙක් දේ කිව්වා. මාත් පහත් වංශෙක කෙනෙක් නිසා මටත්
හිතුණා. මෙතන ඉන්න එක හරි නැහැ කියලා.”
ව්‍යාඝ්‍රයා ද සිනාසුණේ ය.
“මට නම් ඔය කතා විශ්වාස කරන්න බැරි තරම්. හොඳයි මම කල්පනා කරල බලන්න ඕන.”
ව්‍යාඝ්‍රයා ගල් කුළෙන් පහළට බැස්සේ ය. මළ හිරු රැස්වලින් ව්‍යාඝ්‍රයා ගේ මුහුණ
රතුවී පෙනිණ.
“දැන්නම් ගැටුමක් ඇති වේවි. මා දැන් ගුහාවට යන එක හොඳ නැහැ. හැංගිලා බලා ඉන්න ඕන
මුන් මරා ගන්න හැටි.”
නරියා පඳුරකට මුවා වී ගුහා දොර දෙස බලා සිටියේ ය.
ව්‍යාඝ්‍රයා ගුහාවට ඇතුළුවන විට සිංහයා පිබිද සිටියේ ය.
“ඔබ වහන්සේ මා පහත් වංශයක එකකු බව කියා මට නිග්‍රහ කළ බව නරියා කීවා.”
ව්‍යාඝ්‍රයා කීවේ ය. සිංහයා නැඟිට්ටේ ය.
“නුඹත් මට නොයෙක් දේ කියා නිග්‍රහ කළ බව නරියා සතියකට පමණ පෙර මට කීවා. අපි දීර්ඝ
කාලයක් මෙහි ජීවත් වුණු හැටියට නුඹ එසේ කියාවියි මා විශ්වාස කළේ නැහැ. ඒ නිසාම මා ඒ
ගැන විමසුවේ නැහැ. අපි වර්ග දෙකක බව ඇත්ත. නමුත් එතැන උසස් පහත් බවක් කොයින්ද? මම
කවදාවත් එහෙම වෙනසක් ගැන සිතා නැහැ. නුඹ පැමිණ ඒ ගැන විමසුවේ සැකයක් ඇති වූ නිසා.”
ව්‍යාඝ්‍රයා ගේ ඇසට කඳුළු නැඟිණ.
“ස්වාමීනි, මෙසේ විමසීම පිළිබඳව මට සමාවනු මැනවි. නරියා උත්සාහ කළේ අප අතර ගැටුමක්
ඇති කිරීමටයි. කලින්ටත් වඩා හොඳින් අපි එකට ජීවත් වෙමු.”
ව්‍යාඝ්‍රයා සිංහයා වැළඳ ගනිමින් කී ය.
සිංහයාගේ ඇස්වලට ද කඳුළු නැඟිණ. දෙදෙනා ම ගුහා දොරකඩට ගිය හ.
“දුෂ්ට නරියාට තවත් මෙහි ඉඩ නැහැ. අසත් පුරුෂ නීචයන් ළං කැර ගැනීමෙන් සිදුවන්නේ
විපතක් ම යි . සැබෑ මිතුරන් වූ හෙයින් අප මේ විපතෙන් මිදුණා.”
සිංහයා කියනු පඳුරක් යට සැඟවී සිටි නරියාට ඇසිණ.
“නැවත මට කුණු මස් කන්නට වෙනවා. සිංහයන් ඇසුරු කළ මා කොහොමද දැන් නරින් අතරට යන්නේ.
මට මේ වනාන්තරයේ ඉන්නත් බෑ.”
නරියා තනිවම කතා කරමින් ඈත වනාන්තරයකට පලා යනු රුක් දෙවියා දුටුවේ ය. |