අරපිරිමැස්මෙන්
දුක ජය ගන්නා හැටි දරුවන්ට කියා දෙන්න
වීදාගම නාගිත හිමි
සිතුවම අන්තර් ජාලයෙනි |
විවාහයෙන් පසු ඇතැම්විට විවිධ හේතුන් නිසා පවුලේ අගහිඟකම් ඇතිවිය හැකියි. ගෙදරක ඇති
අගහිඟකම පියාටත් වඩා මවකගේ හිස අවුල්කරන සුළු ය.
අගහිඟකම් ඉදිරි දොරෙන් ඇතුළුවන විට වාසනාව ජනේලයෙන් පැන යන්නේය’යි වියත් කියුමක්
ඇත.
ධෛර්ය සම්පන්න ව ඉපයීම මෙන්ම අර පිරිමැස්මෙන් කටයුතු කිරීම එයට නිසි පිළියමයි.
ගෙවාගත නොහැකි ණය ගැනුම අනුවණ කමෙකි. ‘අප්පිච්චතා’ යනු චාම් බවයි. චාම් බව මදිකමක්
සේ සලකා සාඩම්බර සාටෝප ජීවිතයට නූගත්තු පෙළඹෙති. “අප්පකිච්ච” “සල්ලහුකවුත්ති”
(සැහැල්ලු පැවතුම) යන කරණීය මෙත්ත සූත්‍රයේ අමා බුදු වදන් සිහිපත් කරගත යුතුයි.
ගෘහ පාලනයේ තෝන් ලණුව තිබිය යුත්තේ බිරින්දෑ අත බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද
සූත්‍රයේ සඳහන් කොට ඇත. ඇති පවුල්වල කටයුතු කරන අයුරින් නොව “සකසුරුවමින් අප කටයුතු
කරමු’යි ගෙදර භාණ්ඩාගාරික වන මව දරුවනට පැහැදිලි කර දිය යුතුයි.
මේ රටේ උසස් ව්‍යාපාරිකයන් , උසස් තනතුරු දරන්නන් දියුණුවේ ඉහළ ට අවුත් සිටින්නේ
චාම් බවෙන් අර පිරිමැස්මෙන් දුක ජය ගැනීමෙනි.
අමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් නම් මහා පුරුෂයා ලිපේ ගින්දරින් පොත්
කියවා පාසල් ගිය බවත් , දුම්රිය තැනූ එංගලන්තයේ ජෝර්ජ් ස්ටීවන්සන් ගවයන් බැලූ ගොපලු
කොලුවකු බවත් මව පුතුට කියාදෙන්නේ නම් කොතරම් අගේ ද? එවන් ශ්‍රේෂ්ඨ චරිත කතා පොත්
මිලදී ගැන්මට නොව මව්පියන් අද පෙළඹෙන්නේ ජංගම තෙලිබණුවක් දරුවාට ගෙන දීමටයි.
සංවර්ධිත රටවල් යැයි කියනු ලබන බටහිර රටවල හා ඌණ සංවර්ධිත රටවල් යැයි කියනු ලබන
අග්නිදිග ආසියාතික රටවල් අතර පවුල් ඒකකයේ වෙනස්කම් ඇත .බටහිර රටවල ද මව්පිය – දූ
දරු සෙනෙහස බැඳීම දුර්වල ය. ලුණු – ඇඹුල් නැති වෑංජනයක් මෙනි.
අපේ රටේ මව්පිය – දූ දරු සෙනෙහස ආදරය සුරක්ෂිත බව ඉහළින්ම ඇත. ප්‍රශංසනීයයි. ලුණු –
ඇඹුල් ඇති වෑංජනය මෙනි. බටහිර රටවල දරුවෝ සමහර විට ගෙදරට නොදන්වා යති. විනෝද ගමන්
යති. දින ගණනක් ම ගෙදරින් බැහැරව සිටිති. දරුවන් අනාචාරයේ යෙදීම පිළිබඳ බියක් –
දුකක් මව්පියනට නැත. පාසල් යන ඇතැම් දැරිවියෝ ගැබ් ගනිති. ගැබ් නොගැන්මට ඔවුහු
ඔසුසලේ පිහිට ලබති. ඇතැම් පිරිමි දරුවන්ගේ අතේ සෙල්ලම් තුවක්කු නොව සැබෑ ගිනි අවි
ඇත. ඒ රටවල දුවට – පුතුට වයස 18 වන තෙක් මව්පියෝ ඇඟිලි ගනිති. ඔවුන් යුග දිවියට
පත්කොට මව්පිය දෙදෙනා බරකින් නිදහස්ව හුදකලා වන්නෝ ය.
ශ්‍රී ලංකාවේ දරුවන්ට අයාලේ යාමට ඉඩ නොලැබේ. ගෙදරින් පිටවූ වැඩිහිටි දරුවන් පවා
ගෙදරට ඒම පමාවන විට මව්පියෝ මඟ බලා සිටිති. මඟට යති. ඔවුන් සිටින තැනට යති. මහ රෑ
වුව පොලිසියට ගොස් දන්වති. එසේ වන්නේ ද මව්පියන් සදාචාර සම්පන්න නිසා ය. පූර්ව
දේවතාවුන් නිසා ය.
අතීතයේ ද පෙරදිග රටවල දූ, පුත්, මව්පිය ප්‍රසම්බන්ධය උසස් ය. සුප්ප බුද්ධ මහ
රජුගේත්. අමිතා බිසවගේත් දාරක පේ‍්‍රමය දේවදත්ත පුත් කුමරුටත්, යසෝදරා දූ කුමරියටත්
එක සේ ම විය. අංගුලිමාල (අහිංසක) පුතා රැක ගැන්මට මන්තානි නම් මව ගෙදරින් පිටතට පා
එසවූයේ සිය පණ ගැන නොසිතමිනි. පුත්‍ර ස්නේහය ඉහවහා ගිය නිසා ය.
පුරුෂාධිපත්‍යය මෙන්ම, ස්වාමි පුත්‍රයන් ළඟ ඇති තවත් දුර්ගුණයක් වන්නේ පරපීඩන
සන්තුෂ්ටියයි. අනුන්ට හිරිහැර පීඩා කර සතුටුවීම දඟකාර ඇතැම් ළමුන් තුළ පිහිටයි.
වැඩිහිටි තත්වයේදී ද එයම වර්ධනය වී හෝ නොවී බිරිඳට දුක්පීඩා ඇතිකර පහත් ආස්වාදයක්
විඳීමේ මානසික අවප්‍රමාණයක් ඇතැම් විවාහ සහකරුවනට ඇත. සමහර බේබදු වල්ලභයන් ළඟ මෙය
තදින් පවතී. එවිට බිරිඳ නොපෙනෙන ලෙසින් හෝ සුසුමින් කඳුළින් කල් ගෙවයි. දරුවන් ගැන
සිතා ඒ බිරිඳ දික්කසාද වීම, ගෙදරින් පැනයාම, සියදිවි තොරකර ගැනුම වැනි ක්‍රියාවකට ද
නොපෙළඹේ.
දරුවන් ඉදිරියේ බිරිඳට ගැරහීම, හිංසා කිරීම නිසා දරුවන් ද වධක පියා කෙරේ ඇති කර
ගන්නේ අප්‍රසන්න වෛරී හැඟීම ය. ඇතැම් විට පුතුගේ පොලු පහරින් පියා මිය යාමෙන් ඒ
පුතු ආනන්තරීය පාපය සිදු කොට අවීචිය නම් බරපතළ ම නිරයට වැටේ.
ගෘහ හිංසන යැයි කියැවෙන මේ ඛේදජනක තත්ත්වය නිසා මව සමඟ අසරණ දරුවෝ ද සිතන්නේ සිය
නිවස වධකාගාරයක් ලෙසටයි. එහෙත් වධ වේදනා ඉවසීමෙන් දරාගෙන උපේක්ෂාවෙන් කටයුතු කරන
ගෘහණියන් මරණින් මතු සුගතියට යන වගක් “මනාපකායිකා” දෙවඟනගේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි
වේ. ස්වාමි පුරුෂයාගේ තැළුම් පෙළුම් ගැන ක්‍රෝධ නොකොට ඉවසා ඉඳිමින් සුවච බිරියක්
ලෙස ක්‍රියා කළ බිරිඳක් සිතේ ගුණ බෙලෙන් පිනින් රූ සිරියෙන් බබළන දෙව්ලියක් වූවා ය.
|