Print this Article


බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මානුෂික ගුණාංග

බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මානුෂික ගුණාංග

බුදුරජාණන් වහන්සේ වෙත පැවතියා වූ උත්තරීතර මානුෂිකත්වය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන මූලාශ්‍ර අතර මහා පරිනිර්වාණ සූත්‍රය වැදගත් මූලාශ්‍රයක්. මහායානිකයන් බුදුරජාණන් වහන්සේ් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පත් නොවන බව සඳහන් කර ඇතත් මේ සූත්‍රයේ දී අනඳ හිමියන් අමතන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේගේ ශරීරය ද ජරාජීර්ණ තත්වයට පත් වන බවයි.

තමන් වහන්සේ අසූ වියට පත් මහල්ලකු බවත්, ඉතා අමාරුවෙන් දිරා ගිය ගැලක් මහ මඟ මාට්ටු කරගෙන යන්නාක් සේ තමන් වහන්සේගේ ශරීරය ද අමාරුවෙන් පවත්වා ගෙන යන බවයි. එයින් උන්වහන්සේ තුළ පැවති සාමාන්‍ය මානුෂිකත්වය පිළිබිඹු කරනවා. අවසාන කාලය වන විට බුදුන් වහන්සේ කුදු ශරීරයකින් යුක්ත වූ බව ද සඳහන් කරනවා.

සාමාන්‍ය මිනිසුන්ට හැදෙන කායික වද වේදනා බුදුන් වහන්සේට ද පොදු වූවා. මජ්ක්‍ධිම නිකායේ ගුලිස්සානි සූත්‍රයේ සඳහන් වන පරිදි වරක් පිරිසක් මැද ආනන්ද තෙරුන් සමඟ ධර්මය දේශනා කරන අතරතුර පිටේ වේදනාවක් නිසා ධර්මය දේශනා කිරීම ආනන්ද හිමියන්ට භාර කොට බුදු රජාණන් වහන්සේ පසෙක විවේක ගෙන තිබෙනවා. මෙසේ ම බුදුරජාණන් වහන්සේ ද සා පිපාසයෙන් පෙළුණ, ක්ලාන්ත ගතියෙන් පීඩාවට පත් වූ උතුමකු බව පරිනිබ්බාණ සූත්‍රයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට ගමන් කරන බුදුරජාණන් වහන්සේ අතරමග දී ක්ලාන්ත ගතිය වැළඳී මහ මඟ අයිනේ වාඩි වූ බවත් , ආනන්ද හිමියන් ලවා පැන් ගෙන්වා වැළඳූ බවත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. තව තැනක සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ද සාමාන්‍ය මිනිසුන් මෙන් ස්වභාව සෞන්දර්යයේ පැවති සුන්දරත්වය ගැන කතා කළ ආකාරය යි. පරිනිබ්බාණ සූත්‍රය ප්‍රධාන කොට ඇති මූලාශ්‍ර කිහිපයක ම අවධාරණය කරනවා. විශාලා, සාරන්දද, චාපාල සහ බහුපුත්තක වැනි ස්ථානවල පැවති ස්වභාව සෞන්දර්යය වර්ණනා කර තිබෙනවා.

මේ අනුව බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට ඇති හැඟීම්, දැනීම් දැනෙන මනුෂ්‍ය ශාස්තෘවරයකු බව පෙනෙනවා. තව තැනක දී බුදුරජාණන් වහන්සේ විශාලාව පසු කරගෙන යන අවස්ථාවක දී අනුවේදනීය ප්‍රකාශයක් සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් විශාලාවේ සංචාරය කළත්, අවසන් වරට පසු කරගෙන යන අවස්ථාවෙහි, නගර සීමාවේ නැවතී ආපසු හැරී මොහොතක් බලා සිට “ආනන්ද, මේ තථාගතයන් වහන්සේ විශාලාව දකින අවසන් අවස්ථාව” යැයි සඳහන් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විශාලාවට වෙනත් තැන්වලට වඩා ඇලුම් කිරීමට හේතුව නම් එහි පැවති ස්වභාව සෞන්දර්ය යි.

අනෙක බුදුන් වහන්සේ ඇතුළු භික්ෂූන්ට ඉතා භක්තිමත් ව සලකනු ලබන ලිච්ඡවි වංශිකයන් වැනි හිතවත් පිරිසක් වාසය කළ නිසයි.

විශාලා වැසියන් නොපැමිණි රහතන් වහන්සේලාට පැමිණේවා යි චේතනාවෙන් ද, පැමිණි රහතන් වහන්සේලාට පහසුවෙන් ජීවත් විය හැකි පරිද්දෙන් සැලකූ බව ද, පිරිසක් වශයෙන් වාසය කළ බව ද සඳහන් වෙනවා.

මිනිස් වාසයට ඉතාමත් සුදුසු පියකරු ස්ථානයක් වීම, තම සිත් ගත් අනුගාමික පිරිසක් සිටීම, එබඳු ප්‍රදේශ අතහැර දමා යන අවස්ථාවක මෙබඳු හැඟීම් ඇතිවීම සාමාන්‍ය මිනිස් ගතියකි. මේ අනුව උන්වහන්සේ අද්භූත පුද්ගලයකු නොව මානුෂික හැඟීම්වලින් හෙබි සාමාන්‍ය මිනිසකු බව පැහැදිලි වනවා.

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ අවසාන මොහොතේ වැඩ සිටිමින් උන්වහන්සේ වටා රැස්ව කඳුළු සළමින් දුක් වෙන භික්ෂූන් වහන්සේ අමතා දැන් මගේ වයස මුහුකුරා ගියේ වෙයි. තවත් ජීවත් වීමට ඇත්තේ සුළු වේලාවක් පමණයි. මගේ යහපත පිණිස කටයුතු කරගෙන ඇත. ඒ නිසා සියලු සංස්කාරයෝ අනිත්‍ය බැවින් නො හඬා, නො වැළපී, ස්වකීය දියුණුවට කටයුතු කර ගන්න යැයි කළ ප්‍රකාශය මරණ මංචකයේ හොත් මිනිස් පියකු ශෝකයෙන් පසුවන තම දරුවන් අමතා දෙන උපදේශයක් හා සමාන වෙනවා.

මෙසේ ම බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ පවා පරාර්ථ චර්යාවේ නියැළුණ කාරුණික උසස් මනුෂ්‍යයකු බව පරිනිර්වාණ මංචකයේ දී භික්ෂූන් අමතා “මහණෙනි ඔබට රත්නත්‍රය විෂයයෙහි කිසියම් සැකයක්, විමතියක් ඇත්නම් දැන්ම එය අසා දැන ගන්න යනුවෙන් කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

වරෙක ද්‍රෝණ බමුණා තමන් කවුදැයි ඇසූ අවස්ථාවෙහි තමන් යක්ෂයකු, ගාන්ධර්වයකු, දෙවියකු වැනි අද්භූත පුද්ගලයකු නොවන බවත්, සන්තානගත පාරිශුද්ධිය ලැබූ අසිරිමත් පුද්ගලයකු බවට කරන ලද ප්‍රකාශයෙන් ද උන්වහන්සේගේ උතුම් මිනිසත් බව පැහැදිලි වෙනවා. තව තැනක දී චාපාල චෛත්‍යස්ථානයේ දී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාරයා තමන් වහන්සේට ඉක්මනින් පිරිනිවන් පාන ලෙස ආරාධනා කළ අවස්ථාවේ දී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ව්‍යක්ත, විනීත, විශාරද භාවයට පත් වන තුරු, ඔවුන්ට ද පරවාද මර්ධනය කිරීමේ හැකියාව ලැබෙන තුරු, තම ධර්මය අප්‍රමාණ ජනතාවක් අතර පැතිර යනතුරු පිරිනිවන් නොපාන බව පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ අනුව මෙහි සඳහන් වන මාරයා කිසියම් පුද්ගලයකු නොව පස් මරුන්ගෙන් මච්ඡුමාර නැමති මරණයයි. සත්වයාට මරණය හා සමාන දුකක් නැති බැවින් මරණය ද මාරයකු ලෙස සලකා තිබෙනවා. ජීවිතයේ අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ තම සිව්වනක් පිරිස පිළිබඳව කල්පනා කිරීම මිනිස් පියකු තම දරුවන් ගැන කල්පනා කිරීමටත්, බුදුරදුන් තම ධර්මය ගැන කල්පනා කිරීම මිනිස් පියකු තම දේපළට සමාන කිරීමටත් සමාන කළ හැකියි.

මේ තුළින් පිළිබිඹු වන්නේ

උන්වහන්සේගේ උදාර කාරුණික මනුෂ්‍යභාවයයි. එසේම වරක් වක්කලී හිමියන් අමතා කුණු ශරීරය දෙස බලා සිටීමෙන් පලක් නැතැයි ප්‍රකාශ කිරීමෙන් ද උන්වහන්සේ සාමාන්‍ය මිනිස් ශරීරයකින් යුක්ත මනුෂ්‍යයෙකු බව පැහැදිලි වෙනවා.

එසේම බුදුන් වහන්සේට විඳීන්නට ලැබුණා වූ අත්දැකීම් ගැන සඳහන් කොට, ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට උපදෙස් දීම ද උන්වහන්සේගේ මානුෂිකත්වය පිළිබිඹු කරනවා. භික්ෂූන්ට පසු කලෙක තුන් සිවුර අනුමත කළේත් ,එක් වේලක් වළඳා ජීවත් වීමේ ආනිශංස ප්‍රකාශ කළේත් තම ප්‍රායෝගික ජීවිතයේ දී ලත් අත්දැකීම් අනුවයි.

මේ අනුව බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මානුෂික ගුණාංග වශයෙන් අන්ත අසරණ වූ සුනීත, සෝපාක, පූතිගත්තතිස්ස වැනි රෝගීන්ට පවා උපකාර කළ ආකාරය පිළිබිඹු කරන්නේ උන්වහන්සේගේ මනුෂ්‍යත්වයයි. එසේම එකල පැවතියා වූ ආගමික සහනශීලීත්වය පිළිබිඹු කෙරෙන අවස්ථා නම් සන්ධකම් මාගන්ධියා, පාඨික පුත්‍ර ආදී තවුසන්ගේ ආරාමවලට වරින්වර ගොස් සුහද මිත්‍රයකු ලෙස ඔවුන් සමඟ කතාබහ කිරීම උන්වහන්සේගේ සහනශීලීත්වයට සාධක සපයනවා.

එසේ ම ආනන්ද තෙරුන්ගේ ධර්ම දේශනාවකට සවන් දුන් ආකාරය සහ කුම්භකාර ශාලාවේදී පුක්කුස පරිබ්‍රාජකයා හමු වී හැසිරුණු ආකාරය ද බුදුරදුන්ගේ චාම් නිරහංකාර ගති ගුණ පෙන්වනවා. මෙපමණක් නොව කූටදන්ත හා චංකී වැනි සූත්‍රවල දී එම බ්‍රාහ්මණයින් විසින් බුදුරදුන් දාර්ශනික වූ ප්‍රසාද පුද්ගලයකු බවත්, මව්පිය දෙපසින් පිරිසුදු තරුණ වියේ දී ගිහි ජීවිතය අත් හැර පැවිදි වූ උසස් කුලයකට අයත් ධනවත් කුලයකින් අවුත් පැවිදි වූ කාර්ය බහුල පුද්ගලයකු වශයෙනුත්, ප්‍රථමයෙන් කතා කරන, සත්‍ය වචන කථා කරන, ප්‍රියශීලී පුද්ගලයකු වශයෙන් හඳුන්වා තිබීමෙන් උන්වහන්සේ දෙවියකු, බ්‍රාහ්මණයකු, අද්භූත පුද්ගලයකු නොවන බව පෙනී යනවා.

මේ අනුව පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ අවසානයේ දී සාමාන්‍ය පුද්ගලයකු මෙන් ආශ්වාස ප්‍රාශ්වාස නිරුද්ධ ව පරිනිර්වාණයට පත් වී වදාළා.