Print this Article


අකුසලින් බැහැර වූ සුචරිතවත් ජීවිතයක් ගත කරමු

අකුසලින් බැහැර වූ සුචරිතවත් ජීවිතයක් ගත කරමු

" නිල් ගෙල ඇති මොණරා කිසි දිනෙක හංසයාගේ ජවයට ළං නොවේ. මෙසේ ගිහියා, වනයෙහි අප්‍රමාදී ව ධ්‍යාන වඩන භික්ෂුව අනුගමනය නොකරයි."

පින්වත්නි,

භික්ෂු, භික්ෂුණී,

උපාසක, උපාසිකා යන සිව් පිරිසෙහි බැලූ බැල්මට පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් වර්ගීකරණයක් කර ඇති බවයි. එහෙත් බුදුදහමෙහි වඩා ඉස්මතු කර ඇත්තේ ස්ත්‍රී පුරුෂ වෙනසට වඩා ගිහි පැවිදි වෙනසයි.

ගිහි යනු ගෘහ වාසය කරමින් කම්සැප විඳීමින් නොයෙකුත් කරදර මැද අඹුදරුවන් සමඟ ජීවත්වන පිරිසයි. එම ජීවිතය බුදුදහමේ ඉගැන්වෙන විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට බාධාවක් බව පෙන්වා දී ඇත.

පැවිදි යනු ගෘහ වාසයෙන් මිදුණු හෙවත් අභිනිෂ්ක්‍රමණය කළ, ඇඳුමින්, ආහාර සෙවීමෙන්, වාසස්ථානයෙන් ගිහියාට වඩා වෙනස්, සරල ජීවිත පැවතුම් ඇති අල්ප වූ අවශ්‍යතාවයන් සහිත, විමුක්තිය අපේක්ෂාවෙන් දැඩිව පිළිවෙත් පුරණ, පස්කම් සැප අත්හළ, සමාජයීය බෙදීම්වලින් නිදහස් වූ පිරිසකි.

ගිහි ගෙය සම්බාධ සහිත ය. කෙලෙස් නමැති රජසින් (දුහුවිල්ලෙන්) අපිරිසුදු වන තැනකි. ගෘහ වාසයෙන් තොර හෙයින් අනගාරික වූ පැවිදි දිවිය එළිමහන මෙන් නිදහස් ය.

සැහැල්ලු ය. විවෘත ය. රහසිගත ක්‍රියා නැත. කරදර නැත. පැවිද්දාගේ දිවි පැවැත්ම සඳහා ඇත්තේ සරල අවශ්‍යතා සතරකි. එයද කිසිවකුට බරක් නොවන පරිදි අවම මට්ටමින් සපුරා ගත යුතු ය.

ඒවා තර නිස්සය ලෙස හැඳීන්වේ. තමා පැවිදි වූයේ එසේ ජීවත්වීමට බව පැවිද්දා නිතර සිහි කළ යුතු ය. පැවිද්දාගේ බාහිර පෙනුම ද ගිහියාට වඩා වෙනස් ය.

පැවිද්දා කෙස් රැවුල් බා ඇත. කසට වර්ණ වූ රෙදි (සිවුරු) හැඳ සිටී. ගෙවල් ඇති ස්වභාවයෙන් ගෙවල් නැති ස්වභාවයට (අනගාරික බවට) පත්වී සිටී. මජ්ක්‍ධිම නිකායේ දන්තභුමි සූත්‍රයේ දී ගිහිගෙයින් නික්ම පූර්ණ කාලීන බඹසර වසන පැවිද්දන් හා මල් ගඳ විලවුන් දරමින් මිල මුදල් පරිහරණය කරමින් අඹුදරුවන්ගේ කරදර මැද ජීවත්වන කාම සම්පත් සොයන ගිහියන් අතර වෙනස හීලෑ කරන ලද ඇතුන්, අසුන්, ගවයන් හා හීලෑ නොකරන ලද වල් ඇතුන්, වල් අසුන්, වල් ගවයන් අතර ඇති වෙනසට සමාන කර දක්වා ඇත. ඒ අනුව

පැවිද්දා ශික්ෂණය වූ අයෙකි. ගිහියා ශික්ෂණය කළ යුතු තත්වයක සිටී.

ගෘහස්ථ ජීවිතයට වඩා පැවිදි ජීවිතය උසස් ය. පැවිද්දා විමුක්තිය කරා යන ගමන හංසයකු මෙන් වේගවත් ය. එසේ වන්නේ පැවිද්දා විසින් ගෘහ ජීවිතයේ බර බහා තබා සැහැල්ලු පැවැත්මෙන් යුක්ත වන නිසා ය. ගෙන යන බර අඩු නිසා වේගයෙන් යා හැකි ය.

ගිහියා විමුක්තිය කරා යන ගමන මොනරකුගේ ගමන වැනි ය. මොනරා පිල් කළඹේ බර දරාගෙන සෙමින් යයි. ගිහියා ද දැඩි කැපවීමක් නොමැති නිසා විමුක්තිය සඳහා අවශ්‍ය පිළිවෙත් පුරන්නේ සෙමින් ය.

බුදුරජාණන් වහන්සේ එම අදහස ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ය.

“සිඛී යථා නීලගීවෝ විහංගමෝ
හංසස්ස නෝපේති ජවං
කුදාචනං
ඒවා ගිහී නානුකරෝති
භික්ඛුනෝ
මුනිනෝ විවිත්තස්ස වනම්හි
ඣායතො

නිල් ගෙල ඇති මොණරා කිසි දිනෙක හංසයාගේ ජවයට ළං නොවේ. මෙසේ ගිහියා, වනයෙහි අප්‍රමාදී ව ධ්‍යාන වඩන භික්ෂුව අනුගමනය නොකරයි. මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රය ඇතුළු සූත්‍ර බොහොමයක දැක්වෙන්නේ බුදුරදුන් වදාළ පිරිපුන් පිරිසුදු බඹසර විසීම ගිහිගෙය හිඳීමින් කළ නොහැකි නිසා පැවිදි ජීවිතයට පත්වන බවයි. ඒ අනුව පැවිද්දා යනු විමුක්ති ගවේෂණය සඳහා ම කැපවූ අයෙකි. පැවිද්දාට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතයේ දී තමා විසින් ම විමුක්තිය අවබෝධ කරගෙන වාසය කළ යුතු බව යි.

ගිහි ජීවිතය සාර්ථක කරගෙන සමාජ සම්බන්ධතා ශක්තිමත් ව පවත්වා ගනිමින් වාසය කරන්නට ගිහියාට උපදෙස් දී ඇත. අකුසලින් බැහැර වූ සුචරිතවත් ජීවිතයක් ගත කරමින් , සතර කර්ම ක්ලේෂයන්ගෙන් මිදෙන්නටත්, තම ක්‍රියාකාරකම් තුළින් සමාජයට අගතියක් අනර්ථයක් අවැඩක් සිදු නොවන ලෙස සතර අගතියෙන් දුරු වන්නටත්, සදිසා නමස්කාරයෙහි යෙදෙමින් තම යුතුකම් කොටස හොඳීන් වටහාගෙන ඉටු කරන්නටත්, ගිහි ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා දැහැමින් භෝග සම්පත් සපයාගෙන එම භෝග විනාශ වන භෝග විනාසමුඛ සයෙන් ඈත්ව සම්පත් අරපරෙස්සමින් භුක්ති විඳීමටත් සිඟාලෝවාද සූත්‍රයේ දී ගිහියාට උපදෙස් දී ඇත.

ගිහි පැවිදි දිවි පැවතුම්වල සුවිශේෂතා හඳුනා ගනිමින් සබඳතා වැඩි දියුණු කොට ගනිමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට සැම දෙනා උත්සාහවත් විය යුතු ය.

සැමට තෙරුවන් සරණයි