Print this Article


ලක්දිව සංඝරාජ පදවිය 11: පහතරට ප්‍රධාන සංඝ නායක පදවිය

ලක්දිව සංඝරාජ පදවිය 11:

පහතරට ප්‍රධාන සංඝ නායක පදවිය

මහනුවර නගරයේ වසූරිය රෝගය පැතිරුණු වකවානුවේ මහනුවරින් බැහැර ව සතර කෝරළේ, සත්කෝරළේ ඇවිදිමින් රෝගය සංසිඳුණු පසු නුවර පැමිණි කඹුරුපිටියේ සඟිධර ගුණරතන මාහිමියන්ට 1775 දී ස්වකීය ආචාර්යෝත්තම වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් අපවත් වූ පුවත් අසන්නට ලැබුණි.
කඹුරුපිටියේ සඟිධර ගුණරතන නාහිමි
ගාල්ලේ මේධංකර නාහිමි

ඉන්පසු ආදාහනයට යාමට සැරසෙද්දී රජතුමා විසින් සඟිධර ගුණරතන හිමියන්ට ශ්‍රී පාදස්ථානය සහිත පහතරට නායක පදවිය පුදදුන් බව සඳහන් වෙයි. වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් වෙත රජතුමා විසින් පුදදෙන ලද ශ්‍රීපාදස්ථානයේ සහ පහතරට ප්‍රධාන සංඝනායක පදවිය තත් නාහිමිපාණන්ගේ ඇවෑමෙන් වැලිගම අග්‍රබෝධි විහාරයේ අගලකඩ ධම්මරක්ඛිත හිමියන් වෙත පුදදුන් බව ඇතැම් මූලාශ්‍රවල කියැවේ. සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වැව ඉන්දසර හිමියන්ගේ ශිෂ්‍ය බෝධිමලුවේ පරිසුද්ධ හිමියන්ට එකී පදවි ඨානාන්තරය පිරිනැමූ බව තවත් මූලාශ්‍රවල දැක්වේ.

විවිධ මූලාශ්‍ර එකිනෙකට පරස්පර තොරතුරු ඉදිරිපත් කළ ද දකුණ සහ සපරගමුව වෙනුවෙන් පිහිටුවන ලද පළමුවන නායක පදවිය වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශ්‍රීපාදස්ථානය සහිත දකුණු සපරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය බවත්, ඒ හිමි ඇවෑමෙන් තත්ශිෂ්‍ය කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමියන් එකී පදවිය උසුලන ලද බවත් පිළිගැනීමයි. කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමියන් 1775 මැයි 28 දින සිට 1780 අප්‍රේල් 15 වැනි දින අපවත්වීම දක්වා එම ධුරය හොබවූහ. පසුව ශ්‍රීපාදස්ථානාධිපති පදවිය තත්ශිෂ්‍ය මාලිම්බඩ ධම්මධර හිමියන් වෙතත්, දකුණු සපරගමු නායක පදවිය අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයෙන් හෙබි කරතොට ධම්මාරාම නාහිමියන් වෙතත් පුදදෙන ලදි. පසුව මාලිම්බඩ හිමියන් උපැවිදි වීමෙන් පසු ශ්‍රීපාද නායක පදවියත් කරතොට ධම්මාරාම නාහිමියන් වෙත පිරිනමන ලදි.

කරතොට ධම්මාරාම නාහිමියන්ගෙන් පසු ශ්‍රීපාදස්ථානයේ සහ පහතරට නායක පදවිය 1826 සිට 1836 දක්වා හොබවන ලද්දේ තත් ශිෂ්‍යවරයකු වූ ගාල්ලේ මේධංකර හිමියන් විසිනි. ගාල්ලේ මේධංකර නාහිමියන්ගේ ඇවෑමෙන් 1836 ජූලි මස 25 වැනි දින සිට 1860 අප්‍රේල් 4 වැනි දින දක්වා තත්ශිෂ්‍ය ඉඳුරුවේ සුමංගල හිමියන් සපරගමු නායක ධූරය සහ ශ්‍රී පාදස්ථානයේ නායක ධූරය හොබවා වදාළහ. මෙම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නායක පදවි දරන කාලයේ දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නායක පදවි පත් කිරීමේ බලය සංඝ සභා වෙත පවරා දෙන ලදින් මෙතැන් සිට නායක පදවි පවරන ලද්දේ ඒ ඒ විහාරවල කාරක සංඝ සභා මඟිනි.

ඉඳුරුවේ සුමංගල මේධංකර නාහිමි

යගිරල පඤ්ඤානන්ද නාහිමි

වටරක්ගොඩ ධම්මපාල නාහිමියන්ගෙන් ඇරඹි මූලගිරි සඟ පරපුරෙහි මූලාශ්‍රයන්ට අනුව වේහැල්ලේ නාහිමියන් හොබවන ලද නායක පදවිය (මාතර දිශාවේ නායක ලෙස සඳහන් වෙයි) ඉනික්බිතිව කඹුරුපිටියේ සඟිධර ගුණරතන නාහිමියන් විසින් හොබවන ලදි. 1780දී ගුණරතන නාහිමියන් අපවත් වීමෙන් පසු දෙමටපිටියේ සංඝරක්ඛිත නාහිමියන් 1792 දක්වාත් , එතැන්සිට 1802 දක්වා අගලකඩ ධම්මරක්ඛිත හිමියන් විසිනුත් මෙම නායක පදවිය හොබවා වදාළ සේක. කරතොට ධම්මාරාම හිමිගෙන් පසු කෙටි කලක් බෝවල ධම්මානන්ද හිමියන් ද මෙම පදවිය හොබවන ලදැයි මූලගිරි පරපුරේ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.

අමරපුර සිරි සද්ධම්මවංස මහානිකාය පිහිටුවීමට බුරුමයට ගොස් උපසම්පදාව ලබා ලක්දිවට පැමිණ තත් නිකාය පිහිටුවා එහි සමාරම්භක මහානායක පදවියට පත්ව අනතුරුව උපැවිදි වී කිතුණු ආගම වැළඳගත් කපුගම ධම්මක්ඛන්ධ හිමියන් මුල් කාලයේ සියම් නිකායේ පැවිදිව සිටිය දී එවකට පහතරට නායක ධූරය හොබවන ලද මිදිගම ධම්මානන්ද නාහිමියන් විසින් ස්වකීය නායක පදවිය ධම්මක්ඛන්ධ හිමියන් වෙත පවරන ලදැයි රත්ගම සිරිසුමන හිමියන් රචිත ‘අභයතිස්සනායක ස්ථවිරචරිත’ නම් කෘතියෙහි සඳහන්ව ඇතැයි සමීපාතීතයේ බෞද්ධාචාර්යයෝ කෘතියෙහි පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියෝ දක්වති.

නූතනය වන විට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් වෙනුවෙන් ම සංඝ නායක පදවි පිහිටුවා තිබුණ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගාලු කෝරළේ නායක පදවියට පත්වූ 1880 වකවානුව වනවිට දක්ෂිණ ලංකාව වෙනුවෙන් පැවතියේ නායක පදවි දෙකක් පමණක් බව ශ්‍රී සුමංගල චරිතයෙහි සඳහන් වෙයි.

“වලානේ මහා ස්වාමීන්ද්‍රයන් අපවත් වී තෙළෙස් වසකට පසු එකල ගාලු පළාතේ ප්‍රධාන නායක පදවිය ඉසුලු මහගොඩ ශ්‍රී ධම්මදස්සි යතීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් ඒ පදවිය පුරප්පාඩු විය. එකල දකුණු ලක්දිව පැවැතුණේ නායක පදවි දෙකකි. එකක් මාතර හම්බන්තර පදවිය යි. අනික ගාලු පදවිය යි. ගාලු පදවිය දකුණු පදවිය යැයි ද සමහර ලියුම් කියුම්වල දකින්නට ලැබේ. ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගේ සන්නස් පත්‍රයෙහි ද එසේ සඳහන් වෙයි. මේ වනාහි පුරාණම නායක පදවිවලින් එකකි.

1840 දී ගාලු පළාතේ ප්‍රධාන පදවිය කළ මැලෑගොඩ නායක ස්වාමීන්ද්‍රයන් විසින් පැවිදි කරනු ලැබූ හික්කඩුවේ සුමංගල සාමණේර නම ක්‍රමයෙන් වර්ධනය ව එයින් සාළිස් වසකින් පසු එම පදවිය ම ලැබීමට මේ සුදුසු කාලයට එළඹියේ ය. බෝධිමලුවේ පරිසුද්ධාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ආරම්භවූ මේ උසස් පදවිය තදීය පරම්පරාවෙන් අන්‍ය පරම්පරාවකට අයත් වෙන්නට යන තුන්වන වාරය මේ ය. පළමුවන වාරය වලගෙදර ධම්මදස්සි මහා ස්ථවිරයන් වහන්සේට ද, දෙවැනි වාරය මහගොඩ ධම්මදස්සි මහා ස්ථවිරයන් වහන්සේට ද අයත් විය. මහගොඩ ශ්‍රී ධර්මදර්ශි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභාවයෙන් පසු ඒ පදවියට ඉතාම සුදුස්සා නොව එකම සුදුස්සා මේ නායක හාමුදුරුවන් වහන්සේ ය.”

වර්ෂ 1833 කෝල්බෲක් සහ කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමග එතෙක් පැවති උඩරට සහ පහතරට බෙදීම් වෙනුවට ලංකාව බස්නාහිර, දකුණ, මධ්‍යම, නැඟෙනහිර සහ උතුර වශයෙන් පළාත් පහකට බෙදා දක්වා ඇත. 1840 දශකය වන විට අනෙක් පළාත් හතර ද බෙදා සලකුණු කොට තිබූ නිසා ඉන් පසු පහතරට නායක පදවිය වෙනුවට සපරගමු , කොළඹ ආදී පළාත් අනුව නායක පදවි පිරිනැමුණු බව අනුමාන කළ හැකි ය. මුලින් පිරිනැමූ පදවිවල අනුප්‍රාප්තිකයකු වශයෙන් නොව නැවත අභිනවයෙන් පිහිට වූ පදවියක් ලෙස පහතරට නායක පදවිය යගිරල පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ වෙත විසිවන සියවසේ දී පිරිනමා ඇත. පහතරට ප්‍රධාන සංඝනායක පදවිය සම්භාවනීය වූ පදවියක් වූ බැවින් සංඝ පරම්පරා පිළිබඳ තොරතුරු රචනා කළ හිමිවරුන් තම පරපුරේ සිටි ශ්‍රේෂ්ඨ හිමිවරුන් එම පදවිය හොබවන ලද බව රචනා කිරීම සුලභ සිද්ධියක් ලෙස සඳහන් කළ හැකි ය.